බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගිය විත්තිකරු අල්ලයි

බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගිය විත්තිකරු අල්ලයි

රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ දී බන්ධනාගාර නිලධාරීන් බාරයේ සිටිය දී මීට මාස 11කට ඉහතදී පලා ගිය විත්තිකරුවෙකු ඉකුත් දා අත්අඩංගුවට ගත් බව රත්නපුර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති සම්පත් අබේවික්‍රම මහතා පැවසීය.

තම නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් මේ සැකකරුට වරෙන්තු ගණනාවක්ම රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නිකුත් කර තිබූ බවද ස්ථානාධිපතිවරයා කීය. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රුවන්වැල්ල වසමේ පහළ දන්නරුව ඉහළගම පදිංචි කංකානමලාගේ දිනුෂ විපුල් වික්‍රමසිංහ (38) නැමති අයෙකි.

සබරගමු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාගේ උපදෙස් මත රත්නපුර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති ‍සම්පත් අබේවික්‍රම මහතාගේ මෙහෙයවීම යටතේ සැරයන් විජේවර්ධන, කොස්තාපල් දිසානායක, ජානක, අසංක, බණ්ඩාර, සේනානායක, පද්මසිරි යන නිලධාරී විත්තිකරු අත්අඩංගුවට ගැනීමට කළ වැටලීමට සහභාගී වූහ.

විත්තිකරුට විරුද්ධව රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ ත්‍රිරෝද රථයක් විකිණීම සම්බන්ධව විශ්වාසය කඩ කිරීමක් හා මුදල් මංකොල්ලකෑමක් ද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු 4ක් වාහන මංකොල්ල කෑමක් හා මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් තිබෙන බව පොලිසිය පවසයි.

නිවස වැටලූ පොලිස් කණ්ඩායම සැකකරු පොලිස් නිලධාරීන්ට තුවාල සිදු කර පලා යාමට උත්සාහ කරද්දී විශාල පරිශ්‍රමයකින් පසු අත්අඩංගුවට ගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා