දිනාගත්ත නිදහසට දේශ-ද්‍රෝහියෝ ඊර්ෂ්‍යා කරනවා

දිනාගත්ත නිදහසට දේශ-ද්‍රෝහියෝ ඊර්ෂ්‍යා කරනවා

මහින්ද සමරසිංහ
වැවිලි කර්මාන්ත අමාත්‍ය, ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක හා
මානව හිමිකම් පිළිබඳ විශේෂ නියෝජිත

මේ දිනවල ජිනීවා නුවර දී පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී හා ඊට සමගාමීව ශ්‍රී ලංකාවට එල්ල වී ඇති අභියෝග හා ඒවාට රට මුහුණ දෙමින් සිටින්නේ කෙසේ ද යන්න අරබයා ශ්‍රී ලංකා නියෝජිත පිරිසේ නායක වැවිලි කර්මාන්ත අමාත්‍ය හා මානව හිමිකම් පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිත මහින්ද සමරසිංහ මහතා සමඟ “දිනමිණ” කළ සංවාදයකි මේ.

* ජිනීවා නුවර දී පැවැත්වෙන එක්සත් ජාතීන් ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට එරෙහිව එල්ල වී ඇති අභියෝගය ගැන ඔබේ දැක්ම කෙබඳු ද?

පළමුවෙන්ම කියන්න ඕන මෙවැනි අභියෝගයක් එල්ලවන පළමු අවස්ථාව මෙය නොවන බව. එ.ජා. මානව හිමිකම් කවුන්සිලය ඇති කිරීමට පෙර තිබූ එ.ජා. මානව හිමිකම් කොමිසම හමුවේ 1983, 1987 – 89 වගේ වකවානුවලත් අභියෝගාත්මක අවස්ථා ඇති වුණා. ශ්‍රී ලංකාව මාතෘකාවක් වී තිබුණා. 87 – 89’ සිදුවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට එරෙහිව ආජන්ටිනාව යෝජනාවක් ගෙනාවා. ආජන්ටිනාව එදා එවැනි ක්‍රියාමාර්ගයක ට ගියේ පෝක්ලන්ත දූපත් පිළිබඳ ප්‍රශ්නයේ දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ගත් ස්ථාවරය නිසා.

එ.ජාතීන් හමුවට මේ ගැන ඉදිරිපත් වූ යෝජනාවේ දී එතුමාගේ උපදෙස් මත ශ්‍රී ලංකාව ආජන්ටිනාව ට එරෙහිව එක්සත් රාජධානියට පක්‍ෂව ඡන්දය ප්‍රකාශ කළා. ඒ නිසා මේක අලුත් තත්ත්වයක් නෙවෙයි. නමුත්, දැන් අභියෝගය වෙනස්. 2009 දී ත්‍රස්තවාදය පරාජය කර යුද්ධය අවසන් කළ වහාම ශ්‍රී ලංකාවට එරෙහිව යුරෝපය මානව හිමිකම් කවුන්සිලයට යෝජනාවක් ගෙනාවා. එදා ඒ ප්‍රයත්නය පරාජය කිරිමට අපට පුළුවන් වුණා. ඊට පසු අමෙරිකාව අපට එරෙහිව යෝජනාවක් ගෙනාවා.

මේ වැඩපිළිවෙළ දිහා බැලුවම බොහොම පැහැදිලි කාරණය තමයි මෙය ශ්‍රී ලංකාව කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් සිදුකරන දෙයක් බව. යුද්ධය නිමාකර ශ්‍රී ලංකාව අසීරුවෙන් දිනාගත් නිදහස, දේශපාලන, ආර්ථික හා සමාජයීය ස්ථාවරත්වය බිඳ දැමීම තමයි මේ වැඩ පිළිවෙළේ අරමුණ. 2009 යුද්ධය නිමා කළ තැන් පටන් ගතවූ වසර 3 1/2ක විතර කාලය තුළ රටක් හැටියට අපි විශාල දුරක් ආවා. අවතැන් වූ ලක්‍ෂ 3 ක් යළි පදිංචි කළා. හමුදාවට බාර වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් 12,000ක් පුනරුත්ථාපනය කර යළි සමාජගත කළා.

අමතක කරන්න එපා, ඔවුන් සයනයිඩ් කරල කරේ බැඳගෙන සිටි අය. මේ අය අපි පුනරුත්ථාපනය කළා. උතුර සහ නැගෙනහිර බිම් බෝම්බ වපුරලා තිබුණේ. ඒවා ඉවත්කර නැවත පදිංචි කිරීම් සිදු කළා. තිස් අවුරුද්දක් තිස්සේ ත්‍රස්තවාදීන් ඒ ප්‍රදේශවල ජලය – විදුලිය – මාර්ග ආදී පහසුකම් විනාශ කරල තිබුණා. රේල් පාරත් ගලවලයි තිබුණේ. නමුත් ගත වූ අවුරුදු 3 ඇතුළත යටිතල පහසුකම් විශාල ලෙස දියුණු කළා. රටේ ආර්ථික වර්ධන වේගය වැඩි කරමින් උතුරේ ගොවි ජනතාව ගේ ආර්ථික ශක්තිය වර්ධනය වුණා. දැන්, උතුරේ ආර්ථික වර්ධන වේගය 22% යි. මේ වෙනස දරාගන්න බැරි පිරිසක් ඉන්නවා. රටක් හැටියට අපි මේ අභියෝගය ට එකට මුහුණ දිය යුතුයි. නැතිනම්, මේ ලබාගත් දියුණුව බිඳවැටීමටත් ඉඩ තියෙනවා.

* මේ වතාවෙත් අමෙරිකාව විසින් ශ්‍රී ලංකාවට එරෙහිව යෝජනාවක් ගෙන එන බවට මාධ්‍ය වාර්තා පළවුණා. මේ පිළිබඳ රජයේ ප්‍රතිචාරය කුමක් ද?

තවමත් එහෙම යෝජනාවක් ගෙනැත් නෑ. ඒ නිසා එවැනි යෝජනාවක අන්තර්ගතය ගැන අපට දැන්ම කියන්න බෑ. අන්තර්ගතය නොදැන අපට මේ ගැන කතා කිරීමේ හැකියාවකුත් නෑ. මෙවැනි යෝජනාවක් ගේන්නේ අපේ රටේ මානව හිමිකම් රැකීමට හා ප්‍රවර්ධනය කිරීමට නම් එහෙම එකකට අපට විරුද්ධ වෙන්න බෑ. හැබැයි මේ ගේන්නේ එහෙම එකක් නොවන බව නම් පැහැදිලියි. යුද්ධය නිමා කර රට තුළ සාමකාමී ස්ථාවර බවක් ඇතිකර, ජන කොටස් අතර සහජීවනය වර්ධනය කරමින් අපි විශාල දුරක් පැමිණ සිටියදී තමයි මේ යෝජනා ගේන්න හදන්නේ. එතකොට ඒකෙ වුවමනාව මානව හිමිකම් රැකීම හා ඒ වෙනුවෙන් පෙනී සිටීම නොවන බව හරි පැහැදිලි යි.

මේක මේ මං කලිනුත් කිව්ව න්‍යාය පත්‍රයට අනුව සිදුවන එකක්. රටේ පවතින ස්ථාවරත්වය බිඳ දැමීම, ජනතාව තුළ රජය කෙරෙහි කලකිරීමක් ඇතිකරවීම මේ යෝජනාවල වුවමනාව බව කිව හැකියි. රණවිරුවන් දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් ජීවිත පරිත්‍යාග කරල තවත් දස දහස් සංඛ්‍යාත ප්‍රමාණයක් අත්-පා, ඇස්-ඉස්, ලේ දන්දීලා තමයි මේ නිදහස - ස්්ථාවරත්වය රටක් හැටියට අපි දිනාගත්තෙ. ඒ කළ පරිත්‍යාගයන් ගැන අපිට සංවේදීත්වයක් තිබිය යුතුයි. ඒ නිසා එක එක රටවල් කියන විදිහට හැසිරීමේ හැකියාවක් වත් අවශ්‍යතාවයක් වත් අපට නෑ. යටත් විජිත කාලයේ වගේ අපි ඔවුන් ට යටවෙලත් නෑ. ඒ නිසයි අපි කියන්නෙ රටට ආදරය කරන කවුරුත් එකට එකතු වෙලා මේ උත්සාහයන් පරාජය කළ යුතුයි කියලා.

* චැනල් - 4 නාළිකාව පසුගිය වතාවෙ වගේම මෙවරත් ශ්‍රී ලංකාව ට එරෙහිව අසත්‍ය - සත්‍ය බව පෙන්නුම් කිරීමේ වෑයමක යෙදෙනවා. ඔවුන් චිත්‍රපටයක් පවා ජිනීවා හිදී තිරගත කළා. එ.ජා. වේදිකාවක් මේ අන්දමට සාමාජික රටකට එරෙහිව භාවිත වීම ගැන ඔබ මොකද කියන්නෙ?

මේක මේ හිටි හැටියේ වෙන දෙයක් නෙවෙයි. සැලැස්මකට අනුව සිදුවන දෙයක්. කාලයක් තිස්සේ සම්බන්ධීකරණයක් ඇතිව, න්‍යාය පත්‍රයකට අනුව සිදුවන දෙයක්. සමහර බලවත් රටවල් පවා මේ වැඩපිළිවෙළට හවුල්. නැතුව මේක චැනල් - 4 නාළිකාවේ විතරක් වැඩක් නෙවෙයි. මේකෙ අලුත් දෙයක් නෑ. හැමදාම මේ වගේ ජාත්‍යන්තර සමුළුවක් තියෙද්දි අලුත් චිත්‍රපටයක් මේ අය එළියට දානවා. පරණ බොරු ටිකම තමයි තියෙන්නෙ. 2009 දීත් වෙබ් අඩවි වල ගිය ප්‍රභාකරන්ගේ පුතාගෙ පිංතූර වගයකුත් ආයෙමත් දැම්මා.

අපි නොයෙක් අවස්ථාවල දී මේ වීඩියෝ දර්ශන වලට අදාළ මුල් වීඩියෝ පටිය පරීක්‍ෂණ සඳහා අපට දෙන්න කියලා චැනල් - 4 න් ඉල්ලුවා. හැබැයි අද වෙනකල් අපට එය දීලා නෑ. එහෙම කරන ගමන් කොලේ වහල තමන් ගේ වැඩේ කරගෙන යන එකයි මේ වෙන්නෙ. මේ චිත්‍රපටය පෙන්වීම ගැන මානව හිමිකම් කවුන්සිලයේ කිසිම සම්බන්ධයක් නෑ කියල ඒකෙ සභාපතිතුමා නිල වශයෙන් දන්වා තිබෙනවා. මේක පෙන්වීම ගැන අපේ ජිනිවා නුවර තානාපති කාර්යාලය විරෝධය පළ කළ අවස්ථාවේ දී එතුමා ඒ බව දන්වලා තිබුණා. හැබැයි, මේක පෙන්වීම මඟින් ඇතැම් රටවල් නොමඟ යවන බව පෙනෙනවා.

මේක පෙන්වීමට දින 2 කට කලින්, “ඉන්ටනැෂනල් හෙරල්ඩ් ට්‍රිබියුන්” පුවත් පුවත් පතේ 2 වැනි පිටුවේ මේ ගැන ලිපියක් පළ වුණා. මේක අසවල් දිනයේ පෙන්වන බවත් එහි සඳහන්ව තිබුණා. මං මේ ලිපිය කියැවූ විගස ඒ පිළිබඳ අපේ තානාපති කාර්යාලය දැනුවත් කළා. අපේ විරෝධයක් තිබියදීත් මේ විදිහේ චිත්‍රපටයක් පෙන්වනවා නම් ශ්‍රී ලංකා රජය වෙනුවෙන් අදහස් දැක්වීමට අපේ නියෝජිතයන්ටත් ආරාධනා ලැබිය යුතු බව දැනුම් දුන්නා. ඉන් පසුවයි ආරාධනා ලැබුණේ. ඒ අනුව, අපේ තානාපතිතුමා එහි ගොස් ප්‍රකාශයක් කළා.

චැනල් - 4 වගේ නාළිකා මේවා සිදු කරන්නේ බලවත් රටවල, හියුමන් රයිට්ස් වොච්, ජාත්‍යන්තර ක්‍ෂමා වගේ සංවිධාන වලත් සහාය ඇතිවයි. මේ වගේ දේවල් පෙන්නුවාම සමහර රටවල් ඒ ඔස්සේ නිගමන වලට එනවා. ඒක අපට නතර කරන්න අමාරුයි. මේවා අමූලික බොරු වුණත් ඒවා ඇත්ත බව කියාපෑමට බලවතුන් තමන්ගේ බලය යොදනවා. ඊළඟ සැසියට මේ වගේ තවත් එකක් ගෙනෙයි.

* මේ පිටුපස එල්.ටී.ටී.ඊ හිතවාදීන් ක්‍රියාත්මක වන බව පැහැදිලියි ද?

එල්.ටී.ටී.ඊ යට අවි ආයුධ මඟින් ලබාගන්න බැරිවුණ දේ ලබාදීමට තමයි ඔය ඇතැම් බලවත් රටවල් මේ වගේ දේවල් වලට සහාය දෙන්නෙ. එල්.ටී.ටී.ඊ හිතවාදීන් මේ රටවල සිට ක්‍රියාත්මක වීමේ දී තමන්ගේ ඡන්ද බලය ඒ ආණ්ඩුවලට පෙන්වනවා. ඒක පෙන්වලා තමයි බලපෑම් කරන්නෙ. එතකොට ත්‍රස්තවාදය පරාජය කළ මේ ස්වෛරී රටේ ප්‍රශ්න ඇතිකරන්න ඒ රටවල් නතු වෙනවා. මේ බලපෑම් පරාජය කරන්න රටට ආදරය කරන කවුරුත් එක පෙළට සිටගත යුතු වුණත් අවාසනාවකට එහෙම වෙලා නෑ. පෞද්ගලික, පටු න්‍යාය පත්‍රවලට වැඩකරන අය රටේ ප්‍රතිරූපය විනාශ කිරීමේ කාර්යයට යොමු වෙලා. ටී. එන්. ඒ. එකේ නියෝජිතයන් කිහිප දෙනෙක් ජිනීවා නුවරට ගොස් රටට එරෙහි ක්‍රියාදාමයක යෙදී සිටිනවා.

* මානව හිමිකම් පිළිබඳ එ.ජා මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ මහත්මියගේ පක්‍ෂපාතී භූමිකාවත් ඔබ දැඩිව විවේචනය කළා...?

එතුමිය කවුන්සිලයේ ඉඳගෙන ඉන්දැද්දිම මං ඒ බව කිව්වා. අපට හැමෝම සතුටු කරන්න බෑ. මං එතැනට ගියේ මගේ රට, ආණ්ඩුව වෙනුවෙන්. එහෙම නැතුව එක එක රටවල් සතුටු කරවන්න නෙවෙයි. ඒ නිසා කිව යුතු දේ මම කිව්වා. මොකද, අපිට හොඳටම පැහැදිලියි එතුමිය අපක්‍ෂපාතී නොවන බව. අපේ රට ගැන කට ඇරියොත් එළියට එන්නෙ පක්‍ෂපාතී – අන්තවාදී මතයක්. මේවා කොහෙන්ද එන්නෙ? උඩ බලාගෙන කෙළ ගහගන්නා විදිහේ වැඩ කරන අය, ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන වල අය එතුමිය නිතර හමුවෙන බවත් අපි දන්නවා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා