දෑස් නොපෙනුනත් අපේ ආදරය සදාකාලිකයි...

දෑස් නොපෙනුනත් අපේ ආදරය සදාකාලිකයි...

දෑස් නොපෙනෙන පෙම් යුවළකගේ විවාහ මංගල්‍යය ඊයේ (14) ගලේවෙල ප්‍රදේශයේ දී පැවැත්විණි.

මාතලේ අබන්පොළ පදිංචි උපතින්ම දෑස් අන්ධ වූ දුලානි චම්පිකා කුමාරි ආරියසිංහ (31) සහ රත්මල්වල තංගල්ල පදිංචි රිය අනතුරකින් දෑස් අහිමි වූ තුෂාර වීරසිංහ (32) මෙසේ විවාහ ගිවිස ගත්හ.

දුලානි චම්පිකා යතුරු ලියනය උපයෝගි කරගන ගීත නිසැඳැස් කවි නිර්මාණය කරන යුවතියකි. ඇය තම නිර්මාණ පිළිබඳ කුඩා හැඳින්වීමක් ගුවන් විදුලියක ප්‍ර‍්‍රචාරය කර ඇත. එහිදී ඇයගේ දුරකථන අංකයද ප්‍රචාරයකර ඇත්තේ ඇයගේ නිර්මාණ පොතක් එළිදැක්වීමට ආදාර උපකාර ලබාගැනීම සඳහාය.

ඇයගේ කාව්‍යය නිර්මාණ ගුවන්විදුලියෙන් සවන්දීගෙන සිටි තංගල්ලේ තුෂාර වීරසිංහ දුරකථන අංකය මතකයේ තබාගන ඇයට ඇමතුමක් ගෙන කවි පොතක් මුද්‍රණය කර ගැනීමට උදව් කිරීමට කැමැත්ත පළකර ඇත.

දෙදෙනාගේ එම හඳුනාගැනීම පසුව ආදරයක් බවට පෙරළිණි. දෙමාපියන්ගේ ආශිර්වාදය මැද ලෝකය නොපෙනෙන එම හදවත් නීත්‍යානුකූලව විවාහ යුවළක් බවට පත්වූහ. ගලේවෙල විවාහ ලේකම් අසලට පැමිණ මනාලයත් මනාලිත් විවාහය ලියාපදිංචි කළහ. පසුව මනාලියගේ නිවසට පැමිණ දෑඟිලි මුදු මාරුකර චාරිත්‍රානූුකූලව චාම් ලෙස එම උත්සවය පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා