මාගම්පත්තුවේ විප්ලවීය වෙනස...

මාගම්පත්තුවේ විප්ලවීය වෙනස...

දේශපාලන කරළියේ උණුසුම් පුවත් කිසිවක් නැත. එක්සත් ජාතික පක්ෂය තවමත් නියෝජ්‍ය නායක පදවියට කෙනකු පත්කිරීම ගැන අවසන් තීරණයක් ගෙන නැත. පසුව - ලබන සතියේ - ඉදිරි සති දෙක තුළ නියෝජ්‍ය නායකයා පත්කරන බවට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමින් වැඩේ කල් දමමින් සිටින බව පෙනේ. නියෝජ්‍ය නායකයකු හෝ පස් දෙනකු හෝ පත්කළත් නොකළත් එක්සත් ජාතික පක්ෂය තුළ අමුතු පෙරළියක් සිදුවන්නේ නැති බව රටම දනී.

අණ බෙර ගහගෙන - සටන් පාඨ කියා ගෙන - රටපුරා රිය පෙරහරින් සංචාරය කළ සරත් ෆොන්සේකා තවමත් පක්ෂය ලියා පදිංචි කර ගැනීමට සාකච්ඡා කරමින් සිටී. මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ඒ ගැන ළඟදීම තීරණය ප්‍රකාශ කරන බව කියා තිබේ.

විදේශ ගතවී සිටි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග නෝනා දැන් තැනින් තැන පොඩි පොඩි උත්සවවලට සහභාගී වෙමින් දේශපාලන කතා කියමින් සිටීමද කැපී පෙනෙන සිද්ධියකි. දේශපාලනය කළ යුතු ආකාරය ගැන උපදෙස් දීමද සිදුවෙයි. එක්සත් ජාතික පක්ෂය මෙහෙයවීම ඇය භාර ගන්නා බවට කටකතා පැතිරෙයි. ඇය කරන ප්‍රකාශ අල්ලාගෙන මේ දිනවල කාටුන් ශිල්පීහු එක දිගට කාටුන් අඳිති. ඒ මගින් පාඨකයෝ ආස්වාදයක් ලබති. එයින් එහා දේශපාලන ගමන් මඟක් ඇයට ඉතිරි වී නැත.

චන්ද්‍රිකාගේ දේශපාලන ගමන් මග

සිය දේශපාලන ජීවිතයේදී චන්ද්‍රිකා අනවශ්‍ය ගැටුම් ඇති කරගත් නායිකාවකි. දැන් අලුත්ම ගැටුම ඇතිකර ගෙන ඇත්තේ කට හොඳ නැති දේශපාලන චරිතයක් සමඟය. ගම්වල මිනිසුන් අතර ප්‍රකට කතාවක් තිබේ. ඒ කුල කීමය. කුල කියනවා යයි කියන්නේ කෙනෙකුට උදව්වක්කොට ඒ බව විටින් විට සිහිපත් කිරීමය.

චන්ද්‍රිකා නෝනා මර්වින් සිල්වා ඇමැතිතුමා ගැන එවැනි කුලයක් කියා දැන් වාග් සංග්‍රාමයකට මුල පුරා සිටී. ඒ නිසා දැන් කළ යුත්තේ අනවශ්‍ය කතා නොකියා පාඩුවේ වැඩක් බලාගෙන සිටීමය. යළි දේශපාලනයට එන්නට චන්ද්‍රිකා නෝනාට තහනමක් නැත. එයට කුලකීම අවශ්‍ය නැත. ඒ සඳහා පිළිගත් සම්මත ක්‍රම තිබේ. මොන ක්‍රමයකින් ආවත් චන්ද්‍රිකාගේ දේශපාලනය අදට ගැලපෙන්නේ නැත.

ප්‍රමාද වන අයට දේශපාලනය සහ මහජන සේවය කරන්නට බැරිය. චන්ද්‍රිකා අවුරුදු 11ක් ජනාධිපති පදවිය දැරුවත් ඇත්තටම ඇය ජනාධිපති වී සිටියේ වසර හයක් පමණක් බව මාධ්‍යවේදියකු වරෙක කීවේ ඒ ප්‍රමාදය නිසාය. අවුරුදු 11න් පහක්ම ප්‍රමාද නිසාය. ප්‍රමාදවීම් ගැන අපට යළි යළිත් සිහිපත්කොට සිනා සෙන්නට අපට අවශ්‍ය නැත. එහෙත් ප්‍රමාදවීම් දහස් ගණනකට මැදිවූ ඇය ගැන එක් සිද්ධියක් පමණක් මෙහි සටහන් කරන්නේ මොන මොන අලුත් අදහස් ඇය විදේශ සංචාරවලින් ඉගෙන ගත්තත් ඇය කිසි දිනෙක පරණ පුරුදු අත් නොහරින බැවිනි.

අලුත් අවුරුද්ද පටන් ගත්තේ අලුත් විදියටය. විශේෂයෙන් කාර්යාලවල වැඩ අරඹන්නේ කැවුම් කිරිබත් කා පිරිත් ටිකක් අසා සිත් සතුටු කර ගැනීමෙන් පසුවය. ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයෝ නැකතට වැඩ අරඹන්නට ජනවාරි 1 වෙනිදා උදේ සිටම සූදානම් වූහ. තේ මේසය, කැවුම්, කිරිබත්,කොකිස් , කෙසෙල්වලින් ලස්සන කෙරුණි. සංඝරත්නයේ සිව් නමක් සෙත් පිරිත් කියන්නට සූදානමින් වැඩම කර සිටිති. ආයතනයේ ප්‍රධානියා ලෙස ජනාධිපතිනිය පැමිණෙන තුරු කවුරුත් බලා සිටිති. දැන් උදේ වේලාව 8.30යි. ජනාධිපතිනිය සිටින්නේ පෙනෙන තෙක් මානයේ ජනාධිපති මන්දිරයේය.

දැන් වේලාව උදේ 11යි. සංඝයා වහන්සේ පන්සලට වැඩම කළේ දවල් දානය වරදින නිසා ය. කවුරු කවුරුත් ඈනුම් අරිති. උදේ සිට වතුරවත් නැත. දවල් දානයෙන් පසු සංඝරත්නය යළි වැඩම කළහ. කැමරාකාරයෝ ඈනුම් අරිමින් කැමරා අටවාගෙන සිටිති. දැන් උදේට නොව දවල් කෑම කන වේලාවත් පසුවෙලාය. සවස දෙක තුන වනවිට කිරිබත් පිඟන් අයින් කළේ කිරිබත් පිළුණු වූ නිසා නොව සවසට කිරිබත් කන්නට බැරි නිසා ය.

බොහෝ දෙනා ගෙදරින් ගෙනා කෑම එක හොරෙන් හොරෙන් කෑවේ එය පිළුණුවන නිසාය. දැන් වේලාව පස්වරු 4.30 පසු වූවා පමණි. ඇය ආවාය. අලුත් අවුරුද්දේ සුබ නැකතින් කාර්යාලයේ වැඩ පටන් ගත්තේ වැඩ ඇරෙන වේලාවටය. සේවකයන්ට කෝච්චි , බස් වැරැදුනේ ය. අවුරුද්දම ප්‍රමාදය. මෙවැනි නායිකාවන් රටක් කරවූයේ කෙසේදැයි මෙම සිද්ධියෙන් හිතාගත හැකිය.

දේශපාලනඥයන්ගේ හැසිරීම

තැනට ඔබින පරිදි සියලු දෙනා හැසිරිය යුතුය. පන්සලේදී එක විදියකි. පන්සලට ඇතුල්වන මොහොතේ දෑත් එකතු කරගෙන ඉතා ශ්‍රද්ධාවෙන් වැඳුම් පිදුම්කොට නිහඬව පන්සලෙන් පිටවිය යුතුය. රජයේ ආයතනයක් තුළ හැසිරීමේ ක්‍රමය ඊට වෙනස්ය. පාරේ තොටේ කඩ පිළේ මාර්කට් එකේ තවත් ආකාරයකට නිදහසේ හැසිරෙති. එහෙත් අධිකරණය හෙවත් උසාවිය තුළ හැසිරෙන්නට වෙනම ක්‍රමයක් තිබේ. උසාවියේ දොරටුවෙන් ඇතුල් වූ මොහොතේ සිට පිටවන තුරු මිනිසුන් තුළ තිබිය යුතු සංවරය, අධිකරණ ගෞරවය එක සේ පවත්වාගෙන යා යුතුය.

විශේෂයෙන් නීතිඥවරු අධිකරණයට ගරු කරති. ඔවුන් හිස නමා අධිකරණ ශාලාවට ඇතුල්වී අතිශය ගරුත්වයෙන් හැසිරිය යුතුය. උසාවියට ඇතුල් වන විටත් පිටවන විටත් නීතිඥවරු ඉතාමත් ගරුත්වයකින් කතා කළ යුතුය. හැසිරිය යුතුය. විනිසුරුවරුන් දෙන තීරණවලට එකඟ විය යුතුය. ඒවාට එකඟ නොවන්නේ නම් එයට විරුද්ධව ක්‍රියා කිරීමේ ක්‍රම තිබේ. නීත්‍යානුකූල ක්‍රමවලින් පිටස්තරව උසාවි තුළ චණ්ඩිකම් දමන්නට කිසිවකුටත් බැරිය.

එහෙත් මෑතක සිට උසාවියක් තුළ සිදු නොවිය යුතු අසංවර දෑ වරින් වර සිදු වූ බව අකමැත්තන් වුවද කියන්නට සිදුවී තිබේ. මීට වසර කීපයකට පෙර ඉරිදා ඉංග්‍රීසි පුවත්පතක කර්තෘවරයකුට එරෙහිව නඩුවක් උසාවියේ විභාග කෙරිණි. අධිකරණ තීන්දුව කර්තෘවරයාට විරුද්ධවය. ඔහු පරාජය විය. ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාම නඩුවෙන් පරාජය වූ කර්තෘ උසාවිය තුළදී පිළිගත්තේ මල්මාල දමලාය. පැමිණිලිකාරයාට මල්මාලාවක් දැම්මා නම් එහි අර්ථයක් තිබේ. “මොනම හේතුවක් නිසාවත් උසාවිය තුළ ඩෙඟා නටන්නට බැරිය. තවත් අවස්ථාවක විනිසුරුතුමියගේ විනිශ්චයට විරෝධය පළ කරන්නට කළු කෝට් දමා ගත් නීතිඥයකු උසාවිය තුළදීම පුටුවකට නැග විරෝධය පළ කළේ ය.

මෑතක සිට අධිකරණ භූමිය දේශපාලන රැස්වීම්වලට වෙන් වූ හයිඩ් පාක් එකේ තත්ත්වයට පත්කරගත් අවස්ථා ද විය. සමහර නීතිඥයෝ පොල් ගැසූහ. සටන් පාඨ ප්‍රදර්ශනය කළහ. අධිකරණය තුළ දී අත පය හුවමාරු කරගත්හ. අලුත්ම සිද්ධිය මේ සතියේදී ප්‍රදර්ශනය විය. එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා සහ තවත් නීතිඥයකු කිසිම ගරු සරුවක් නැතිව නැගිට ගියේ අගවිනිසුරුගේ තීරණයකට විරෝධය පළ කිරීමටය.

දෙදෙනාව ආපසු අධිකරණයට කැඳවූ අගවිනිසුරුතුමා ඔවුන්ට කීවේ උසාවිය මාර්කට් එකක් නොවන බවය. තමා අධිකරණ සේවයට එනවිට සුජීව සේනසිංහ නීතිඥතුමා ඉපදිලාවත් නැති බව අගවිනිසුරුතුමා ප්‍රකාශ කළේය. දේශපාලඥයකු ලෙස සේනසිංහ මහතා පසුගිය කාලයේ සිරිකොතේ හැසිරුණ ආකාරය උසාවියේදී සිහිපත් වූවා විය හැකිය. කොහොම වුණත් සේනසිංහ තරුණයාට ඉගෙන ගන්නට තවත් බොහෝ දේ තිබේ.

අධිකරණය බැබලවූ ශ්‍රේෂ්ඨ නීතිවේදීන්ගෙන් අපට අඩුවක් නැත. ජී.ජී.පොන්නම්බලම් - ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා - ලක්ෂ්මන් කදිරගාමර් වැනි ශ්‍රේෂ්ඨ නීතිවේදීන්ගේ ගමන්මග අධ්‍යයනය කොට ඉගෙන ගතයුතු දේ ඉගෙන ගෙන දේශපාලඥයකු ලෙස නොව අධිකරණය තුළදී නීතිවේදියකු ලෙස හැසිරෙන්නට සේනසිංහ තරුණයා ඉගෙනගත යුතුය. එවිට ඔහුට දේශපාලන වශයෙන් සහ නීතිවේදියකු වශයෙන්ද හොඳ අනාගතයක් තිබේ.

මත්තල වෙනස

කටු පඳුරු, වන ලැහැබ්, හරක් රංචු පිරි මත්තලට ගුවන් යානා ගොඩ බසිනු ඇතැයි බැද්දේගමට ගිය ලෙනාඩ් වුල්ෆ් කිසිසේත් සිතන්නටවත් නැත. එය කිසි දිනෙක සැබෑ නොවන සිහිනයක් බව මත්තල කැළෑවේ පැල්කොටේ ජීවත්වූ සිලිඳු සිතන්නටවත් නැත. එහෙත් දැන් ඒ සියලු සිහින සැබෑ වී ඇත. එදා ලෙනාඩ් වුල්ෆ් නොසිතූ සියලු දේ අද යථාර්ථයක් බවට පත්වී ඇත.

මත්තල කැළෑ මුදුනින් වැහිළිහිණියෝ උකුස්සෝ කාලාන්තරයක් තිස්සේ පියාඹා ගියහ. ඉඳහිට උන්ට ඉහළින් ඈත අහසේ ගොර ගොර හඬින් පුංචි කුරුල්ලන් සේ ඇදෙන ගුවන් යානා පහතට බසිනු ඇතැයි අහස අයිතිකර ගෙන සිටි කුරුල්ලෝ නොසිතූහ. එහෙත් දැන් සියල්ල වෙනස් වී ඇත.

මත්තල කැළෑව අද ජාත්‍යන්තර ගුවන් තොටක් බවට පත්වී තිබේ. එය මාර්තු 18 වෙනිදා විවෘත වන්නේ ජාත්‍යන්තර වශයෙන් ගුවන් ගමන් මාගම්පත්තුවෙන් ආරම්භ කරමිනි. එකවර දැවැන්ත ගුවන් යානා දහයක් බිමට බස්සන්නට හැකි ජාත්‍යන්තර ගුවන්තොට මාගම්පත්තුවම ලස්සන කරන දිනය ද මාර්තු 18 වන්නේ ය.

ඈත අහසේ ඉඳහිට යන ගුවන් යානයක හඬක් ඇසුන විට ඒ දෙස ආසාවෙන් සහ කුතුහලයෙන් බලාගෙන සිටි මාගම්පත්තුවේ ඇත්තන්ට හෙට අනිද්දාට දැවැන්ත ගුවන් යානා ගමට බස්සන විට කිසිම කුතුහලයක් නොදැනෙනු ඇත. මොනයම් අමුත්තක් සිතට නොදැනෙනු ඇත. අනාගත පරපුර වෙනුවෙන් වරායක් සහ ගුවන් තොටක් නිර්මාණය කර දෙමින් මාගම්පත්තුවේ විප්ලවීය වෙනසක් ඇතිකර තිබේ. අද එම වෙනස මාගම්පත්තුව සියැසින් දැක ගනිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා