හම්බන්තොට වරායේ කම්හල් ඉදිකිරීමට ආයෝජකයන් 7කට කැබිනට් අනුමැතිය

හම්බන්තොට වරායේ කම්හල් ඉදිකිරීමට ආයෝජකයන් 7කට කැබිනට් අනුමැතිය

හම්බානා පෙට්රෝ කෙමිකල් සමාගම මාගම් රුහුණු පුර ‍මහින්ද රාජපක්ෂ වරායේ ඉදිවන දෙවන කර්මාන්ත ශාලාව සඳහා ඊයේ (12) වරාය පරිශ්‍රයේදී ගිවිසුම් අත්සන් කළේය.

මහින්ද රාජපක්ෂ වරාය සිය මෙහෙයුම් ආරම්භ කිරීමත් සමඟම එහි ආකර්ෂණය කලාපීය ආයොි්ජකයින් වෙත බලපා ඇත. මේ වන විට වරාය පරිශ්‍රයේ කර්මාන්ත ඉදි කරලීමට ආයෝජකයින් හත් දෙනකුට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

වරාය පරිශ්‍රය තුළ මෙවැනි ආයෝජකයින් පෞද්ගලික අංශය මගින් සිදු කරලීම තුළින් මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළ පරිදි සෘජු හා වක්‍ර රැකියා විශාල ප්‍රමාණයක් ඇති වන බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති ඇමැති රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.

මේ මගින් ප්‍රදේශයේ ආර්ථික හා සමාජීය සංවර්ධනයක් සිදු වනු ඇතැයිද ඇමැතිවරයා කීය. පසුගිය වසර තුන තුළදී මාගම් රුහුණුපුර මහින්ද රාජපක්ෂ වරායේ සංවර්ධන අපේක්ෂාවන් සම්පූර්ණ වෙමින් තිබෙන බව මෙම අවස්ථාවට එක් වූ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ආචාර්ය ප්‍රියත් බී වික්‍රම මහතා කීය.

මෙවැනි විශාල ආයෝජකයින් වරාය පළමු අදියරේදීම කැඳවීමට ලැබීම ජයග්‍රහණයක් බව කී සභාපතිවරයා ලෝකයේ ඕනෑම ආයෝජකයකුට මෙම වරාය සමඟ එක්ව කටයුතු කිරීමට හැකි වන බවද කීය. හම්බානා පෙට්රෝ කෙමිකල් සමාගමේ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක අභිජිත් සෙත් මහතාද මෙහිදී අදහස් දැක්වීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා