විදුලියයි – ඔබයි!

විදුලියයි – ඔබයි!

නූතන ලෝකයට විදුලියෙන් තොර ව එක අඟලක් හෝ ඉදිරියට යා නො හැකි ය. විදුලිය රටක සංවර්ධනයේ ප්‍රධාන සාධකය ලෙස ද සලකනු ලැබේ. සෝවියට් රුසියාව සමාජවාදය කරා ගෙන ගිය ලෙනින් පවා විදුලි බල ශක්තියේ අවශ්‍යතාව ගැන පුන – පුනා කියා තිබේ.

ශ්‍රී ලංකාව විදුලි බලශක්තිය ලබාගෙන දීර්ඝ කාලයක් ගත කර නැත. මුලින් ම අපට එළිය ලැබුණේ ගෑස් ලාම්පු මගින් යැයි කියති. ඊටත් පෙර පැවැතියේ පන්දම් එළිය. ජල විදුලිය ලැබී කෙටි කාලයකින් රට පුරා විදුලිය ව්‍යාප්ත වන්නට පටන් ගත්තේය. එහෙත් නූතන සංවර්ධන ක්‍රියාවලිය සමඟ ප්‍රමාණවත් විදුලි බලයක් සැපයීමට ජලය ප්‍රමාණවත් වූයේ නැත.

තවදුරටත් ජල විදුලිය කෙරෙහි බලාපොරොත්තු තැබිය නො හැකි බව සාකච්ඡා වූයේ මීට වසර ගණනාවකට පෙර සිටය. ඊළඟ යෝජනාව වූයේ ගල් අඟුරු බලාගාර ය. ගල් අඟුරු බලාගාර ඉදිකිරීමට එරෙහි ව විවිධ විරෝධතා පැන නැඟිණි. සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ ස්වාභාවය වන්නේ අනාගතය ගැන නොසොයා කරන විරෝධතාවල කෙළවරක් නො තිබීම ය. කුමක් වුව නොරොච්චෝලේ බලාගාරය ඉදිකිරීමට වත්මන් ආණ්ඩුව සමත් විය.

රටේ සිදු වන වේගවත් සංවර්ධනයට අනුව නොරොච්චෝලේ බලාගාරය වැනි තවත් බලාගාර කිහිපයක් ඉදිවිය යුතු ව තිබේ. එසේ නො මැතිව තෙල් දහනය කරමින් විදුලිය නිෂ්පාදනය කිරීමට ගියහොත් එහි පාඩුව රජයට දරාගත නො හැකි වනු ඇත. දැනට ද ගෘහස්ත විදුලි පරිභෝජනය සඳහා රජය අය කරනු ලබනුයේ අඩු මුදලකි. ජනතාව දවන සෑම විදුලි ඒකකයක් සඳහා ම රජය කිසියම් පාඩුවක් විඳ දරා ගනී. මේ තත්ත්වය විදුලිබල සම්පාදනයට මෙන් ම ඉන්ධන සම්පාදනයට ද පවතී. එබැවින් මීට අදාළ ආයතන දිගින් – දිගට ම පාඩු ලබන බව කවුරුත් දනිති.

විදුලියේ ගාස්තුව නැවතත් ඉහළ යනු ඇතැ’යි කතිකාවක් සමාජය තුළ පවතී. ලබන අප්‍රේල් පළමුවන දා සිට විදුලි ගාස්තු ඉහළ යනු ඇතැ’ යි ආරංචි ද පැතිර යයි. විදුලිය ගාස්තු ඉහළ නො දමා මෙකී ආයතන පවත්වා ගත නො හැකි බව බොහෝ දෙනාගේ අදහස වී තිබේ. විදුලිය, තෙල්, ජලය ආදී ක්ෂේත්‍රවලට අයත් රාජ්‍යා’යතන කඩා වැටුණහොත් සමස්ත ආර්ථිකය ම අඩපණ වනු ඇත. ජනතාවට යම් බරක් දැනෙන බව සත්‍යයක් වන්නේ වුව විදුලිය ගාස්තු වැඩි කිරීම යථාර්ථයක් බවට පත් ව තිබේ.

මෙබඳු තත්ත්වයක් යටතේ පවත්වා ගත හැකි විකල්ප යෝජනා දෙකක් තිබේ. පළමුවැන්න විදුලිය හැකිතාක් අරපිරිමැස්මෙන් යුතුව පාවිච්චි කිරීම ය. දෙවන්න විදුලිය වෙනුවට භාවිත කළ හැකි විකල්ප ක්‍රියා මාර්ග ගැනීම ය. සාමාන්‍යයෙන් ජනතාවට හුරු පුරුදු දෙයින් ඈත්වීම දුෂ්කර බව අපි දනිමු.

එහෙත් විශේෂිත අවස්ථාවල දී විශේෂ මෙහෙයුම් යටතේ කටයුතු කිරීම බොහෝ ජන කොට්ඨාස විසින් කරනු ලැබේ. යුදමය තත්ත්වය යටතේ ද, ස්වාභාවික විපත් අවස්ථාවන් යටතේ ද, සංවර්ධනය වෙමින් පවතින අවස්ථාවන් යටතේ ද මෙබඳු කැපවීම් කළ රාජ්‍යයෝ වෙති.

මෙයින් විදුලිය අරපිරිමැස්ම පහසුවෙන් ම කළ හැකි වේ. ඇතැම් කන්තෝරුවල විදුලි පංකා උදේ සිට රාත්‍රිය දක්වා කැරකෙන්නේ කිසිවකුට ප්‍රයෝජනයක් නැතිව ය. සමහර ආයතනවල වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක කොට ඇත්තේ ද ඒ ලෙස ම ය. ගෙදරක කටයුතු ගතහොත් වොෂින් මැෂින්, රූපවාහිනී, පරිගණක පමණක් නො ව විදුලි ලාම්පු පවා අනවශ්‍ය ලෙස ක්‍රියාත්මක කරන බව පෙනෙන්නට තිබේ. එක්තරා කාල සීමාවක් තුළ මුළු රටේ ම ශීතකරණ පැයකට නිමා දැමුවහොත් ඉන් සිදුවන ඉතිරිය බලවත් එකක් වනු ඇත.

විදුලිය ඉතිරි කිරීම සම්බන්ධයෙන් මැනැවින් කරුණු පහදන මාධ්‍ය දැන්වීම් ගණනාවක් පසුගිය කාලය තුළ ප්‍රචාරය විය. එහෙත් ඒවා ජනතාව අතර ප්‍රචලිත වී නැති බව ද ජනතාව එයින් පාඩමක් උගෙන නැති බව හොඳට ම පැහැදිලි ය. විශාල වශයෙන් දහනය වන විදුලියෙහි ධාරිතාව ඊට සාක්‍ෂි ලෙස පවතී. ඇතැම් විට රට පුරා ම පාහේ විදුලි බල සැපයුම ව්‍යාප්ත වීමත් මීට හේතුවක් වී තිබේ. මහාමාර්ගවල හා වෙනත් වීථිවල අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීමට කටයුතු කරන්නේ නම් එය ද වැදගත් ය. නිවසක රූපවාහිනිය නැරඹීමට, රෙදි මැදීමට වුව නිශ්චිත කාලයක් යොදා ගත යුතු ය.

මීට දසක කිහිපයකට පෙරත් ශ්‍රී ලංකාවේ ඈත පිටිසර ගම්මානවලට විදුලිය සපයා තිබුණේ් නැත. එම නිවෙස්වලට ආලෝකය ලැබුණේ භූමිතෙල්, පොල්තෙල් ආදිය යොදාගත් ලාම්පුවලින් ය. නැවත ලාම්පු යුගයකට යා යුතු යැයි යෝජනා කිරීම වැරැදි ය. එහෙත් සුදුසු තැන්වල දී පමණක් එබඳු විකල්පයක් භාවිතා කිරීමෙන් විදුලිය ඉතිරි කර ගත හැකි ය. පොල්කටු යොදා රත් කරගන්නා ඉස්තිරික්ක, භූමිතෙල් භාවිත කරන පැට්‍රෝමැක්ස් ලාම්පු ආදිය ඊට නිදසුන් ලෙස පෙන්වා දිය හැකි ය.

සමහරු මේ තත්ත්වය දේශපාලන වාසියකට හරවා ගැනීමට ද උත්සාහ කරති. රජයේ නාස්තිකාර වියදම් නිසා රාජ්‍ය ආයතන පාඩු ලබන බව සමහරු කියති. මේ නාස්තිකාර වියදම් ලෙස ඔවුන් දකිනුයේ සංවර්ධනය සඳහා යොදන මුදල් ය. මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිවලින් තොරව රටක් ඉදිරියට ගෙන යා හැකි නො වේ. සංවර්ධනය වේගවත් වී එහි ප්‍රතිලාභ ලැබෙන්නට පටන් ගත් කල විදුලිය අපට ප්‍රශ්නයක් නො වනු ඇත. එහෙත් සංවර්ධන ප්‍රතිලාභ ලැබෙන තෙක් යම් කැපකිරීමක් කිරීමට ජනතාවට සිදු වේ.

කුමන ආණ්ඩුවක් පැවැතිය ද කුමන දේශපාලන ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වුව ද, විදුලිය, ඉන්ධන වැනි ක්ෂේත්‍රවල ගැටලු ශ්‍රී ලංකාවට බලපානු ඇත. අවශ්‍ය වන්නේ ඒවා නිසි පරිදි කළමනාකරණය කරමින් රටේ සංවර්ධනය තහවුරු කිරීම ය. රටේ සංවර්ධනයට ජනතාවගේ දායකත්වය යනු වැඩිවන ගාස්තුවලට ද යුක්ති සහගත ලෙස මුහුණ දීම ය. දියුණු - නො දියුණු සෑම රටකම පොදු තත්ත්වය එය වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා