කමිටුවේ ප්‍රශ්න මැද පාපන්දු නිලවරණයට අවසර

කමිටුවේ ප්‍රශ්න මැද පාපන්දු නිලවරණයට අවසර

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ අවිධිමත් ක්‍රියා සම්බන්ධ පරීක්ෂණය පැවැත්වෙමින් තිබියදී අත්හිටවූ නිලවරණය මේ 24වැනිදා පස්වරු 3.00ට ඔලිම්පික් නිවහනේදී පැවැත්වීමට ක්‍රීඩා අමාත්‍යංශයේ අවසරය ඊයේ ලබා දුනි.

ශ්‍රී ලංකා පාපන්දු පරිපාලනයේ දැවැන්ත චරිතයක් වු මනිලාල් ප්‍රනාන්දු මහතාට අන්තර්ජාතිකව තහනමක් පැනවු දිනට පසු දින මෙරට පාපන්දු නිලවරණය නැවැත පැවැත්වීමට අවසරය හිමිවීමද විශේෂත්වයකි.

පාපන්දු නිලවරණයට අලුතින් නාමයෝජනා කැඳවීමක් සිදු ‍නොවන අතර හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුවන රංජිත් රුද්‍රිගු මහතා සභාපති ලෙස නිතරගයෙන් තේරී පත්වීමට නියමිතය. පසුගිය 9දා පාපන්දු නිලවරණය පැවැත්වීමට නියමිතව තිබුණද සම්මේලනයේ අවිධිමත් ක්‍රියා හේතුවෙන් දෙවරක්ම කල්දැමීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගත්තේය.

ඒ සමගම පාපන්දු සම්මේලනයේ ක්‍රියාකාරිත්වය සෙවීමට ක්‍රීඩා අධ්‍යක්ෂ ශාන්ත වීරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රි පුද්ගල කමිටුවක්ද නම් කෙරුණි. පාපන්දු පරිපාලනයට සම්බන්ධ කිහිප දෙනෙකුගෙන්ම එම කමිටුව ප්‍රශ්න කර ඇති අතර ඊයේ දිනයේදී පාපන්දු ක්‍රීඩාංගණ ඉදිකිරීමේදී මුදල් පරිපාලනය සිදුවු අයුරු දීර්ඝ විමසුමකට ලක්කොට ඇත.

පාපන්දු සම්මේලනය එම ක්‍රීඩාංගණ ඉදිකිරීමට දායක ‍නොවු බව නිලධාරීන් පිරිස විමර්ශන කමිටුවට දන්වා ඇති අතර පාපන්දු සම්මේලනය තුළ ක්‍රියාත්මක වු පරිපාලන කමිටුවකින් ක්‍රීඩාංගණ ඉදිකිරීමේ සියලු මුදල් පරිහරණය කළ බව දැනුම් දී ඇත.

ඇතැම් ක්‍රීඩාංගණ ඉදිකිරීමට ලැබුණු මුදල් කොපමණද යන්න හා ඉදිකිරීම් කළ ආයතනය කුමක්ද යන්න පවා පාපන්දු සම්මේලන නිලධාරීන් නොදන්නා බව කමිටුවට පවසා ඇතැයි වාර්තා වේ.පාපන්දු පරිපාලනයේ අවිධිමත් ක්‍රියා සෙවීමට පත්කළ කමිටුවේ වාර්තාව මේ සතියේදී ලබාදෙන ලෙස ක්‍රීඩා ඇමැතිවරයා නියෝග කොට ඇතැයිද වාර්තා වේ.

මේ අතර අන්තර්ජාතික තහනමකට ලක්වු මනිලාල් ප්‍රනාන්දු මහතා මැයි 2වැනිදා පැවැත්වීමට නියමිතව තිබු ආසියානු පාපන්දු සභාපති තරගයට ඉදිරිපත්වීමේ සුදානමකින් සිටි බව විදෙස් වාර්තා සඳහන් කරයි.

අල්ලස් හා දුෂණ වංචා ය‍ටතේ තහනමකට ලක්වු හිටපු ආසියානු පාපන්දු සභාපති බින් හමාම් මහතාගේ දකුණු ආසියා කළාපයේ ක්‍රියාකාරි‍කයෙකු ලෙස හඳුන්වන ප්‍රනාන්දු මහතාට ඇති චෝදනා ඉදිරි දිනවල ජගත් පාපන්දු සම්මේලනයේ ආචාර ධර්ම පිළිබඳ කමිටුවේදී මුලික විභාගයකට ගැනේ.

බින් හමාම් මහතා ජගත් පාපන්දු සභාපති තනතුරට ඉදිරිපත්ව සිදුකළ ඡන්ද ව්‍යාපාරයේදී කැරිබියන් පාපන්දු නිලධාරීන්ට ඩොලර් හතලිස්දාහක අල්ලසක් ලබාදුන් බවට චෝදනාවක් විභාග වෙමින් පවතින අතර එම සංචාරයට මනිලාල් ප්‍රනාන්දු මහතාද එක්වු බව ජගත් පාපන්දු සම්මේලනය හෙළිකරගෙන ඇතැයි පැවැසේ. පසුගිය කාලයේදී ඇමරිකාවේ මධ්‍යම රහස් ඔත්තුසේවයද මේ පිළිබඳව ප්‍රශ්න කර ඇතැයි එම විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබුණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා