අධිකරණයට අපහාස කළාට මන්ත්‍රී සුජීව සේනසිංහට දැඩි අවවාද

අධිකරණයට අපහාස කළාට මන්ත්‍රී සුජීව සේනසිංහට දැඩි අවවාද

අධිකරණයට අගෞරව සහ අපහාස වන අන්දමින් හැසිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ සහ ෆර්මාන් කසීම් යන නීතිඥවරුන්ට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) තරයේ අවවාද කෙළේය.

අධිකරණයට අපහාස වන අන්දමින් තවදුරටත් හැසුරුණහොත් ඔවුනට එරෙහිව විනය නියෝගයක් නිකුත් කරන බවට අනතුරු අඟවන ලදී. එවැන්නකදී අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් නොකර සිටීමට හේතු දක්වන ලෙස නියෝග කිරීමට පියවර ගන්නා බවද දැනුම් දෙන ලදී.

මෙම නීතිඥවරුන් දෙදෙනා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි පෙත්සම් තුනක් ඊයේ (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවෙහි කැඳවන ලදී. එම පෙත්සම් සම්බන්ධ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ප්‍රකාශ කරමින් සිටියදී ඔවුන් දෙදෙනා අධිකරණ ශාලාවෙන් පිටව යාමට සූදානම් වූහ.

ඔවුන් නැවත අධිකරණ ශාලාවට කැඳ වූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල ඔවුනට දැඩි සේ අවවාද කෙළේය. අධිකරණයේදී එහි ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම සෑම දෙනාගේම වගකීමක් වන අතර වෙළඳපොළක හෝ මහ මඟ හැසිරෙන ආකාරයෙන් අධිකරණ ශාලාවෙහි හැසිරීමට කිසිවකුටත් නොහැකි බව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා මෙහිදී සඳහන් කෙළේය.

තමන්ට අධිකරණ ක්ෂේත්‍රයෙහි වසර 38ක ඉතිහාසයක් ඇති බව ද තමන් මෙම වෘත්තියට පිවිසෙන විට මෙම නීතිඥවරු උපත ලබා හෝ නොසිටින්නට ඇති බවද කී අගවිනිසුරුවරයා එතෙක් මෙතෙක් ඉතිහාසයෙහි මෙවැනි අශෝබන හැසිරීමක් නීතිඥවරයකුගෙන් නොදුටු බව කීය. අධිකරණය විසින් නඩුවක් විභාග කෙරෙමින් තිබියදී එහි පාර්ශ්වයන්ට පෙනී සිටි නීතිඥවරු අධිකරණ ශාලාවෙන් ‍පිටත්ව යාම අධිකරණයෙහි ගෞරවය හෑල්ලූ කිරීමක් බවට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේය.

මෙම නීතිඥවරුන්ගේ හැසිරීම මහජනතාවට මෙන්ම තරුණ නීතිවේදීන්ට වැරැදි පූර්වාදර්ශයක් බවද සඳහන් කෙළේය. ශ්‍රේෂ්ඨාධිකරණයේදී පමණක් නොව වෙනත් කවර අධිකරණයකදී වුවත් එහි ගරුත්වය ආරක්ෂා වන අන්දමින් කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බව විනිසුරු මඬුල්ල මෙහිදී සඳහන් කළේය.අගවිනිසුරු මොහාන් පීරිස්, පී. ඒ. රත්නායක, ප්‍රියසාත් ඩෙප් යන මහත්වරුන්ගෙන් මෙම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල සමන්විත විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා