සන්ඩේ ටයිම්ස් දේශපාලන විග්‍රහයෙන්

සන්ඩේ ටයිම්ස් දේශපාලන විග්‍රහයෙන් ජිනීවාහි එ.ජා. ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතගේ කීර්තිය පළුදු කිරීම රජය හෙළා දකී

සන්ඩේ ටයිම්ස් දේශපාලන විග්‍රහයෙන් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයාගේ කීර්තිය පළුදු කිරීමට ගෙන ඇති උත්සාහය පිළිබඳ රජය කනස්සල්ල පළ කරයි.

සන්ඩේ ටයිම්ස් පුවත්පතේ දේශපාලන විග්‍රහය මගින් ජිනීවාහි එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවීනාත් ආරියසිංහ මහතාගේ කීර්තිය පළුදු කිරීමට ගෙන ඇති උත්සාහය සහ ඔහුගේ වෘත්තීය චර්යාව ගැන සැක පළකිරීම පිළිබඳ ජනාධිපති ලේකම් කාර්යාලය බලවත් කනස්සල්ල පළ කරයි. පුවත්පත එසේ කර ඇත්තේ මානව

හිමිකම් කවුන්සිලයේ ළඟ එන ජිනීවා සැසිවාරය ගැන සඳහන් කරමිනි. මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරය ආසන්නව තිබියදී ශ්‍රී ලංකාව අපකීර්තියට පත් කොට දුෂ්කර තත්ත්වයකට ඇද දැමීමට ඇතැම් දේශීය හා විදේශීය බලවේග උත්සාහ කරන බව ජනාධිපතිතුමාගේ අදහස වී තිබේ. එබඳු පිරිස් පුනරුත්ථාපන, ප්‍රතිසංවර්ධන සහ සමගි සන්ධාන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව අත්කර ගෙන ඇති ප්‍රගතිය වසන් කරමින් රටට එරෙහිව අභූත චෝදනා නඟනුයේ එබැවින් යැයි ජනාධිපති කාර්යාලය සඳහන් කරයි.

ජිනීවා නුවර අපේ නිත්‍ය නියෝජිතයාට අවමන් කරමින් ඔහු අධෛර්යට පත්කිරීම ශ්‍රී ලංකාවට සතුරු බලවේගවල තවත් දුෂ්ඨ ප්‍රයත්නයකි.

සිය පාඨකයන් අතර සිතාමතාම වැරදි අවබෝධයක් ඇති කිරීමට සන්ඩේ ටයිම්ස් දේශපාලන කොළම උත්සහ කර ඇතැයිද ජනාධිපති ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි. ජිනීවාහි අපේ නිත්‍ය නියෝජිතයා පිළිබඳ එහි සඳහන් තොරතුරු පදනම් විරහිත හා සත්‍ය විකෘති කිරීමක් බවද ලේකම් කාර්යාලීය නිවේදනය කියා සිටී. එකී චෝදනා ප්‍රතික්ෂේප කරන ජනාධිපති ලේකම් කාර්යාලය ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවීනාත් ආරියසිංහ මහතාගේ වෘත්තීය ප්‍රවීණතාව හා හැකියාව පිළිබඳ පූර්ණ විශ්වාසය පළ කරයි. ආරියසිංහ මහතා සහ ඔහුගේ කාර්ය මණ්ඩලය ජිනීවා සැසියට සහභාගි වන ඇමැති මහින්ද සමරසිංහ මහතාට සාර්ථක ලෙස සහායවීමට සමත් වනු ඇති බවද නිවේදනය සඳහන් කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා