ජපානයෙන් ශ්‍රී ලංකාවට  යෙන් බිලියන 43.8ක ආධාර

ජපානයෙන් ශ්‍රී ලංකාවට  යෙන් බිලියන 43.8ක ආධාර

යෙන් බිලියන 43.8ක සංවර්ධන ආධාර ශ්‍රී ලංකාවට ලබාදීමට ජපාන රජය එකඟ වේ. මේ ආධාර යටිතල පහසුකම් සංවර්ධනය හා ආපදා නිවාරණය සඳහා උපයෝගී කර ගැනීමට නියමිතය.

මින් යෙන් බිලියන 41.1ක් ණය වන අතර, යෙන් බිලියන 2.7ක් ආධාර වේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජපාන අගමැති ෂින්සෝ අබේ මහතා අතර අද (14) ජපාන අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවැති නායක හමුවෙන් පසු නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශනයෙන් මේ බව නිවේදනය කෙරුණි. ශ්‍රී ලංකාවෙහි සමාජ හා ආර්ථික සංවර්ධනය උදෙසා ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරමින් කැපීපෙනෙන ලෙස දායක වූ වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකාවට ලබාදුන් ජපාන සංවර්ධන සහයෝගිතාව ජනාධිපති රාජපක්ෂ මහතා ඉතා ඉහළින් අගය කළේය.

1982දී පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිකිරීම සඳහා එක් වූ ජපාන මූල්‍යායතන සමූහයේ දායකත්වය සිහිපත් කළ රාජපක්ෂ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සංකීර්ණයේ ඓතිහාසික වටිනාකම හා සුවිශේෂී අනන්‍යතාව ආරක්ෂා කිරීම සඳහා නවීකරණ කටයුතු වෙනුවෙන් ද මෙවැනිම වූ සහයෝගයක් බලාපොරොත්තු වන බව පැවසීය.

අගමැති අබේ මහතා ශ්‍රී ලංකාවේ තිරසාර වර්ධනය වෙනුවෙන් අඛණ්ඩව සහාය වීමට ඇති කැමැත්ත පළ කළේය.

ශ්‍රී ලංකාවේ කල්පවත්නා සාමය වෙනුවෙන් ජාතික සංහිඳියාවෙහි ඇති වැදගත්කම තහවුරු කළ නායක දෙපළ දෙමළ

ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි මෙහෙයුම් අවසානයේ, සාමය හා සෞභාග්‍යය ප්‍රමුඛ අවශ්‍යතාවක් වූ බව ද පැවසූහ. උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා සකස් කෙරුණු ජාතික ක්‍රියාකාරී සැලැස්ම කෙටුම්පත් කිරීම, ඒ සඳහා අය- වැය ප්‍රතිපාදන සැලසීම ඇතුළු ජාතික සංහිඳියාව සාක්ෂාත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයේ සුවිශේෂී ප්‍රයත්නයන් අගමැති අබේ මැතිතුමාගේ ප්‍රසාදයට ලක් විය.

ජාතික ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට සහ ජාතිය යළි ගොඩනැගීමට ශ්‍රී ලංකාව ගන්නා උත්සාහයට සහාය වනු පිණිස යුනිසෙප් හා හැබිටාට් වැනි අන්තර්ජාතික සංවිධාන මඟින් ආධාර කිරීමට තමා අදහස් කරන බව ද ජපාන අගමැතිතුමා සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා