|
||||
ක්‍රිකට් ක්‍රීඩකයන් වගේ ඇවිත් ඉන්දීය පොලිසියේ 5ක් මරලාප්රහාරයට ආ දෙදෙනාත් මරුට කාශ්මීරයේ ප්‍රධාන නගරය වන ශ්‍රී නගර්හිදී ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ව්‍යාජයෙන් පොලිස් අංගණයක් වෙත පැමිණි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනකු පෙරේදා සිදු කළ වෙඩි තැබීමකින් අතිරේක පොලිස් බළකායේ පස්දෙනකු ඝාතනයට ලක්වී ඇත. මෙය පස් වසරකින් පමණ පසු ඇතිවු දරුණුම සිද්ධිය ලෙස සැලකේ. මේ ප්‍රහාරයේ වගකීම පාකිස්තාන් හිතවාදී හිස්බුල් මුජාහිදීන් නම් ප්‍රාදේශීය සංවිධානයක් විසින් බාරගෙන ඇත. පොලිස් බැරැක්කයක්, පාසලක් හා ක්‍රීඩාංගණයකින් සමන්විත පොලිස් අංගණ යට පිවිසි සන්නද්ධ පුද්ගලයන් දෙදෙනාම පසුව පොලිස් වෙඩි පහරින් ජීවිතක්ෂයට පත්ව තිබේ. කාශ්මීරයේ විශාලම කැරලිකාර සංවිධානයට අයත් අන්තවාදින් වන මේ ප්‍රහාරකයන් දෙදෙනා ළමයින් සමඟ ක්‍රිකට් ක්‍රීඩාවේ නියැළීමට පැමිණි අය ලෙස අඟවමින් ක්‍රීඩාංගණයට ඇතුළු වී ඇත. ඉන්පසු ක්‍රිකට් ආම්පන්න ගෙන ආ ලෙසින් රැගෙන විත් තිබූ බෑග් තුළින් ස්වයංක්‍රීය ගිනි අවි ඇදගත් ඔවුන් මුලින් අත්බෝම්බයක් විසි කර පසුව වෙඩි තැබීම සිදු කර තිබේ. ඔවුන්ගේ බෑග් තුළ තිබී තවත් ගිනි අවි හා බෝම්බ පොලීසිය සොයා ගෙන තිබේ. මෙම ප්‍රහාරයේදී සිවිල් වැසියන් සිවුදෙනකු හා මධ්‍ය සංචිත පොලිස් බළකායේ සෙබළුන් සිවුදෙනකු ද තුවාල ලබා ඇත. කාශ්මීර පුවත් සේවය පවසන්නේ හිස්බුල් මුජාහිදීන් සංවිධානයේ ප්‍රකාශකයා විසින් දුන් දුරකතන ඇමතුමකින් මේ ගරිල්ලා ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇති අතර ඉදිරියේදී මෙවන් ප්‍රහාර තවත් සිදු කරන බවට අනතුරු ඇඟවීමක් ද සිදුකර ඇති බවය. ඉන්දීය ස්වදේශ කටයුතු ලේකම් ආර්.කේ.සිං පවසා ඇත්තේ ප්‍රහාරකයන් දෙදෙනා ස්වදේශිකයන් නොවන බවත් පාකිස්තානයෙන් පැමිණි අය ලෙස පෙනෙන බවත්ය. තවද ඔවුන් සමඟ පැමිණි තවත් දෙදෙනකු ප්‍රහාරයට සම්බන්ධ නොවුව ද දැන් නගරය තුළ නිදැල්ලේ පසුවනු ඇති බව ද ඔහු පවසා තිබේ.
|
||||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |