යාපනේ හමුදා කඳවුරුවලට ලබා දුන් අක්: 21000ක් මුල් පදිංචිකරුවන්ටම

යාපනේ හමුදා කඳවුරුවලට ලබා දුන් අක්: 21000ක් මුල් පදිංචිකරුවන්ටම

* හමුදාවට තිබූ ඉඩම් රජයට බාර දීලා

* හිමිකරුවන් සෙවීමේ කටයුතු කඩිනමින්

* උතුරේ ඉඩම් ගැටලු 250000ක් හඳුනා ගෙන

රජයේ හමුදා කඳවුරු සඳහා අත්පත් කරගත් යාපනය අර්ධද්වීපයේ පිහිටි අක්කර 21,000 ක ඉඩම් ප්‍රමාණයක් නැවත මුල් පදිංචිකරුවන් වෙත බෙදාදීමට රජය තීරණය කරයි. හමුදාවන් පරිහරණය කළ මේ ඉඩම් ප්‍රමා‍ණය දැනටමත් රජය වෙත බාරදී තිබෙන බවද එම ඉඩම් හිමිකරුවන් සෙවීමේ කටයුතු මේ වනවිට සිදුකරගෙන යන බවද ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව සඳහන් කළේ යාපනය සහ කිළිනොච්චිය ප්‍රදේශයන්හි ස්ථාපිත කළ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ දිස්ත්‍රික් කාර්යාල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි. යාපනය ප්‍රදේශයේ සියලූම රාජ්‍ය නිලධාරීන් සහ ආරක්ෂක අංශ නිලධාරීන් සමඟ මේ සම්බන්ධයෙන් සාකච්ඡාකළ ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා එම ඉඩම්වල පදිංචිකරුවන් හඳුනා ගැනීම සඳහා අවශ්‍ය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර තිබේ.

උගත් පාඩම් හා ප්‍රතිසංධානය පිළිබඳ ජනාධීපති කොමිෂන් වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශය වෙත පැවරී ඇති කාර්යභාරය වඩා විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් මේ දිස්ත්‍රික් කාර්යාල ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ මඟින් ඒ ඒ ප්‍රදේශයන්හි ජනතාවගේ ඉඩම් ගැටළු සඳහා විසඳුම් ලබාගැනීමට හැකියාව ලැබෙන බව ඇමැතිවරයා සඳහන් කළේය.

උතුරු හා නැඟෙනහිර පළාත්හි යුද්ධයෙන් ඇවතැන්වූ ජනතාවගේ ඉඩම් ගැටලු 250,000 ක් පමණ විසඳීමට සිදුව තිබෙන බව පෙන්වාදුන් ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමැතිවරයා රජයේ හමුදා කඳවුරු ඉදිකිරීම සඳහා එම ප්‍රදේශවලින් පවරාගත් පෞද්ගලික ඉඩම් නැවත හිමිකරුවන්ට පැවරීම හා වන්දි ගෙවීමේ කටයුතු විධිමත් හා කාර්යක්ෂම කිරීමේ අරමුණින් යාපනය සහ කිළිලිනොච්චිය ප්‍රදේශයන්හි ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශයේ දිස්ත්‍රික් කාර්යාල ආරම්භ කළ බව පැවසීය.

මේ ප්‍රදේශයන්හි ඉඩම් ගැටලු විසඳීම සඳහා ප්‍රමුඛතා පදනම මත විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍යාංශ පියවර ගෙන ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා