‍‘ෆයිව් නේෂන්ස්’ රගර් කිරුළ දිනාගන්න ශ්‍රී ලංකාවට හොද අවස්ථාවක්

‍‘ෆයිව් නේෂන්ස්’ රගර් කිරුළ දිනාගන්න ශ්‍රී ලංකාවට හොද අවස්ථාවක්

 - රගර් සභාපති අසංග සෙනෙවිරත්න

ආසියා රගර් තරගබිමේ විශිෂ්ටතම කණ්ඩායම් පහ අතරට සුදුසුකම් ලැබීමේ කදිම අවස්ථාවක් එළැඹෙන ආසියා ෆයි‍ව් නේෂන්ස් පළමු කොටසේ රගර් තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලැබී ඇතැයි ශ්‍රී ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා පවසයි. ‍ෆයිව් නේෂන්ස් තරගාවලියට සත්කාරකත්වය ලබාදීමට හැකිවිම ආඩම්බරයට කරුණක් බවත්, ලබන වසරේ ෆයිව් නේෂන්ස් සුපිරි රටවල් පහේ තරගාවලියට සුදුසුකම් ලැබීමේ අවස්ථාව උදාකර ගැනීමේ බලාපොරොත්තුවෙන් පසුවන ශ්‍රී ලංකාවට එය අති‍රේක වාසියක් වනු ඇති බවත් සෙනෙවිරත්න මහතා කීවේය.

රගර් සභාපතිවරයා මේ අදහස් පලකළේ පසුගියදා ගලධාරී ‍හෝටලයේ පැවැති මේ තරගාවලියේ අනුග්‍රාහකත්ව පිරිනැමීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි. එච්.එස්.බී.සී‍.බැංකු සමාගමේ අනුග්‍රාහකත්වයෙන් පැවැත්වෙන ආසියා ෆයිව් නේෂන්ස් පළමු කොටසේ තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ අනුග්‍රාහකත්වය ඩයලොග් සමාගම විසින් දරනු ලබයි.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින කලාපයේ එච්.එස්.බී.සී. ප්‍රධාන විධායක නිලධාරී නික් නිකෝලෝ තරගාවලියේ අනුග්‍රාහකත්වය සංකේතවත් කරමින් ශ්‍රී ලංකා රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතාට රගර් පන්දුවක් පිරිනැමූ අයුරු. රගර් සංගමයේ ලේකම් රිස්ලි ඉල්යාස්, ඩයලොග් සමාගමේ ජ්‍යෙෂ්ඨ සමූහ වෙළෙඳ කලමනාකරු රිස්වි ෆාරුක් මහත්වරු ද මෙහි වෙති. ඡායාරූපය – රුවන් ද සිල්වා

ශ්‍රී ලංකාව සමග කසකස්තානය, තායිලන්තය හා චීන තායිපේ කණ්ඩායම් තරග වදින මෙවර ෆයිව් නේෂන්ස් පළමු කොටසේ රගර් තරගාවලිය මේ මස 31දින සිට අප්‍රේල් මස 6වැනිදා දක්වා හැව්ලොක්ස් පිටියේ දී පැවැත්වේ. පාසල් සිසුන්ට දින තුනක් පුරා පැවැත්වෙන මේ තරගාවලිය නොමිල‍යේ නැරැඹීමේ අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා රගර් සංගමය කටයුතු යොදා ඇති අතර තරගාවලියට සමගාමීව සෑම පළාතකම පුහුණු සැසි පැවැත්වීමට ද රගර් සංගමය පියවර ගෙන තිබේ.

ඒ අනුව බස්නාහිර පළාත (කොළඹ), දකුණු පළාත(ගාල්ල), උතුරු පළාත (යාපනය), නැගෙනහිර පළාත (ත්‍රිකුණාමලය), සබරගමුව පළාත( ඇඹිලිපිටිය හා රුවන්වැල්ල), උතුරු මැද පළාත( අනුරාධපුරය) සහ මධ්‍යම පළාත (මහනුවර) යන පළාත්වල මේ පුහුණු සැසි පැවැත්වීමට නියමිතය. මෙවර තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ලෙස යෝෂිත රාජපක්ෂ කටයුතු කරන අතර ෆසීල් මරිජා උපනායකයා ලෙස කටයුතු කරයි.

ශ්‍රී ලංකාව සහ මාලදිවයින කලාපයේ එච්.එස්.බී.සී. ප්‍රධාන විධායක නිලධාරී නික් නිකෝලෝ, ඩයලොග් සමාගමේ ජ්‍යෙෂ්ඨ සමූහ වෙළෙඳ කලමනාකරු රිස්වි ෆාරුක් මහත්වරු ද මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ අතර රගර් සංගමයේ ලේකම් රිස්ලි ඉල්යාස්, එච්.එස්.බී.සී‍. බැංකු සමාගමේ තරංග ගුණසේකර මහත්වරු ද මේ අවස්ථාවට එක්වූහ.

තරග කාල සටහන – මාර්තු 31- ප.ව.2.00 ට කසකස්තානය – තායිලන්තය, ප.ව.4.00ට ශ්‍රී ලංකාව - චීන තායිපේ, අප්‍රේල් 3 – ප.ව.2.00ට කසකස්තානය – චීන තායිපේ, ප.ව.4.00ට ශ්‍රී ලංකාව – තායිලන්තය, අප්‍රේල් 6 – ප.ව.2.00ට තායිලන්තය – චීන තායිපේ, ප.ව.4.00ට ශ්‍රී ලංකාව – කසකස්තානය

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා