ලකඹරට ජය ගෙනෙන ගිරුවාපත්තුවේ අහස්තොට

ලකඹරට ජය ගෙනෙන ගිරුවාපත්තුවේ අහස්තොට

ඔව්... මෙය දශක ගණනාවක් පුරා කතාවට සීමා වූවක්. හිඟුරක්ගොඩ, ත්‍රිකුණාමලය, කුඩාඔය, සීගිරිය නොව අනුරාධපුරය ද යෝජනා හමස් පෙට්ටියේ පවතිද්දී වීරවිල කරළියට පැමිණිය ද එය පිළිබඳ ගැටලු සහගත තත්ත්වයක් තිබිණි. එම වාසනාව දිනා ගැනීමට හම්බන්තොටට නුදුරින් වූ මත්තල සමත්විය. එය අද දින ජාතියට දායාද වෙයි.

එදා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්ගේ කුරුම්බැට්ටි මැෂින් උඩ යනවිට කටුනායක හදිසියේම වසා දැමූවිට ශ්‍රී ලංකාවේ ගුවන් ගමන් නැවතුණ අතර විකල්ප ගුවන්තොට බවට පත්වූයේ ඉන්දියාවේ චෙන්නායි, දිල්ලිය හෝ මාලදිවයිනේ මාලෙයි ගුවන් තොටයි. මේ සඳහා වෙනත් විකල්පයක් රට තුළ අපට නොවීය.

එසේම අධික වර්ෂාව හා හදිසි මීදුම් තත්ත්වයන් තුළදී යානා ගොඩබැස්සවීමට නොහැකි වූ විට ඒවා හරවා යවන ලද්දේය. ඉහත ගුවන් තොටුපළ වෙතය. මෙය ජාතියක් ලෙස අප ලැජ්ජා විය යුතු තත්ත්වයකි. ඒ අතීතයේ හැටිය. එය අතීතයටම සීමා කරමින් විකල්පය යථාර්ථයක් කිරීමට ගත වූයේ වසර තුනකුත් මාස 3ක් වැනි කෙටි කලකි.

අතීතයේ බොහෝ රාජ්‍ය නායකයන්ගේ සිහින තොට යථාවක් කරමින් මත්තලට ජාත්‍යන්තර අහස් තොටක් නිර්මාණය කිරීමට ගිරුවාපත්තුවෙන් නායකත්වයට පැමිණි ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන් සමත්වීම කාලෝචිත පියවරකි. ගුවන් තොටුපළක් තියෙද්දී තව එකක් කන්ඩද? මෙවන් වූ සිතුවිලි යමෙකුගේ සිතෙහි පහළ වුවහොත් එය අතිශයොක්තියක් නොවේ. එහෙත් රටකට විකල්පයක් තිබිය යුතුය. ශ්‍රී ලංකාව කුඩා දිවයිනක් වුවද විවිධත්වය සපිරි දේශය තුළ ජාත්‍යන්තරයට ගමන් කිරීමට අප සමත් විය යුතුය.

චීන සහාය මත්තලට

ශ්‍රී ලංකාවේ වර්තමාන සංවර්ධනයේ ප්‍රධාන හවුල්කරු බවට පත්ව ඇත්තේ චීන ජනරජයයි. ගිරුවාපත්තුවේ නැව්තොට සේම ගිරුවාපත්තුවේ අහස්තොට තැනීමේ ප්‍රධාන අත්වැල්කරු චීන ජනරජයයි. එතනින් නොනවතින චීනය අධිවේගී මාර්ග, විදුලිබලාගාර ආදී ආර්ථික සංවර්ධනයට අවශ්‍ය මෙවලම් තැනීමේ පුරොීගාමියා බවට පත්ව ඇත. මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ව්‍යාපෘතියට මූල්‍ය දායකත්වය චීන ජනරජයෙනි. ඒ සඳහා ඇස්තමේන්තු ගත වියදම ඇමෙරිකානු ඩොලර් 209,000,000කි. ඉදිකිරීම් කටයුතු චයිනා හාබර් කම්පැණි ලිමිටඩ් මඟින් සිදු කරනු ලැබීය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන විදේශ විනිමය උපයන මාර්ගයක් බවට සංචාරක ව්‍යාපාරය පත්ව ඇත. මෙරට සංචාරක ව්‍යාපාරය තුළ වඩාත් ජනපි‍්‍රයව ඇත්තේ අනුරාධපුරය, පොළොන්නරුව, සීගිරිය, දඹුල්ල, මහනුවර, ගාල්ල, හික්කඩුව, උණවටුන, මහනුවර දළදා මාලිගාව ආදී ප්‍රධාන ප්‍රදේශ පමණකි.

එහෙත් ශ්‍රී ලංකාව තුළ සංචාරක ආකර්ෂණයක් ඇති කළ හැකි බොහෝ ස්ථාන දකුණ ලක ඌව නැඟෙනහිර පළාත්වල පවතී. උඩවලව ජාතික වනෝද්‍යානය, සිංහරාජය, හපුතලේ ඇඩිෂන් මාලිගාව, අම්පාර, බුද්ධංගල, දීඝවාපිය, ඌව බෝගොඩ පාලම, බුදුරුවගල, දෝව රජමහා විහාරය, මහියංගණ වෙහෙර, මහියංගණය වැදි ගම්මානය, හේනානිගල, පුංචි සීගිරිය, නැඟෙනහිර මුහුදු මහා විහාරය, අරුගම්බේ, පාසිකුඩා, දකුණු ලක මානාවුළුපුර, මදුනාගල උණුවතුර ළිං, නීලගිරි සෑය, යටාල වෙහෙර, තිස්සමහාරාමය, ඌව, බඹරකන්ද, දියළුම, රාවණා ඇල්ල, කුමන කුරුළු අභය භූමිය, ශ්‍රී පාදය, මඩුන්වෙල වලව්ව, හිරිගල් ගුහා හා මේ ප්‍රදේශ ආශි‍්‍රතව ඇති දහස් සංඛ්‍යාත රජමහා විහාර නව සංචාරක ප්‍රදේශ ලෙස විදේශිකයන් අතර වඩාත් ආකර්ෂණීය හා ජනපි‍්‍රය ප්‍රදේශ බවට පත්කළ හැක්කේ මත්තල නව ජාත්‍යන්තර ගුවන් තොටේ සිට ඉතාමත් ඉක්මනින් ඉහත ප්‍රදේශවලට ළඟාවිය හැකි බැවිනි. එහෙත් මෙකී ප්‍රදේශවල තරු පන්තියේ හෝටල් ඉදිකිරීම් තුළින් අති දැවැන්ත සංචාරක ප්‍රදේශ බවට පත්කළ හැකිය.

ඉහත කී ප්‍රදේශ හා කටුනායක අතර එකින් එක දුරස්ථ ප්‍රදේශ බැවින් ඉහත කී ප්‍රදේශ සංචාරකයන්ට මීට පෙර වඩා ආකර්ෂණීය නොවීය. ඉහත කී ප්‍රදේශවල සිට විගමනය වන සංචාරකයන්ට දිනකට වැඩි ගමන් දුරක් පසු කළ යුතුව ඇත.

හරිත ගුවන් තොටක්

එනිසා ඉහත ප්‍රදේශ සංචාරකයන්ගේ ගමන් සටහනින් කපා හැරුණි. එහෙත් මේ සාම්ප්‍රදායික සංචාරක කාලසටහන වෙනුවට වඩාත් අකර්ෂණීය සංචාරක කාල සටහනක් සකස් කිරීමට මත්තල ගුවන්තොට නිසා හැකිවේ. කටුනායකින් ආගමනය වන සංචාරකයකුට මත්තලින් විගමනය වීමටත් මත්තලින් ආගමනය වන සංචාරකයකුට කටුනායකින් විගමනය වීමටත් හැකිවීම නිසා ඔවුන්ගේ සංචාරක වියදම වැඩි ස්ථාන ප්‍රමාණයක් නැරඹීමට යොමු කළ හැකිවීම නිසා මාලදිවයින, ඉන්දියාව, කෙන්යාව වැනි සංචාරක අකර්ෂණීය රටවලට දැඩි තරගකාරීත්වයක් මත්තල හරහා ඉදිරියේදී නිර්මාණය වීමට නියමිතය. එසේම මත්තල හා අවට ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටල් ඉදිවීම විදේශ විනිමය හුවමාරු මධ්‍යස්ථානයන් ඇතුළු වාණීජ්‍ය බැංකු පහසුකම් පුළුල් වීම තුළ ඍජු රැකියා අවස්ථා දහස් ගණනක් නිර්මාණය වනු ඇත.

ප්‍රවාහන සන්නිවේදන ආහාරපාන සැකසුම් කර්මාන්තය තුළින් වක්‍ර රැකියා දහස් ගණනක් ද ජනිත වනු ඇත.

බඳගිරිය වැව ඉස්මත්තේ ඝන කැලෑව තුළ අක්කර 2000ක වපසරියකින් ඉදිවුන ශ්‍රී ලංකාවේ දෙවැනි ජාත්‍යන්තර ගගනතොට නව පාරිසරික සංකල්පය හා සංකලන වෙමින් හරිත සංකල්පය හා අනුගත වෙමින් ඉදිවීම ප්‍රශංසනීයය. මේ ගුවන්තොට තුළ නව හරිත කලාපයක් නිර්මාණය වන අතර පාරිසරික වැදගත්කම ඉස්මතුවීම කැපීපෙනෙයි. එසේස මේ ගුවන්තොට තුළ ඉදිවන සියලුම ගොඩනැගිලි මහනුවර දළදා මාලිගයේ ගොඩනැගිලි සිහිපත් කරවයි. ඒවා හදවතට හා පරිසරයට සංවේදී බවක් දක්වයි. මෙය ශ්‍රී ලාංකේය අනන්‍යතාව ඉස්මතු කිරීමකි.

විරැකියාව අවමවීම හා යටිතල පහසුකම් පුළුල් වීම

දකුණු , ඌව, සබරගමුව හා නැඟෙනහිර පළාත් තුළ පවතින විරැකියාව ඉතා ඉහළ අගයක් ගනී. එම අගයන් තුළ නව ලොවට සරිලන රැකියා අවස්ථා ජනිත කිරීමට හැකිය. නැඟෙනහිර පළාත, ඌව පළාත දකුණු කෙළවර, මධ්‍යම පළාතේ ඌවට යාවූ කොටස හා සබරගමුව කෙළවර වූ ඇඹිලිපිටිය ආදී ප්‍රදේශ සාම්ප්‍රදායික පරිපාලන අග නගරය වූ කොළඹ හා දුරස්ථ බව නිසාම නව සංවර්ධනය එම පළාත්වලට ගමන් කරනුයේ ඉබි ගමනකිනි.

එහෙත් නව ආර්ථික නගරයක් බවට පිබිදෙන හම්බන්තොට පත්වීමත් සමඟ හම්බන්තොට, සබරගමුව පමණක් නොව ඌව හරහා සංචාරක නගරයක් වූ නුවරඑළියට පවා කොළඹ සිට ගමන් කරනවාට වඩා අඩු කාලපරාසයකින් ගමන් කළ හැකි මාර්ග පහසුකම් පුළුල්වීමත් සමඟම හුදෙකලා වූ ප්‍රදේශ සක්‍රීය ආර්ථික නගර බවට පත්වනු ඇත.

ආයෝජන ප්‍රවර්ධනය

හම්බන්තොට බිහිවූ සමුද්‍රිය ආර්ථිකය හා මත්තල ගගන ආර්ථික නගරයත් නිසා හම්බන්තොට දේශීයව පමණක් නොව ජාත්‍යන්තරව ද ගනුදෙනු කරන නගරයක් වනු නිසැකය. විදේශ වෙළඳාම දියුණු තත්ත්වයට පත්කිරීමට මේ ප්‍රදේශවල පවතින සාම්ප්‍රදායික ගොවිතැන් ක්‍රම නව වාණිජ්‍ය වගාවන් බවට පරිවර්තනය කළ හැකිය.

එසේම මෙම හම්බන්තොට හා ඒ අවට තැනිතලා ප්‍රදේශ කර්මාන්ත ජනපද සහ නව ආයෝජන ප්‍රවර්ධන ප්‍රදේශ බවට පත් කිරීමට යෝජිතය. විශේෂයෙන් කොළඹ අවට නොපවතින බැර කර්මාන්ත වූ යකඩ හා වානේ කර්මාන්තය. රථ වාහන නිෂ්පාදන එකලස් කිරීමේ කර්මාන්තය, සිමෙන්ති නිෂ්පාදන කර්මාන්තය ආදී කර්මාන්ත ස්ථාපිත කිරීමේ දී විදේශ ආයෝජකයන්ට හම්බන්තොටට ළඟාවීමට පහසුම ක්‍රමය ගුවන් ගමනාගමනය වේ. මෙය නව ලොවට පැය කිහිපයකට කලින් හම්බන්තොට යාමකි.

නැතහොත් පැරණි ක්‍රමයට හම්බන්තොට යාම පැය 5 – 6ක ගමනකි. එසේම නවලොවට අභියෝගයක් වූ පරිගණක මෘදුකාංග හා දෘඪාංග කර්මාන්තශාලා ඇරඹීමට දිරිගැන්වීමට හැකිය. ඒවා අපනයනයට පහසු ගුවන් ගමනාගමනය වේ.

කටුනායක නොලත් වාසි මත්තලට

1963දී කටුනායක ගුවන් තොටුපොළ ඇරඹී තවත් වසර 5ක කාලයක් එය ජාත්‍යන්තර ගුවන් තොටුපළක් දක්වා දියුණුවීමට කල්ගතවිය. එහෙත් මත්තල ආරම්භ වනුයේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙසය. ඒ අනුව එය උපන් ගෙයිම ජාත්‍යන්තර ගුවන් තොටුපළකි. ඒ අනුව එය ගුවන් කේන්ද්‍රීය ආර්ථිකයකට තබන පියවරක් බවට මෙය පත්වීම වැළැක්විය නොහැක.

ලෝකයේ ගමන් කරන ක්‍රමය අනුව මගීන් ප්‍රවාහනය කරන දැවැන්ත ගුවන් යානා නිෂ්පාදනය වීම නවතම රටාව වේ. මේ දැවැන්ත ගුවන් යානා මඟින් එකවර විශාල මගීන් හා ගුවන් බඩු ප්‍රමාණයක් ප්‍රවාහනය කළ හැකිය. ලෝකයේ නිෂ්පාදිත ඒ 380 ගුවන් යානා භාවිතයට අද ලොව දියුණු රටවල් නැඹුරුය.

.මෙම ඒ 380 ගුවන් යානා කටුනායකට දෙවරක් දැනට ගොඩබැස්සුවද මෙහිදී පැන නඟින ගැටලුවක් ඇත. එනම් කටුනායක ගුවන් ධාවන පථය කුඩාවීම නිසා එහි දැවැන්ත තටු ගුවන් ධාවන පථයෙන් ඔබ්බට යාමය. එහෙත් මත්තල ජාත්‍යන්තර ගුවන්තොට ධාවන පථය මීටර් 75ක් පළල හා දිගින් මීටර් 3500ක් ධාවන පථය නිසා ඒ 380 යානා මත්තලට පහසුවෙන් ගොඩ බැස්සවිය හැක.

එසේම කටුනායක දී ප්‍රධාන පර්යන්ත ගොඩනැගිල්ලට සම්බන්ධවන මගී පාලම තුළින් ගුවන් යානයට එකවර ඇතුළුවීමේ හා පිටවීමේ පහසුකම් නොමැත. එහෙත් මත්තල ගුවන්තොටේ මගී පාලම එකවර මේ පහසුකම් ලබා ගත හැකිය. මෙය සුවිශේෂ ප්‍රමිතියකි. එසේම මත්තල ගුවන් මෙහෙයුම් ගාස්තු හා බිම් මෙහෙයුම් ගාස්තු 50%කින් අඩු කර තිබේ. එසේම මත්තලට ඕනෑම අවස්ථාවක ගුවන් යානයක් ගොඩබැස්සවීමට හැකි අයුරින් විවෘත ගුවන් ප්‍රතිපත්තිය හඳුන්වා දී ඇත.

ශ්‍රී ලන්කන් එයාර් ලයින්, මිහින් ලංකා, එයාර් අරාබියා එමිරේට්ස්, ප්ලයි ඩුබායි යන ගුවන් සමාගම් දැනට මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොට හා ගුවන් ගමන් පැවැත්වීමට එකඟ වී ඇත. මැයි මස දක්වා සතියක ගමන් වාර 2 බැගින් සාජා බලා ගුවන් ගමන් ඇරඹීමට ප්ලයි ඩුබායි එකඟ වී ඇති අතර මැයි මස සිට එය සතියකට ගමන් වාර 4 දක්වා වර්ධනය කිරීමට අපේක්ෂිතය.

අද දින දොරට වඩින රාජපක්ෂ ජාත්‍යන්තර අහස්තොට සිරිලක නව සංවර්ධනයේ සැබෑම ආර්ථික දොරටුවක් බවට පත්වන බව සිරිලක්වාසීන්ගේ ඒකායන පැතුම වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා