මුද්‍රණය සඳහා

 
ආරුගම්බේ මුහුදු මහ වෙහෙර සුරැකේ...

ආරුගම්බේ මුහුදු මහ වෙහෙර සුරැකේ...

වසර දෙදහසකට අධික ඉතිහාසයක් ඇති ආරුගම්බේ මුහුදු මහ විහාරය සුරක්ෂිත කොට මතු පරපුර වෙත රැකදීම සඳහා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ් උපදෙස් මත විශේෂ සංවර්ධන ව්‍යාපෘතියක් දියත් කැර තිබේ.

වසර 2013 දැයට කිරුළ සංවර්ධන ව්‍යාපෘතියට සමගාමීව විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ මඟ පෙන්වීම යටතේ දිස්ත්‍රික් ලේකම් නීල් ද අල්විස් මහතාගේ මෙහෙයවීමෙන් මේ වන විට මුහුදු මහා විහාරස්ථානයේ බුදු මැදුරක්, දාගැබක්, සංඝාවාසයක්, විහාර මන්දිරයක්, සාමනේර ආයතනයක්, භාවනා කටයුතු සඳහා ස්ථානයක්, සතර මහ දේවාල, දාන ශාලාවක්, මුළුතැන් ගෙයක්, විශ්‍රාම ශාලාවක්, රථගාලක් හා පිවිසුම් මාර්ගයක් ඉදිකිරීමට නියමිතය.

මේ වැඩපිළිවෙළ යටතේ මේ වන විට වැඩ නිමකළ බුදු මැදුර, රථගාල හා පිවිසුම් මාර්ගය දැයට කිරුළ ප්‍රදර්ශනය විවෘත කිරීමට සමගාමීව මේ මස අග ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කිරීමට සැලසුම් කැර තිබේ.

කැලණි තිස්ස රජ දවස සිදුවූ මුහුදු ගොඩගැලීමත් සමඟ එම උවදුරින් රට වැසියන් මුදාගැනීමට රජ තම දියණිය විහාර මහ දේවිය නෞකාවක නංවා මුහුදේ පාකර හැරීමෙන් පසු එම නෞකාව සේන්දු වී ඇත්තේ වත්මන් මුහුදු මහ විහාරය පිහිටි භූමිය ආශ්‍රිත ප්‍රදේශයට බව ජනප්‍රවාදයේ කියවෙයි.

දාගැබ් වහන්සේ ඉදිකිරීමේ කටයුතු පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් චෛත්‍ය සංවර්ධන සමිතිය මගින් සිදුකෙරුණි.

එහි වැඩකටයුතු මෙම මස අග ආරම්භ කිරීමට නියමිතය. භූමිය සකස් කිරීම මේ වන විට ආරම්භ කැර තිබෙන අතර ඊට ඇස්තමේන්තු මුදල රුපියල් මිලියන 20 කි. මුහුදු මහ විහාරය කොමර්ෂල් බැංකුව පේරාදෙණිය ශාඛාවේ අංක 873-002-6100 ගිණුමට මුදල් බැරකර විහාරස්ථානය ගොඩ නැගීමට ඔබටත් දායක විය හැක.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]