ශ්‍රී ලංකාවෙන් ජපානයට අලි පැටවුන් දෙදෙනෙක්

ශ්‍රී ලංකාවෙන් ජපානයට අලි පැටවුන් දෙදෙනෙක්

ජපානයත් - ශ්‍රී ලංකාවත් අතර පවතින රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 60ක් සපිරීම සංකේතවත් කරමින් ජපානයේ ටෝකියෝහි තාමා සත්ත්ව උද්‍යානය වෙත අලි පැටවුන් දෙදෙනෙක් ප්‍රදානය කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් ඊයේ (12) පස්වරුවේ සිදු විය.

මේ අලි පැටවුන් දෙදෙනා ‘අමරා’ සහ ‘විදුර’ නම් වෙයි. අමරාගේ වයස අවුරුදු 8ක් වන අතර විදුර පස් වන වියේ පසු වෙයි.

අලි පැටවුන් දෙදෙනා ‘තාමා’ සත්ත්ව උද්‍යානය වෙත භාරදීම සංකේතවත් කරමින් අලි පැටවුන්ගේ ඡායාරූපයක් ජනාධිපතිතුමා ඉදිරියේ ඇමැති ජයරත්න හේරත් මහතා විසින් ටෝකියෝ නාගරික පාලක නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වෙත භාර දෙන ලදී.

ජපන් රජ කුමරිය වන ටකමාඩෝ ඉක්සුකෝ කුමරියද මෙම අවස්ථාවට එක්ව සිටි අතර ජපන් ජනතාවත් ශ්‍රී ලාංකීය ජනතාවත් අතර පවතින්නේ දැඩි බැඳීමක් බව සඳහන් කළ රජ කුමරිය සත්ව උද්‍යානය වෙත අලි පැටවුන් දෙදෙනා ලබාදීම පිළිබඳ ජනාධිපතිතුමා වෙත ස්තූතිය පළ කර සිටියාය. ශ්‍රී ලංකා රජය විසින් මීට පෙරද අනුර නම් අලි පැටවකු මෙම සත්ව උද්‍යානයට ලබාදුන් අයුරුද මෙහිදී රජ කුමාරිය සිහිපත් කළාය.

අද පස්වරුවේ ‘තාමා’ සත්ව උද්‍යානය වෙත ගිය ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව සහ ශිරන්ති රාජපක්ෂ මැතිනියව කුඩා දරු දැරියෝ පිරිසක් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිත්හ.

ජනාධිපතිතුමා ඉදිරියේ සිංහල ගීතයක් සහ ජපන් ගීතයක් ගායනා කළ දරු දැරියෝ සිය දක්ෂතාද ඉදිරිපත් කළහ. අලි පැටවුන් භාර දීමේ උත්සවයෙන් අනතුරුව සත්ව උද්‍යානයෙන් නික්ම යාමට සැරසුණු ජනාධිපතිතුමාව සහ ආර්යාව වට කරගත් ජපන් දරු දැරියන් සුරතල් අලි පැටවුන් දෙදෙනකු තම සත්ව උද්‍යානයට ලබාදීම පිළිබඳ ජනාධිපතිතුමා වෙත තම සතුට පළ කර සිටියහ.

ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකුඩා මහතා ද මේ අවස්ථාවට එක්ව සිටි අතර ජනාධිපතිතුමා සමඟ ජපන් සංචාරයට එක්ව සිටින ජ්‍යෙෂ්ඨ ඇමැති ඒ. එච්. එම් ෆවුසි, අමාත්‍යවරුන් වන මහාචාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරිපාලද සිල්වා, ජයරත්න හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන , ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග යන මහත්වරුන් සහ ජපානයේ සිටින ශ්‍රී ලංකා තානාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාද එක්ව සිටියහ.

මේ අතර ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය යෂුවෝ ෆුකුඩා මහතා සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අතර සුහද හමුවක් අද පස්වරුවේ ටෝකියෝහී දී සිදු විය. ශ්‍රී ලංකාවේ ඇති වි ඇති සාමය සහ සංවර්ධනය පිළිබඳව තම සතුට පළ කළ හිටපු අග්‍රාමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ සිදුවන සුවිසල් සංවර්ධනය සියැසින්ම දැක බලාගත් බවත් එය ඉතා විෂ්මිත බවත් කියා සිටියේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා