රාජාංගණය නවසිරිගම කසිප්පු ජාවාරම ජයටම

රාජාංගණය නවසිරිගම කසිප්පු ජාවාරම ජයටම

පොලිසියෙන් වැටලීම් නෑ: ප්‍රදේශවාසීන්ගෙන් චෝදනා

තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය නවසිරිගම ගම්මානයේ නීති විරෝධී මත්පැන් පෙරීමේ හා අලෙවි කිරීමේ ජාවාරම ඉතා යහමින් සිදු වන බව නවසිරිගම ගම්මානයේ පදිංචිකරුවෝ පවසති.

තඹුත්තේගම පොලිස් වසමේ හා රාජාංගනය පොලිස් වසමේ ගම් රැසක නීති විරෝධී මත්පැන් ජාවාරමට වැට බැඳී ඇතත් වසර ගණනාවක් තිස්සේ තඹුත්තේගම පොලිස් වසමේ රාජාංගනය නවසිරිගම ගම්මානයේ කසිප්පු ජාවාරමට වැට බැඳීමට තඹුත්තේගම පොලිසිය මෙතෙක් සමත්ව නැති බව නවසිරිගම ගම්වාසීහු පවසති.

සෑම දිනකම සවස් කාලය වන විට ප්‍රදේශයේ බීමතින් පරුෂ වචන කියමින් පුද්ගලයන් විශාල පිරිසක් කලහකාරී අයුරින් හැසිරෙන බවද ප්‍රදේශවාසීහු පවසති. මේ හේතුව නිසා අධ්‍යාපනය ලබන පාසල් දරුවන්ට නිවෙස්වල පාඩම් වැඩකටයුතු කරගෙන යාමට පවා නොහැකි බවද දරුවන්ගේ දෙමාපියෝ පවසති.

සවස 6න් පසු කාන්තාවකට තනිවම වෙළෙඳසැලකටවත් යාමට නොහැකි වන අයුරින් තරුණයන් හා මැද වයසේ පිරිස් මත්පැන් පානය කර පොදු මාර්ගවල හැසිරෙන බවද දැනගන්නට ඇත.

මත්පැන් පෙරන්නන් සහ අලෙවි කරන්නන් සම්බන්ධයෙන් තඹුත්තේගම මූලස්ථාන පොලිසියට ඔත්තු සැපයුවත් තඹුත්තේගම පොලිසිය ඊට හරියාකාරව නීතිය ක්‍රියාත්මක නොකරන බවත් ඔත්තු සැපවූවන් සම්බන්ධයෙන් කසිප්පු ජාවාරම්කරුවන්ට පෙරළා පැවසීම හේතුවෙන් ප්‍රදේශවාසීන් තඹුත්තේගම ‍මූලස්ථාන පොලිසියට කසිප්පු ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් තොරතුරු ලබා දීමට උනන්දුවක් නොදක්වන බවත් ප්‍රදේශවාසීහු කියති.

නවසිරිගම ප්‍රදේශයේ මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා වෙනත් ප්‍රදේශයකින් හෝ පොලිස් කණ්ඩායම් එවා ඔවුන් අත්අඩංගුවට ගන්නා ලෙස ප්‍රදේශවාසීන් අනුරාධපුර දිසාව භාර ‍උසස් නිලධාරීන්ගෙන් ඉල්ලීමක් කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා