සිලිඳු වරෙන් මත්තල යන්ඩ!

සිලිඳු වරෙන් මත්තල යන්ඩ!

අපි අලිමංකඩක් දිගේ බැද්දේගම දෙසට ගාටමින් සිටියෙමු. එරමිණියා ගාල්, පතොක් පඳුරු, හිඟුරු බූටෑ හා තවත් ඝන යටි රෝපණයෙන් බිම් කඩවල වැසී තිබිණි. වීර, පලු, කෝන්, කළුවර වැනි වෘක්ෂයෝ; අවුරුදු සිය ගණනක් වූ ස්වකීය පෞරාණිකත්වය විදහා පෑමට මෙන් ඇඹරී, ගැට ගැසී රථ – පරළු වී උන්හ. දින ගණනකට පෙර ඇද වැටුණු මහ වැස්සෙන්; ගස්වැල් අමුතු ප්‍රාණයක් ලද්දා සේ විය. ඇතැම් තැනෙක වීර ගහක් හෝ පලු ගහක් හෝ බිම පතිත වී තිබුණේ ස්වාභාව ධර්මයේ න්‍යාය පසක් කරන්නට මෙනි.

මීට සතියකට හෝ දෙකකට හෝ පෙර මහ වනය මැදින් හමාගිය සුළි සුළඟක් ගැන ආරංචියක් ද අසන්නට ලැබිණි. තෙත බරිත පසක් පැවැතියේ වී නමුදු ඉර මුදුන් වෙත් ම පැතිර යන දැඩි ඌෂ්ණයෙහි කිසිදු අඩුවක් නොවීය. මේ ශුෂ්ක කලාපය යි. එහි නියමය වන්නේ මාස දහයක් පුරාවට ම දැඩි නියංසායක් අල්ලා සිටීම ය. හැම වනාන්තරයක් ම භයානක බවත්; අද්භූත බවත් එහෙත් බැද්දේගම අවට වනය තරම් භයානක හා අද්භූත වනාන්තරයක් තවත් නැති බවත් ලෙනාඩ් වුල්ෆ් කියා තිබේ. එය අත්විඳින්නට නම්; මේ වනයට ම රිංගා කාලයක් එහි ගත කළ යුතු ය.

සිවිල් නිලධාරියකු, ග්‍රන්ථ කර්තෘවරයකු, දේශපාලන න්‍යාය වාදියකු, ප්‍රකාශකයකු යන ලෙසින් ක්ෂේත්‍ර කිහිපයක නියෝජිතයකු වූ ලෙනාඩ් සිඩ්නි වුල්ෆ් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේ 1904 වර්ෂයේ ය. හෙතෙම ඊ. එම්. ෆොස්ටර් බඳු ප්‍රකට ඉංග්‍රීසි උගතුන් කැටුව කේම්බ්‍රිජ් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගන්නා මුත් 1903 පැවැති බ්‍රිතාන්‍ය සිවිල් සේවා විභාගයෙන් අසමත් විය. ඉක්බිති පියාගේ බලපෑම මත ශ්‍රී ලංකාවේ ඉංශ්‍රීසි ආණ්ඩුවේ රැකියාවක් ලබා ගැනීමට ඔහු සමත් විය.

ආධුනික සිවිල් සේවකයකු ලෙස යාපනයේ හා මහනුවර රාජකාරි කරන වුල්ෆ් මහතා 1908 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ උප දිසාපති ලෙස ස්ථිර පත්වීමක් ලැබී ය. ඉනික්බිති 1911 තෙක වසර තුනකුත් මාස ගණනක් හම්බන්තොට රාජකාරි කල වුල්ෆ් මහතා එහි ජනී – ජනයාගේ ජීවිතවලට සමීප වෙමින් මෙරට සමාජ-සත්තාව පිළිබඳ ගැඹුරු වැටහීමක් ලද්දෝ ය.

ගුවන්තොටුපළ මෙහෙයුම් මැදිරිය

1913 - ලන්ඩනයේ දී එළිදක්වන “ද විලේජ් ඉන් ද ජන්ගල්” කෘතිය ඔහුගේ ප්‍රථම නවකතාව වේ. මේ කතාවට පාදක වන්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනාන්තර පෙදෙසක පිහිටි අති දුෂ්කර ගම්මානයකි. දිළිඳු ගැමියන්ගේ ගමක් - ජීවිතත් කෙමෙන් වනය විසින් ම බිලිගනු ලබන ඛේදනීය කථාන්දරය තත්වාකාරයෙන් ද, අති සූක්ෂ්ම ලෙස ද නිරූපණය කරන්නට වුල්ෆ් සමත් වේ. ඔහුගේ චරිත නිරූපණ හැකියාව ද, යථාර්ථවාදී ශෛලිය ද, මනරම් භාෂාව ද සාහිත්‍ය විචාරකයන්ගේ නොමඳ සැලැකිල්ලට ලක්විණි. වුල්ෆ් මහතා අමරණීය කතාවක් ලියා තිබේ යැයි එදා “ලන්ඩන් ටයිම්ස්” පත්‍රය වාර්තා කළේ ය.

මේ කතාවේ එන සිලිඳු, බබෙහාමි, පුංචිමැණිකා, හින්නිහාමි, බබුන්, කර්ලිනාහාමි, ප්‍රනාන්දු මුදලාලි, වෙදරාල යන චරිත සත්‍යය ලෙස ම ජීවත් වූවා පමණක් නො ව ඔවුන්ගේ චර්යාව ශ්‍රී ලංකාවේ දකුණුබඩ දුෂ්කර ගම්මානවල පොදු ලක්ෂණ යද කියා පාන්නේ ය. ඉංශ්‍රීසි පාලන සමයෙහි පැවැති සූරාකෑම, දිළිඳුකම හා පීඩනය පමණක් නො ව රදලයන්ගේ කූටෝපක්‍රම ද කෘතිය විසින් හෙළිදරව් කරනු ලැබේ. සිලිඳු නම්, ප්‍රධාන චරිතය මේ සියල්ල නිහඬව විඳ දරා ගන්නා’මුත් අවසානයේ ඔහු සතුරා විනාශ කරන්නට පෙලඹෙන්නේ ය.
දිගු කාලින සිහිනයක් සැබෑවේ

“ඔන්න දැනගනින් ළමයා, මෙච්චර වෙලා ඔය ගැන ම තමයි මං කල්පනා කළේ. දැන් කරන්ඩ තියෙන්නෙ එක ම එක වැඩෙයි . මං ඕකලා දෙන්න ම මරනවා! (සිලිඳු - බැද්දේගම)

බබෙහාමි ආරච්චිල මෙන් ම ප්‍රනාන්දු මුදලාලි ද සිලිඳු යනු අලස - මෝඩ – කාලකණ්ණි ගැමියකු ලෙස සිතා උන්හ. එහෙත් සිලිඳු මහා වනාන්තරය වගේ ම ය. වනය මෙන් ම සිලිඳු ද භයානක ය. අද්භූත ය. උසාවියේ සිට පෙරළා ගමට පැමිණි සිලිඳු කල් යල් බලා තුවක්කුවට බෙහෙත් කොටා ආරච්චිගේ නිවසට යයි. චාටුවෙන් ඔහු එළියට ගන්නා සිලිඳු ඔහුත් සමඟ ටික දුරක් ගමන් කොට පසුව ඔහු වෙඩි තබා මරා දමයි. තවත් උණ්ඩයක් බේරුම් කොට; ආරච්චිගේ ගෙයි කඩුල්ල ළඟ දී ප්‍රනාන්දු මුදලාලිත් මරා දමයි. ඉන් පසු මහ වනයට ගොස් රූස්ස ගසක් මුල ඇනබා ගෙන විඩා හරියි.

සිලිඳු පළමුව කල්පනා කරන්නේ වනාන්තරයේ සැඟ වී; කට්ටි පනිමින් නීතියෙන් ගැළවිය යුතු බව ය. එහෙත් වනාන්තරය භයානක ය. නීතිය ඊටත් වඩා භයානකය. කොතැනක හෝ සැනසිල්ලක් නැත. ඔහුගේ අවසන් තීන්දුව වන්නේ් කඹුරුපිටියට ගොස් කෝරලේ මහත්තයා වෙත භාරවීම ය. සිලිඳු දින ගණනක පා ගමනකින් පසු එක්තරා හැන්දෑවක කෝරලේ වලව්වට පැමිණෙයි.

ඉක්බිති සියල්, තත්වාකාරයෙන් සිදු වේ. සියලු නිලධාරීහු පළමු නඩු විභාගය සඳහා බැද්දේගමට පැමිණෙති. සිඳිගිය වැව අද්දර යම් පමණක උස් කණ්ඩියක් වත්තේ රූස්ස සියඹලා ගහක් පිහිටා තිබේ. එම සියඹලා ගහ යටට ගෙනන ලද කුඩා මේස කෑල්ලක් හා පුටු කබලක් උපයෝගී කර ගනිමින් ලෙනාඩ් වුල්ෆ් නම් උප ඒජන්තවරයා පරීක්‍ෂණ වාර්තාව සකස් කළේ ය. ඒ මීට වසර එකසිය ගණනකට පෙරය.

මයිල එකමාරක පමණ දුෂ්කර පා ගමනකින් පසු අපි එම සියඹලා ගස යටට පැමිණ ඇත්තෙමු. ගම කැලෑවෙන් වැසී ඇත. එහෙත් වැව පිරී වාන් දමයි. එතැන ඇත්තේ පුදුම සිසිලකි. බබෙහාමි ආරච්චිගේ වලව්ව ද මේ අසල ම තිබෙන්නට ඇත. රූස්ස සියඹලා ගස එදා පරිදි ම නිසොල්මන් ව පවතී. එහෙත් එහි වර්ධනය ඇණහිට ඇතැ’යි කිව හැකිය.

මේ දුෂ්කර ගම්මානවල පැවැති සාගින්න, රෝබිය,, නියංසාය හා වන බිය පහව ගොස් ඇති සෙයක් පෙනෙන්නට තිබේ. බැද්දේගම අවට වූ අන්දර වැව, ගොන්නොරුව, මහපොතාන, බෙරගම, කොටගොඩ, මහවෙලගම, බෝගම, පලටුපාන, මත්තල බඳු ගම්මාන නිල්ල පිරුණු වගාවන්ගෙන් පිරී පවතී. ලොකු – කුඩා වැව් පිරී ඉතිරී ගොසිනි. හැම නිවසක ම අටුව පිරී ඇත.

සිලිඳු මෙන් අලස නිහඬ මිනිසුන් අද එහි නැත. එහි ගොවියෝ හිමිදිරියේ ම තම කුඹුරුවලට යති. නැවත හේන්වලට යති. ඔව්හු උදයට, දහවලට මෙන් ම රාත්‍රියට ද විශාල ආහාර ප්‍රමාණයක් ගිල දමති. ඒ පමණට ම විශාල වැඩ කොටසක් ද නිමා කරති. යකුන් සේ වැඩ කරන මේ මිනිසුන් අතර කම්මැළියකු ඇත්තේ ම නැති තරම් ය.

මේ පළාත්වල ගැහැනුන් ගෙවිලියන් ලෙස හැඳින්වීම වඩා නිවැරැදි ය. ඔව්හු පිරිමියාට බත උයා දෙන හා දරුවන් වදන ගැහැනු පමණක් නොවෙති. පිරිමියා හා කරට - කර වැඩ කිරීමේ ශක්තියක් ඔවුනට තිබේ. එල්ලා වැටෙන බඩගෙඩි හා ගරා වැටෙන නිතඹවල් මෙහි ගැහැනුන් ළඟ නැත. ඔවුනට ඇත්තේ තද ශක්තිමත් දෙපා ය. මනරම් ව සැකැසුණු හුරුබුහුටි දෑත් ය. තරමක් කාලවර්ණමුත් මේ ගැහැනු අති සුන්දර ය. බෙහෙවින් නිරෝගී ය. වෙනසකට ඇත්තේ වයස අවුරුදු දහසය වීමටත් පෙර දීගෙක යෑම පමණි.

බදගිරි සෑය ගල මුදුන

ගුවන්තොටුපළ

පැරණි කෝසු වෙනුවට නව පාලම්

වුල්ෆ් නඩු ඇසු තැන සියඹලාගස

ගුවන්තොටුපළ අවට ‍සැකසෙමින්
 

මීට වසර සියයකටත් ටික කලකට පෙර බැද්දේගමට කඩා වදින ප්‍රනාන්දු මුදලාලි බබුන්ගේ පවුල වූ පුන්චිමැණිකා සමඟ යහන්ගත වීම සඳහා විවිධ කූටෝපක්‍රම යොදයි. බබුන්ගේ පැලට යන ප්‍රනාන්දු මුදලාලි එක් අවස්ථාවකදී කොළඹ ගැන විස්තරයක් කරමින් ඈ තම වසඟයට ගැනීමට මාන බලයි.

“මොකට ද මං බොරු කියන්නෙ?
සිලිඳුලා අද දිළිඳු නැත

අවුරුදු විස්සක් ම මා හිටියෙ කොළඹ!

කොළඹ මහ විශාල නුවරක්. හැමදාම උදේට නැගිටලා මූද දිගට ගලෙන් බැඳල තියෙන පාර දිගේ මං යනවා. ඒ පාරට පිටින් වරාය ඒකෙ තියෙන්නෙ විශාල නැවු. මේ ගමකටත් වඩා විශාල නැවු. ලොකු නැව්වල හැම තිස්සේ ම මහත්තුරු යනවා - එනවා”

(ප්‍රනාන්දු මුදලාලි - බැද්දේගම)

දැන් මේ ගම්වල ගැහැනුන්ට හෝ පිරිමින්ට හෝ කොළඹ ගැන අමුතුවෙන් කියා දෙන්නට යමක් නැත. අධිවේගී මාර්ගය දිගේ පැය කිහිපයකින් කොළඹට පා තැබිය හැකි ය. නැව් බලන්නට නම්; මයිල කිහිපයක් ගෙවා හම්බන්තොට වරායට පැමිණිය හැකි ය. සුදු මහත්තුරු බලන්නට අවැසි නම්; මයිල කිහිපයකට එහායින් අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් තිබේ. මේ සියල්ලට වඩා පුදුමය වන්නේ අත ළඟ ම අන්තර්ජාතික ගුවන් තොටුපොළක් ඉදි වී තිබීම ය. තව දින කිහිපයකින් ඔවුන්ගේ පියැසිවලට ඉහළින් ලෝකයේ නා - නා ප්‍රකාර ගුවන් යානා පියාසර කරනු ඇත.

ප්‍රනාන්දු මුදලාලිලා සියයක් කඩා වැදුණ ද මේ පළාත්වල ගැහැනු නම්; වසඟයට ගත හැකි නොවේ. ඔව්හු ගොවිතැන, කාලගුණය, ලිංගික ජීවිතය ගැන පමණක් නොව තවත් බොහෝ දේවල් ගැන තත්ත්වාකාරයෙන් දනිති. මේ වෙනසට හේතු වූ ප්‍රධාන කරුණු පහක් තිබේ.

1. හම්බන්තොට වරාය

2. අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණය

3. වාරිමාර්ග පද්ධතිය

4. නවීන මාර්ග පද්ධතිය

5. මත්තල ගුවන් තොටුපොළ

මේ ප්‍රදේශයේ චාරිකාව සඳහා අප යොදාගත් වාහනය අධිවේගී මාර්ගය දිගේ පැයට කි.මී. 100 - 110 ක වේගයෙන් ගමන් කළේ ය. උඩවලව මාර්ගය දිගේ ගමන් කරන විට එහි වේගය පැයට කි.මී. 120 තරම් විය. ලෙනාඩ් වුල්ෆ් මහතා එදා සිය රාජකාරි සඳහා ගමන් ගත්තේ ගොන් කරත්තයකින් හෝ බයිසිකලයකින් ය. නැතහොත් පෝනියකු පිට නැගී ය. ඔහු පයින් ම මයිල ගණන් ඇවිද ගිය අවස්ථා ද නැතිවා නොවේ. එහෙත් අද කිසිවෙක් පයින් ගාටන්නේ නැත.

දිළිඳු - දුෂ්කර - ශුෂ්ක ගම්මාන කියා විශේෂයක් අද එහි නැත. මුළු පළාතම ශීඝ්‍ර දියුණුවකට හා යහපත් වෙනසකට මග පාදාගෙන තිබේ. ප්‍රදේශයේ ගැමියෝ ගොවිතැනට අමතර ව වෙළෙඳාමට බැස සිටිති. අද එහි ධාන්‍ය - එළවළු හා පළතුරු කුණු කොල්ලයට ගැනීමට කිසිවකුට පුළුවන්කමක් නැත. මිලට ගන්නෝ ඕනෑතරම් සිටිති. ඒ හැරෙන්නට ව්‍යාපාර සඳහා ප්‍රදේශයට කඩා වදින පිරිස ඉහළ ගොස් සිටිති. ඉඩම්වල මිල ද ඉහළ ය. අප බලා සිටියදීම ගොන්නොරුවේ ඉඩම් අක්කරයක් රුපියල් ලක්ෂ පහළොවට විකිණී ගියේ ය. ඉඩම මිලට ගත් තැනැත්තා කොළඹ වෛද්‍යවරයෙකි.

අප නැවතී සිටි නිවසෙහි ගෙහිමියා ඉහත ගනුදෙනුව දැක සිනාසුණේ ය. ලක්ෂ පහළොවත් ගණනක්දැ’යි ඔහු ප්‍රශ්න කළේ ය. මේ ගෙහිමියාට කුඹුරු අක්කර දහයක් තිබේ. හේන්වල අක්කර ගණන ඔහු දන්නේ නැත. ඔහුගේ නවීන නිවස ඉඳිවෙමින් පවතී. ගෙයි පිටුපස ඇති විශාල වතුර ටැන්කිය පිරී - ඉතිරී යයි. ගෙමිදුල අලංකාර මල්වලින් සමන්විත ය. ඔව්හු වැඩ කරමින් සැපවත් ජීවිත ගත කරති. ඔහු කියා සිටියේ තවත් වසර හතරක් ගෙවී යන්නට පෙර හම්බන්තොට නිට්ටාවට ම කොළඹ පරදවන බව ය.

මේ ගැමියන් සමඟ සංවාද කළ යුත්තේ ඉතා පරෙස්සමෙන් ය. ආණ්ඩුව හෝ එහි ප්‍රතිපත්ති හෝ විවේචනය කළහොත් ගැමියන් වහා කිපෙන සුළු ය. මත්තලට ගුවන් තොටුපොළක් කුමටදැ’යි විමසුවහොත් ගැමියකුගෙන් උදලු පහරක් කෑමට සිදු වනු නිසැක ය. ඉඳ - හිට ගංජා සූස්තියක් උරන හැඩිදැඩි පිරිමියකු ඔවුන්ගේ සාඩම්බර ජීවිතය ගැන පුරසාරම් දොඩනුයේ කොළඹ අපට එල්ල කරන බලවත් ප්‍රහාරයක් ලෙස ය.

මත්තල, ගොන්නොරුව, අන්දර වැව වැනි ගම්මානවල මිනිසුන්ගේ නූතන දියුණුව දකින අපගේ මතකය ඉබේ ම මෙන් බැද්දේගම සිලිඳු වෙත යොමු වේ. ඔහු කුරක්කන් කුරුණි කිහිපයක් ණයට ඉල්ලමින් බබෙහාමි ළඟ අනන්තවත් තාවර වෙයි.

“රාලහාමි ගෙදර හරියෙ කිසිම දෙයක් නෑ; කෑමට ගන්නෙයි කියලා. දැන් කර්ලිනා හාමිත් ඉන්නවා. මට කුරක්කන් කුරුණි දහයක්වත් දෙන්ඩ. පුළුවන්නම්; මෙදා නුග ගහ හේන කපාපුවාම දෙගුණයක් ගෙවන්නම්!” (සිලිඳු - බැද්දේගම)

එදා ගැමි ජීවිතය ගෙවී ගියේ ණය බරින් මිරිකෙමින් ය. තවත් අතෙකින් දරුණු සූරා කෑමකට ලක් වෙමින් ය. හේන්වල අස්වනු කපන කාලයට එදා ගොවියෝ සුසුම් ලෑහ. දෙවියන්ට කන්නළව් කළහ. අද ඒ සියල්ල වෙනස් වී ඇත.
මාගම්පුරට අලුත් යුගයක්

දැන් මේ ජීවිතවල පෙරැළිකාර කේන්ද්‍රය වී ඇත්තේ මත්තල අන්තර් ජාතික ගුවන් තොටුපොළ ය. ඒ ඔස්සේ ආර්ථික පෙරැළියක් ඇති වන බව දැනට ම පෙනී ගොස් ඇත. ගුවන් තොටුපොළ පිහිටියේ හම්බන්තොට සූරියවැව, ඇඹිලිපිටිය වැනි නගර මුල් කරගෙන ය. සංචාරක කර්මාන්තය, ආයෝජකයන් ගේ පැමිණීම මේ ඔස්සේ ඉහළ යනු ඇත.

1980 ගණන්වල සිට ම ශ්‍රී ලංකාවට දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපොළක අවශ්‍යතාව පැවැතිණි. ගුවන් ගමන් මූලික කොට ගත් සෑම රාජ්‍යයක ම පාහේ විකල්ප ගුවන් තොටුපොළ රාශියක් පවතී. එහෙත් මේ වනතුරු ද ශ්‍රී ලංකාවට එවැන්නක් නො තිබිණි. කටුනායකට එල්ල වූ කොටි ප්‍රහාරයත් සමඟ එම ගුවන් තොටුපොළට පැමිණෙන අන්තර් ජාතික ගුවන් යානා තාවකාලික ලෙස ඉන්දියාව ට හරවා යවන්නට සිදු විණි. ඒ සඳහා රජය වැය කළ මුදල විශාල ය. ස්වභාවික විපත් නිසා ද වෙනත් හේතු නිසා ද මෙබඳු තත්ත්වයන් උදා වීමට පුළුවන.

දෙවන අන්තර්ජාතික ගුවන් තොටුපොළක් ඉදිකිරීම පිළිබඳ සංවාදය කලක සිට ම පැවැතිණි. එය පුත්තලමේ පලාවි ප්‍රදේශයේ ඉදි කළ යුතු බව ද කන්කසන්තුරේ පලාලි ප්‍රදේශයේ ඉදි කළ යුතු බව ද මුලින් කියැවිණි. ත්‍රිකුණාමලය, හිඟුරක්ගොඩ වැනි ප්‍රදේශ ද ඒ සඳහා යෝජනා වී තිබිණි. එහෙත් මත්තල ප්‍රදේශයේ මේ ගුවන් තොටුපොළ ඉදිකිරීම කලින් පැවැති යෝජනාවලට වඩා ප්‍රායෝගික විය. ඒ අනුව 2009 මැයි 04 දා එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ විය. ලබන 18දා ගුවන් තොටුපොළ විවෘත වේ. කෙටි ම කාලයකින් ඉදිකළ ගුවන් තොටුපොළක් ලෙස ද එය ඉතිහාස ගත වනු ඇත.

මත්තල ගුවන් තොටුපොළ ආකර්ෂණිය ප්‍රදේශයක පිහිටි මනරම් ගුවන් තොටකි. එහි අවට ප්‍රදේශය ස්වභාව ධර්මයට අනුකූල වන සේ නැවත සකස් කොට තිබේ. ජලය පිරි පොකුණු, වැව් හා ඇළ මාර්ග ද මල් උයන් හා පුංචි වනාන්තර ද ගුවන් තොට අවට වේ. මාර්ග පද්ධතිය කාපට් යොදා අලුතින් සකස් කොට තිබේ.

මේ ගුවන් තොටුපොළට ලෝකයේ විශාල ම ගුවන් යානා පවා බැස්සවිය හැකි ය. ගුවන් පථය මීටර් 3500ක් දිගින් යුතු අතර මීටර් 75ක් පළලින් යුතු ය. ගුවන් තොටු පොළෙහි ඉදිරි පස දර්ශනය දකින විට පෙනී යන්නේ මෙතරම් අයස්කාන්ත ගුවන් තොටුපොළක් ලොව කොතැන පිහිටියේ ද යන ගැටලුව යි.

රයිට් සහෝදරයන් ගුවන් යානා සැලැසුම් ඇති කරන්නට බොහෝ කලකට පෙර ඈත අතීතයේ සුමේරියන් ශිෂ්ටාචාරය තුළ ද, රාවණා ශිෂ්ටාචාරය තුළ ද ගුවන් යානා මෙහෙයුම් පැවැති බව ඉතිහාසය සඳහන් කරයි. ඒ අනුව ශ්‍රී ලංකාවට ගුවන් කේන්ද්‍රයක් වීමේ අයිතිවාසිකම හැම අතකින් ම තිබේ.

මේ පළාත්වල මිනිස්සු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පිළිගැනීම සඳහා අලුත් උද්යෝග පාඨයක් නිර්මාණය කොට තිබේ. එහි සඳහන් ව ඇත්තේ මත්තල සුරපුරයක් කළ ඔබට අපේ ආචාරය යන්න ය. හැබෑවෙකි! මත්තල මෙන් ම දකුණ ද, දකුණ මෙන් ම ශ්‍රී ලංකාව ද සුරපුරයක් කළ යුතු ය. වැඩිකල් නොයාම ඇතිවන එම තත්ත්වය දැක ගන්නට සිලිඳුලා අද නැත.

බැද්දේගම රූස්ස සියඹලා ගහ යට ඇන බාගෙන ඉහළ අහස දෙස බලා; කට කොනකින් සිනාසෙන සිලිඳු අපේ මතකයට නැඟේ.

 

 

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා