ධර්මාචාර්ය විභාගය සමත් දහසකට දහම් ගුරු පත්වීම් රජය තීරණය කරයි

ධර්මාචාර්ය විභාගය සමත් දහසකට දහම් ගුරු පත්වීම් රජය තීරණය කරයි

බුදු දහම ඉගැන්වීම සඳහා ධර්මාචාර්ය විභාගය සමත් දහසක් දෙනා ගුරුවරුන් ලෙස බඳවා ගැනීමට රජය තීරණය කොට තිබේ.

ත්‍රෛනිකායික මහා නාහිමිවරුන් අනුනායක හිමිවරුන් ප්‍රධානව මහා සංඝරත්නය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ ඉකුත් දා ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැත්වූ විශේෂ දහම් හමුවේදී ගත් තීරණයකට අනුව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමියෝ 'දිනමිණ'ට ප්‍රකාශ කළහ.

'දිගු කාලයක් තිස්සේ මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලීමක් තිබ්බා.

නමුත් ක්‍රියාත්මක වුණේ නැහැ. ජනාධිපතිතුමා හමුවූ අවස්ථාවෙන් පසු ඒ දේ ඉෂ්ට වුණා. එය අපේ රටේ ශාසනික සේවාවේ දියුණුවට ඉතා විශාල දිරිගැන්වීමක් යැයිද ගුණානන්ද හිමියෝ කීහ.

බුදු සසුනේ දියුණුව උදෙසා රාජ්‍ය නායකයා ලෙස දැඩි උනන්දුවකින්, කැපවීමකින් ක්‍රියා කරන ජනාධිපතිතුමා, තම දින චර්යාවේ ඉතා වැදගත් ස්ථානයක් ආගමික සිද්ධස්ථානවල පැවැත්වෙන පින්කම්වලට සහභාගීවීම වෙනුවෙන් ලබාදී තිබෙන බවද උන්වහන්සේ ප්‍රකාශ කළහ.

'රටේ ආර්ථික යටිතල පහසුකම් දිනෙන් දින දියුණු කරන අතරම, සාරධර්ම, ගුණධර්ම, පිරි දරු පිරිසක්, ජනතාවක් බිහි කිරීමටත් මේ වැඩපිළිවෙළ හේතු වෙනවා යැයිද ගුණානන්ද හිමියෝ පැවසූහ. මේ ධර්මාචාර්ය විභාගය සමත් අය 1000ක් පළමුව ගුරු සහායකයින් ලෙස බඳවා ගෙන පසුව ඔවුන්ට ගුරු පුහුණුව ලබාදී බුදු දහම ඉගැන්වීමට යොදා ගන්නවා.

ඔවුන්ට රජයේ ස්ථිර පත්වීම් ලබා දෙනවා' යැයි ගුණානන්ද හිමියෝ විස්තර කර සිටියහ. මීට අමතරව දහම් පාසල් නඟා සිටුවීමට, උතුරු - නැඟෙනහිර දෙපළාතේ බෞද්ධාගමික පූජනීය ස්ථානවල පහසුකම් වැඩි දියුණු කිරීමට, මහා සංඝරත්නයේ දැනුම දියුණු කර ගැනීමට උදව් කිරීමේ වැඩපිළිවෙළ රජය ක්‍රියාත්මක කරනවා. ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය, ආගමික කටයුතු අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු කොමසාරිස් දොපර්තමේන්තුව මේවා ක්‍රියාත්මක කිරීමට කැපවී සිටිනවා උන්වහන්සේ අවසන් වශයෙන් සඳහන් කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා