රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානය අද

රාජ්‍ය නාට්‍ය උළෙලේ සම්මාන ප්‍රදානය අද

‘රාජ්‍ය නාට්‍ය උළෙල 2012/2013’ සම්මාන ප්‍රදානෝත්සවය අද (15) පස්වරු 6ට සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ ඇමැති ටී.බී. ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 7, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වේ. රාජ්‍ය නාට්‍ය උළෙලේ නාට්‍ය ප්‍රදර්ශනය පසුගිය දා ජෝන් ද සිල්වා සමරු රඟහලේ දී පැවැති අතර, දිගු නාට්‍ය 11ක්, කෙටි නාට්‍ය 9ක්, හා කෙටි දෙමළ නාට්‍ය 4 ක් ද වේදිකා ගත විය.

මේ නාට්‍ය අතුරෙන් හොඳම නළුවා, හොඳම නිළිය, හොඳම නාට්‍ය, හොඳම අධ්‍යක්ෂණය, හොඳම වේදිකා පරිපාලනය, හොඳම සංගීතය, හොඳම ආලෝකකරණය, හොඳම රංග වස්ත්‍ර නිර්මාණය, හොඳම පසුතල නිර්මාණය ආදී අංශ සඳහා සම්මාන, මුදල් ත්‍යාග හා සහතිකපත් පිරිනැනමීමට සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය කටයුතු යොදා ඇත.

‍ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයට කරන ලද අනුපමේය සේවයට උපහාර වශයෙන් ප්‍රවීණ නාට්‍යවේදී සැන්ටින් ගුණවර්ධන හා ප්‍රවීණ නාට්‍යවේදී කුලන්දෙයි සෙපමාලෙයි මහත්වරු "නාට්‍ය කීර්ති" සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිතය. ‍මීට අමතරව රෝගීව සිටින ප්‍රවීණ කලාකරු සුමින්ද සිරිසේන මහතාගේ සේවය අගයා මූල්‍යාධාරයක් හා සමරු ඵලකයක් පිරිනැමීමට ද සංවිධායක මණ්ඩලය කටයුතු යොදා ඇත. සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ රාජ්‍ය නාට්‍ය අනුමණ්ඩලය එක්ව මේ උළෙල සංවිධාන කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා