තවමත් නොනිමි ප්‍රතිචාර ලබන “මහින්දෙ තමයි ඉස්කෝලෙ”

තවමත් නොනිමි ප්‍රතිචාර ලබන “මහින්දෙ තමයි ඉස්කෝලෙ”

මානිගේ තීරුවෙන් මනස ප්‍රීනනය කරන කලාව හඳුනාගත් සුන්දර ද නිහතමානී ද වූ මැල් කෙනෙක් “මහින්දෙ තමයි ඉස්කෝලෙ” නම් කෘතිය පළ කොට සුන්දර අත්දැකීමක් සාහිත්‍ය වංශයට නිහතමානීව දායාද කළ බව කියනු කැමැත්තෙමි. මෙය බොහෝ අයට සිතන්නැයි කතාකරන - ලියන්නැයි අත දෙන අතීතය දිගේ අතින් අල්ලාගෙන ඇවිද්දවාගෙන යන අපූරු කාව්‍යයකි. මේ පොත පිළිබඳ යමක් ලියන්නට හිතාගෙන පොත කියැව්වෙමි. මට සිද්ධ වුණේ සුන්දරගේ පොත කියවීම පසෙක තබා මගේ අතීතයට පලායන්නටය.

මේ අත්දැකීම හැම දෙනාටම මේ වනවිට විඳගන්නට ලැබී ඇතුවාට සැකයක් නැත. අප හැම දෙනාගේම දෙවැනි අම්මා පාසල් මාතාව ය. අවුරුදු පහක් ගෙදර ගතකොට ඊළඟ අවුරුදු දහතුනක්ම අප ගත කරන්නේ පාසල් මවු තුරුලේය. කිව්වත් වාගේ එය කෙනෙකුගේ ජීවිත කාලයෙන් හයෙන් එකක් වැනි කාලයකි. මේ හයෙන් එකේ කාලය තරම් රසවත් කාලයක් ජීවිතයේදී කෙනකුට ලැබෙන්නේ නැත. ඉතිරි හයෙන් පහත් හරිය මේ හයෙන් එකත් හරිය!

සුන්දර මේ පොතෙන් කතා කරන්නේ මහින්දය ගැන වුව ද, මගේ සිත ඒ ඔස්සේ කතා කළේ මගේ පාසල වන සංඝමිත්තාව ගැන ය. සැකයක් පුදුමයක් නැත. හැමෝම මේ පොත අතට ගන්නේ යුනිෆෝම් ඇඳගෙන, සපත්තු මේස් දමාගෙන, පොත් ගොඩක් තුරුලුකරගෙන තම තමන්ගේ පාසල්වලට ඇතුල්වන්නට පටන්ගනිමින් ය. මහින්දය දැකුම්කලු පාසලක් බව මා දැනගත්තේ කුඩා කලදී ම ය. ඒ ආදී මහින්දීයකු වූ අපේ තාත්තා පාසලට යන ඇතැම් දවසක මාද එහි ගොස් ඇති බැවිනි. තැන තැන ඇති පඩිපෙළවල් ද, උස්වූ ගොඩනැගිලි ද, වැවූ මල් පඳුරු ද, ශාක ද ඇති සිසිල් සෙවණැති ඒ පරිසරය අපූරු එකක්ම විය. එය ඇත්තටම උද්‍යානයකි.

සුන්දරගේ පොතේ විස්තරත් සමඟ මටත් ඒ සියල්ල මැවී පෙනෙයි. ඔහු සඳහන් කර ඇති අලපලාව කන්ද ද මගේ මතකයේ රැඳී ඇති දෙයකි. මේ පොතෙහි අප රචකයා සිත් ඇදගන්නා කරුණු රාශියක් කියා තිබේ. ඒ අතරින් ඓතිහාසික වශයෙන් මා ඉතාම අගය කරන්නේ ජාතික ගීය නිර්මාණය වූ කතන්දරයයි. එවන් වූ විශිෂ්ට නිර්මාණයකට තිඹිරි ගෙදර වූ ඕල්කට් ශාලාවට “පූජණීය ඕල්කට් ශාලාව“ ය නොකියා වෙන නමක් කියන්නදැයි සිතෙන්නේය.සුන්දර මේ කෘතියෙහි ක්‍රීඩා උත්සව ගැන සඳහන් කර ඇති කරුණ ද ඉතාමත් සජීවී වාර්තාවක් ලෙසින්ම ගෙන හැර පා ඇත. ඒ සියලුම දේ සමඟ තම තමනුත් සම්බන්ධ වී සිටියා වගේ හැඟීමක් කියවන්නාට ඇතිවෙන හැටි පුදුම ය.

ඒ සුන්දරගේ ශෛලියේ හාස්කමකි. “ක්‍රීඩා රස කතාව“ කියවා වරුවක් සිනාසෙන්නට හැකි වූයේ විනිසුරුකරුවකු වූ ආදි ශිෂ්‍යයා ස්වර්ගයට ගිය කතාව ඇසූවිට ය.මහින්දයේ උගත් බොහොමයක් ආදි සිසුන් (මෙන් ම සිසුවියන්) අද සමාජයේ ඉහළම ස්ථරවල සිටීම අතිශයෝක්තියක් නොවේ. සුන්දර ඒවා ගැන සඳහන් කර ඇත්තේද නිහතමානී ආඩම්බර ශෛලියකිනි. එවිට පාසල් මව කෙරෙහි ඇති භක්ත්‍යාදරය ලියලා වැඩෙයි. ඇසට කඳුළු ද නැගෙයි. “අම්මා” ගැන කියැවෙන විට හැමෝටම තම තමන්ගේ අම්මා ගැන සිහිපත් වෙනවා වගේ් දෙයකි. ගුරුවරුන් ගැන අතීත සිද්ධි අවලෝකනය ද ඔහු අපූරු ලෙස ගොඩනගා ඇත. “තෑගි නොරිස්සූ” ගුරුවරයා සහ ගුරුවරියගේ කතා ගුරු බැතියෙන් අපේ හදවත් තෙත් කරයි.

සමාජයක නිර්මාතෘවරයා වන ගුරුවරයාගේ ගත සිත දයාවෙන් තෙත්වෙද්දී, රුපියල් සියයේ පඩියට උගන්නාපු ගුරුවරුන්ට දමා ඇති ශතකාචාර්ය නම ගැන කියා සුන්දර අපව හොඳටම හිනස්සවයි. එසේ ම ගුරුවරුන්ගේ දඬුවම් සම්බන්ධව ද කියා අප නැවත සිනා සයුරේම ගිල්වන සුන්දර, අපට අතීත පාසල් මතක සාගරයෙන් ගොඩ එන්නට දෙන්නේම නැතිව සිටියි. සුන්දරට වගේම මටත් බක්කි කරත්තෙන් පාසල් ගිය කාලයකුත් තිබුණි. ඒ නිසා ඒ මතක මට සමීප ය. (සුන්දරලා ගිය බක්කිය අපට කවදාවත් හමුවුණේ නැතත්) පාසල් ජීවිතය සම්බන්ධ මතක ගොනුකළ මේ වගේ පොතක් ලියන්නට අපට හිතුණේ නැති එක ගැන හීල්ලෙයි. එක අතකින් සතුටු හිතෙයි.

ඒ සුන්දර ඒ වැඩේ ප්‍රථමයෙන්ම කළ නිසා ය. ඇත්තටම සුන්දරගේ මේ කෘතිය මහින්ද මාතාවගේ ගෙලේ ලන ලද අපූරු මල් මාලාවකි. කෙසේ වෙතත් මේ කෘතිය ආකාර කීපයකින්ම මගෙ විශේෂ අවධානය පැහැරගත් බව කිව යුතු ය. මුලින්ම ඒ පොතෙහි නම ය. එය අපූරු නමකි. ඒ සමඟම පොතේ පිටකවර සැලැස්ම ද ආකර්ෂණීය ය. එහි ආයේ කතා දෙකක් නැත. කාලයේ තාලයට නතු වී සිසු දරු දැරියෝ පාසලට එති, යති. ඒ සිවුසල් ගොඩනැගිලි තුළ හැමදාමත් ඒ දරුවන්ගේ හඬවල් නින්නාද දෙති. මහින්දයෙන් බිහිවී ශ්‍රේෂ්ඨ පුරවැසියන්ගේ සමාජයට පා තැබූ හැමදෙනාම අපට එදිනෙදා ජීවිතයේදී හමුවන, අප ගරු කරන අපේ ම මිනිසුන් ය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා