|
||||
දකුණු කොරියා දූපතක් මුළුමනින් වනසනවාඋතුරු කොරියා නායකයා අනතුරු අඟවයි කොරියානු අර්ධද්වීපයේ දැනටත් පවත්නා යුදමය වාතාවරණය තවත් උත්සන්න කෙරෙමින් දකුණු කොරියානු දූපතක් මුළුමනින්ම වනසා දමන බවට උතුරු කොරියානු නායක කිම් ජොන් උන් තර්ජනය කර ඇතැයි පැවසේ. උතුරු කොරියානු තෙවැනි න්‍යෂ්ටික අත්හදා බැලීමෙන්පසු එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් එරටට පැනවුණු සම්බාධකවලට ප්‍රතිචාර වශයෙන් න්‍යෂ්ටික යුද්ධයක තර්ජනයක් මතු කිරීමෙන් කිම් ජොන් උන් විසින් මේ වාතාවරණය ඇති කර තිබේ. පෙරේදා සිට ඇරඹී තිබෙන අමෙරිකා- දකුණු කොරියානු යුද අභ්‍යාසයට විරෝධය දක්වන උතුරු කොරියාව 60 වසරක් පැරණි උතුරු දකුණු සටන් විරාම හා ආක්‍රමණ වැලකුම් ගිවිසුම නොතකා කටයුතු කරන බවට තර්ජනය කර තිබේ. මේ තර්ජනයන් රැසක් හුදු පුරාජේරු ලෙස නොතකා හැරුණද නවතම තර්ජනය වන ‘බයෙන්ග් නෙයොන්’ දූපත වනසන තර්ජනය සිදුකළ හැක්කක් බැවින් ඒ සම්බන්ධයෙන් බියක් ජනිතව ඇති බව පැවසේ. එම දූපතේ 5000 ක පමණ ජනතාවක් වාසය කරන බවද පැවසේ. 2010 දී පුද්ගලයන් 46 දෙනකුගේ ජීවිත අහිමි කරමින් දකුණු කොරියානු යුද නැවක් ගිල්වන ලද්දේ මේ දූපත ආසන්නයේදීය. පෙරේදා ඉදිරි කාලතුවක්කු ඒකකය නැරඹීමට ගිය කිම් ජොන් උන් අදාළ දූපත ගිනි ජාලාවක් බවට පත්කිරීමේ සැලසුම් ප්‍රකාශයට පත්කර ඇත. මේ අනුව රේඩාර් මධ්‍යස්ථාන, නෞකා නාශක මිසයිල, බහුපාර්ශ්ව මි .මි.130 රොකට් මධ්‍යස්ථාන ආදිය පවත්නා බව ඔහු ප්‍රකාශ කර ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරන දකුණු කොරියාව අදාළ දූපතේ ආරක්ෂණ විධි විධාන ක්‍රියාත්මක කෙරී ඇති අතර නේවාසිකයන් විශාල පිරිසක් ප්‍රධාන දූපතට පලා එනු ඇතැයි බිය පළ කර තිබේ. කෙසේ වෙතත් උතුර තමන් කුපිත කරන්නේ නම් ඔවුනට නොසිතුවිරු විනාශයක් ළඟාකර දෙන බවද ඔවුන් පවසා ඇත. |
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |