සජීවී ලොවේ නොදුටු පැත්ත මං හෙළි කළා

සජීවී ලොවේ නොදුටු පැත්ත මං හෙළි කළා

චාමික මුණසිංහ

විය, ගී පද රචනය, නිවේදනය මෙන් ම ලේඛනය අෑ නෙක් කලා ඉසව් සමතික්‍රමණය කරමින්, හෙළ සාහිත්‍ය කෙත සුපෝෂණයෙහිලා කැපවී කටයුතු කරන ඔහුගේ ප්‍රථම නිර්මාණකරණය වූයේ, ‘සඳලුතලේ සාදය’ නමැති කාව්‍ය හා ගේයපද සංග්‍රහයයි. මේ වනවිට ග්‍රන්ථ 15ක් පමණ රචනා කර ඇති ඔහු, චාමික මුණසිංහ නම් වෙයි. ඔහු ලියූ නවතම ග්‍රන්ථය වන ‘සජීවී ලෝකය’ නමැති කෘතිය මේ මස 28 වැනි දින සවස 3.00 ට ජාතික පුස්තකාල සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී, අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහනාහිමියන්ගේ 94 වැනි ජන්ම දිනයට සමගාමීව දොරට වඩී. මේ කතාබහ ඒ නිමිත්තෙනි.

* ‘සජීවී ලෝකය’ කෘතිය පිළිබඳ හැඳින්වීමක් කළොත්?

මේ කෘතිය අග්ගමහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන් සමඟ කළ සම්මුඛ සාකච්ඡා ඇසුරු කරගෙනයි සකස් කළේ. පසුගිය වසරේ ඇසළ පොහෝ දිනයේ සිට අඛණ්ඩව ‘බුදුසරණ’ පුවත්පතේ ‘සක්වළ සක්මන’ නමින් මා ලිපි පෙළක් සකස් කළා. එම ලිපි පෙළ ඇසුරින් තමයි මේ කෘතිය නිර්මාණය වුණේ. එම වසරේ ඇසළ මහේ සිට වප් මස දක්වා පළවූ පළමු ලිපි විස්ස, ‘සජීවී ලෝකය’ (සක්වළ සක්මන – ප්‍රථම භාගය) නමින් ප්‍රකාශයට පත්කළා. බෙල්ලන ඤාණවිමල මහ නා හිමියන්ගේ 94 වැනි ජන්ම දිනයට සමගාමීව මේ කෘතිය පාඨකයන් වෙත තිළිණ කිරීමට කටයුතු කරනවා.

* ‘මේ කෘතියට ‘සජීවී ලෝකය’ යන නම යෙදුවෙ ඇයි?

සජීවී’ යන වචනය අපට නිරන්තරයෙන් ම අත්දකින්න ලැබෙනව. අද්‍යතන ව්‍යවහාරයේ නිරතුරුව භාවිත වෙනවා. මේ මහා සක්වළ සැබවින් ම විස්මිත වූවක්. එහි තිබෙන්නෙ අසිරිමත් බවක්. එය සැබෑවටම එකට බැඳුණ ලෝකයක්. ලෝකයේ අපමණ ජීවීන් ඉන්නවා. අපේ ලෝකය විතරක් නෙමෙයි සෑම ලෝකයක් ම සජීවියි. අප ජීවත් වන්නෙ පාළු හුදෙකලා ලෝකයක නෙමෙයි. ඒ බව මතු කිරීමට තමයි මේ නම යෙදුවෙ. මේ ලෝකය සෑම විටෙකම සජීවී නිසා, ‘සජීවී ලෝකය” ලෙස නම් කිරීම වඩාත් ම උචිත බව මගේ හැඟීමයි.

* මේ කෘතියේ අන්තර්ගතය පිළිබඳ කතා කළොත්?

සක්වළ දැක්ම හා ජීවන පැවැත්ම, පිටසක්වළත් බුදුවරු වැඩවෙසෙත් ද? සක්වළ ගල සිට විහිදෙන ලෝකය, ලොව මවන්නකු හෝ රකින්නකු නැද්ද?, ඉහළ තලවල ජීව ලෝක, ආලෝකයේ වේගය හඹා යාම, ආධ්‍යාත්මික ශක්ති විශේෂ, සක්වළ ශබ්ද සහ සංඥා, බුද්ධාන්තර හතක් දුක් විඳින සත්ත්වයෝ, විඳින විඳවන විවිධ ලෝක, තිරිසන් ලෝකයේ ස්වභාවය, අපාය සහ මළ මුහුද, අපායේ විලාපය, රාවණ රජුගේ දඬුමොණර යුගය, අද්භූත ශක්ති සහ විශ්ව බලවේග, නොදිරන සිරුරු සහ පිටසක්වළ ජීවය වැනි දේ පිළිබඳ මේ කෘතියේ දී කරුණු අනාවරණය කෙරෙනවා.

ප්‍රධාන පරිච්ඡේද විස්සක් තුළ කරුණු අන්තර්ගත කර ඇතිවා වගේම, සූත්‍ර දේශනා, පර්යේෂණ වාර්තා, සේයාරූ ආශ්‍රයෙන් ඉතා සරලව මෙය ලියැවී තිබෙනවා. මේ කෘතිය තුළ කාලීනව වැදගත් වන මාතෘකා 80ක් පිළිබඳ විස්තර කෙරෙනවා. අග්ගමහා පණ්ඩිත ආචාර්ය බෙල්ලන ඤාණවිමල නා හිමියන්, මේ සෑම කරුණක් ම බුදු දහමට අනුව වගේ ම විද්‍යාත්මකව කරුණු දක්වමින් ඉදිරිපත් කර තිබෙනවා. මූලික බුද්ධ දේශනා සහ නූතන විද්‍යාත්මක අනාවරණ මේ කෘතියේ අන්තර්ගතයි. බොහෝ දේවල නොපෙනෙන පැත්ත කතා කිරීමට මං මේ කෘතියේ දී උත්සාහ ගත්තා.

* අපේ සමාජය තුළ අද්භූත යැයි පිළිගන්නා දේ වගේ ම, මන:කල්පිතයන් ලෙස සැලකෙන සංසිද්ධි පිළිබඳ සඳහන් වෙනවා. මේ පිළිබඳ කතා කළොත්??

අනෝතප්ත විල, කිඳුරන් කියන්නෙ මන:කල්පිත දේ බවයි පැවසෙන්නෙ. මහමේරු පර්වතයත් ඒ වගේ. උදුම්බරා මල ගැන පැවතියෙත් ඔය වගේ කතා. ඒත් බෙල්ලන ඤාණවිමල හාමුදුරුවෝ මේ දේවල් පිළිබඳ යථාර්ථය කුමක්ද යන්න පවසා තිබෙනවා. සක්වළගල කියන්නෙ මොකක්ද? එය නූතන විදු ඇසට හසුවේ ද? මහමෙර කියන්නෙ මොකක් ද? ඒ පිළිබඳ බෞද්ධ මතය කෙබඳු ද? අනෝතප්ත විල පිහිටා තිබෙන්නේ අපේ සක්වළේද? භෞතිකවාදීන්ට අනුව ඒක මන:කල්පිත දෙයක් ද? සඳකිඳුරා කියන්නෙ මන:කල්පිත සත්ත්වයන් ද? කිඳුරු ආත්මෙ මොනවගේද? වගේ විවිධ දේවල් පිළිබඳ කතා කළේ අපේ සමාජය තුළ මේ දේ පිළිබඳ කතාබහට ලක් නොවන නිසයි.

පිටසක්වළ ජීවයක් තිබේද? එසේ තිබේනම් ඒවා කුමනාකාරද? පිටසක්වළ සමඟ පණිවිඩ හුවමාරු කරගන්න පුළුවන්ද? වැනි දේ පිළිබඳත් මේ කෘතියෙන් විමසා බැලෙනවා. ඒ වගේ ම භූතයන් කියන්නෙ කවුද? නූතන කිරිලියන් ඡායාරූපවලට භූතාත්ම විවිධ ස්වරූපවලින් ග්‍රහණය වෙන්නෙ කොහොමද? භූතාත්ම පාළු ස්ථානවල වැඩි වශයෙන් පැවතීමට බලපාන විශේෂ හේතුවක් තිබෙනවද? මේ භූතයන්ට, මනුෂ්‍යයන්ට බලපෑම් කිරීමේ හැකියාවක් පවතිනවද? වැනි කුතුහලය දනවන, අප නොදත් බොහෝ කරුණු මේ කෘතියෙන් විග්‍රහ කෙරෙනවා. මන:කල්පිත, අද්භූත, අපට නොදැනෙන බොහෝ දේ විමසුමට ලක් කිරීමට මේ කෘතියේදී මට බෙහෙවින්ම ඉඩකඩ ලැබුණ බව සඳහන් කරන්න කැමැතියි.

* පුවත්පත්වල පළවන ලිපි ඇසුරින් ග්‍රන්ථ ප්‍රකාශයට පත් කිරීම අද වනවිට සුලබව දක්නට ලැබෙන දෙයක්. ප්‍රකාශයට පත් වූ දෙයක් නැවත ප්‍රකාශයට පත්කිරීමේ පලක් තිබෙනවා යැයි ඔබ සිතනවාද?

හොඳ ලිපි පෙළක් පත්තරේ ගියාට පස්සෙ, පත්තර පිටුව සමහරු එකතු කර ගන්නවා. ඒත් ඒ ලිපි පෙළම එකතු කර ගන්න ඒ අයට අපහසු වෙන්න පුළුවන්. මඟහැරෙන්න පුළුවන්. පාඨකයන්ට වැදගත් ලිපි පෙළක් පොතක් වශයෙන් පළවුණාම, ඔවුන්ට ඕනෑම වෙලාවක අවශ්‍ය කරුණු සොයාබලා ගන්න පුළුවන් වෙනවා. පුවත්පත සොයාගන්න බැරිවුණ කෙනෙකුට ඒක මහත් අස්වැසිල්ලක්. පත්තර පිටුවක පළවූ දෙයක්, කාලයත් සමඟ ජනතාවගෙන් ඈත් වෙනවා. ඒත් පොතක් වශයෙන් පළවුණාහම එහෙම වෙන්නෙ නෑ. ඒ නිසා මං හිතුවා මේ ලිපි පෙළ පත්තර පිටු අතර යටපත්වෙලා යන්න දෙන්නෙ නැතිව රැකගත යුතුයි කියලා. ඒ අනුව මේ කෘතිය සම්පාදනය කළා.

* පුවත්පත් පිටුවක තිබෙන්නෙ සීමිත ඉඩක්. ඒත් පොතක් බවට පත් කරනවිට වැඩි කරුණු ප්‍රමාණයක් අන්තර්ගත කරන්න පුළුවන්. මේ කෘතිය සැකසීමේ දී පුවත්පතට වඩා යමක් එකතු කිරීමට හිතුවෙ නැද්ද?

මේ කෘතිය මඟින් ඉදිරිපත් කෙරෙන්නෙ, පුවත්පතේ අන්තර්ගතයට වඩා වෙනත් දෙයක්. මේ කෘතිය කියවන ඔබ කරන්නෙ, පෙර ලිපි පෙළ නැවත කියවීමක් නෙමෙයි. මේ ලිපි සම්පූර්ණයෙන් ම පරිවර්තනීය වෙනසකට ලක්කළා. ලේඛන ශෛලිය, අන්තර්ගතය වගේ ම පෙළගැස්ම පවා වෙනස් විදිහටයි සිදුකළේ. ඒ වගේ ම ලිපිවලට අදාළ ඡායාරූප, පර්යේෂණ වාර්තා පවා අන්තර්ගත කරන්න මං මෙහිදී කටයුතු කළා.

* පුවත්පතේ මේ ලිපි පෙළ පළවනවිට, පාඨකයන්ගෙන් ලැබුණේ මොනවගේ ප්‍රතිචාරද?

මෙය පොතක් විදිහට තිළිණ කරන්න හැකිවුණේ පාඨකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරයත් සමඟයි කිව්වොත් එය නිවැරැදියි. ලිපියක් පළවුණාට පස්සෙ ඒ පිළිබඳ පාඨකයන් දක්වන අදහස් වගේම, ඔවුන් දන්න තොරතුරු අපට ලියා එව්වා, කතා කරලා කිව්වා. ඔවුන්ගේ අදහස් අනුව නැවත විමසීමට, තොරතුරු සෙවීමට උත්සුක වුණා. එසේ සොයාගත් කරුණු පවා, කෘතියක් බවට පත් කිරීමේ දී උපයෝගී කර ගත්තා. මේ පොත පාඨකයන් අතරට ගියාට පස්සෙ හොඳ ප්‍රතිචාර ලැබේයැයි විශ්වාස කරනවා.

* ඉදිරි ලේඛන කටයුතු පිළිබඳ කතා කළොත්?

මේ කෘතියේ දෙවැනි කොටස, ‘සිත නිවන ලෝකය’ නමින් ඉදිරියේ දී පාඨකයන් වෙත තිළිණ කිරීමේ අපේක්ෂාවෙන් සිටින්නෙ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා