මත්තල තෙල් සැපයුම් පර්යන්තය ලොව ඉහළම තාක්ෂණයෙන් යුක්තයි

මත්තල තෙල් සැපයුම් පර්යන්තය ලොව ඉහළම තාක්ෂණයෙන් යුක්තයි

 - ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා

ලෝකයේ ඉහළම තාක්ෂණික උපකරණ යොදාගනිමින් මත්තල ගුවන් තොටුපළ තෙල් සැපයුම් පර්යන්තය ඉදිකර ඇති බව ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය. මේ නිසා ලොව ඕනැම ගුවන් යානයකට තරඟකාරී මිලකට තෙල් සැපයීමට හැකි බවත් හෙතෙම අනාවරණය කළේය.

මත්තල ගුවන්තොටුපළ තෙල් සැසයුම් අංගනයේ ඉදිකිරීම් ප්‍රගති සමාලෝචනය සාකච්ඡාවට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීවේය.

මත්තල ගුවන්තොටුපළ මෙහෙයුම් ආරම්භ කිරීමට සමගාමීව හම්බන්තොට වරාය තෙල් ගබඩා සංකීර්ණයේ ධාරිතාව ලීටර් මිලියන 23 ක් දක්වා වැඩි කිරීම මගින් වරාය හා ගුවන් සේවා සඳහා කිසිදු ප්‍රමාදයකින් තොරව තෙල් සැපයීමට අවශ්‍ය තෙල් ගබඩා පහසුකම් සකස් කිරීමට පියවර ගන්නා බවත් ඒ මහතා පැවසීය.

මත්තල ගුවන්තොටුපළ තෙල් සැපයුම අංගනය ඉදිකිරීම් ව්‍යාපෘතියේ පළමු පියවර මේ වනවිටත් අවසන්කර ඇති බව පවසන ඇමැතිවරයා ගුවන් යානා තෙල් සැපයීමට හැකි වන ආකාරයෙන් තෙල් ලීටර් දෙලක්ෂ පනස්දහසක් ගබඩා කිරීමේ ධාරිතාවයකින් යුතුව තෙල් ටැංකි මේ වන විටත් සංස්ථාව සතු බව ප්‍රකාශ කළේය.

අවශ්‍ය ඕනෑම අවස්ථාවක තෙල් සැපයිය හැකි ආකාරයට එළඹෙන ජූනි මාසය වන විට මිලියන තුනක තෙල් ගබඩා ධාරිතාවකින් යුතු තෙල් අංගනයේ ඉදිකිරීම් නිම කරන බවත් ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 40 ක් වැය කර ඇති බවත් ඛනිජ තෙල් සංස්ථාව පෙන්වා දෙන ලදී.

මෙම අවස්ථාවට අමාත්‍යංශ ලේකම් ආචාර්ය ආර්.එස්.එච් සමරතුංග, ලංකා ඛනිජ තෙල් සංස්ථා සභාපති තිලක් කොල්ලුරේ, ශ්‍රී ලංකා ඛනිජතෙල් තොග ලබඩා පර්යන්තයේ සභාපති මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්ලිව් ද සොයිසා මහත්වරුන් ඇතුළු ඉහල කළමනාකරීත්වය සහ මත්තල ගුවන්තොටුපළ ඉන්ධන බෙදාහැරීම් පර්යතන්තයේ ඉදිකිරීම් සමාගම් නියෝජිතයෝ සහභාගිවී සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා