ලෝකයම බලපු මගේ ඇස් දෙකම පේන්නේ නෑ

ලෝකයම බලපු මගේ ඇස් දෙකම පේන්නේ නෑ

ප්‍රතිකාරවලට පිටරට යන්න වෙයි කියලා වෛද්‍යවරු කියනවා

ඇසිඩ් ප්‍රහාරයකට ලක් වූ ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස්

ලෝකය දැක්ක මගේ ඇස් දෙකම කිසිසේත්ම පෙනෙන්නේ නැහැ. ප්‍රතිකාර සඳහා විදෙස් රටකට යවන්න වෙයි කියලා වෛද්‍යවරු කියනවා යැයි උතුරුමැද පළාත් ආයුර්වේද කොමසාරිස් කුමාර අල්විස් මහතා පවසයි. කුමාර අල්විස් මහතාට පසුගියදා එල්ල වුණු ඇසිඩ් ප්‍රහාරය හේතුවෙන් මේ වන විට ඇස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

රෝහලේ දී ඉකුත්දා (13) කුමාර අල්විස් මහතා මෙසේද කීය. මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. අක්ෂි ශෛල්‍ය විශේෂඥ වෛද්‍ය චරිත් ෆොන්සේකා මහතා මට ප්‍රතිකාර කරනවා. මගේ ඇස් දෙකේ කාච දෙකම පිළිස්සිලා. කාච සම්බන්ධ වන ස්නායුත් විනාශ වෙලා. දැනට අත්අඩංගුවේ පසුවන ප්‍රධාන සැකකරු පුවත්පත්වලට ලබා දී ඇති බොහෝ කරුණු වැරදියි. ප්‍රධාන සැකකරුගේ බිරියගේ මාරුවීම පිළිබඳව ඔහු කියනවා.

නමුත් ඔහුගේ බිරිය ගම්පහ ආයුර්වේද රෝහලට මාරු කර යවා තිබෙන්නේ මම ආයුර්වේද කොමසාරිස්වරයා වශයෙන් වැඩ බාරගැනීමට පෙරයි. මම එම මාරු වීම ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. එම මාරු වීම මට පෙර සිටි කොමසාරිස්වරයා කළ එකක්. ඒ උසස්වීමක් අනුවයි.

ප්‍රධාන සැකකරුට විනය පරීක්ෂණයක් තිබෙනවා. මම සැකකරුගේ රාජකාරියට කිසිසේත්ම බලපෑම් කර නැහැ. ඔහු උසස්වීමක් ඉල්ලා තිබුණා. එහිදී ආයතන ප්‍රධානියා ලෙස ඔහුගේ විනය පරීක්ෂණයක් තිබෙන බව මම දැන්විය යුතුයි. එය ප්‍රධානියාගේ රාජකාරියයි.

ඔහුට මින්නේරිය රෝහලට ස්ථාන මාරුවක් ඔහුගේ ඉල්ලීම පරිදි මා ලබා දුන්නා. ‍අධ්‍යයන නිවාඩු පවා මා ලබා දී තිබෙනවා. ඒ ලබා දුන්නේත් ආණ්ඩුකාරවරයාගේ අනුමැතිය මතයි.

මට ඇසිඩ් ගැසූ බවට චෝදනා ලැබ සිටින ප්‍රධාන සැකකරුට මා හැම විටම වරප්‍රසාද ලබා දුන්නා. මට පුදුමයි ඔහු මේ ‍වගේ දෙයක් කිරීම ගැන යැයි කුමාර අල්විස් මහතා කීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා