මුද්‍රණය සඳහා

 
රට දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

රට දුර්වල කිරීමේ කුමන්ත්‍රණයක් තිබෙනවා

ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ගෝමින් දයස් ශ්‍රී

ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ඉදිරිපත් කරන යෝජනාව සහ ඊට අදාළ පසුබිම තේරුම් ගන්නා ආකාරය ගැනත්, රටක් හැටියට ඊට මුහුණ දිය යුත්තේ කෙසේද යන්නත් අරබයා ජ්‍යෙෂ්ඨ අධිනීතීඥ ගෝමින් දයස් ශ්‍රී මහතා සමඟ කළ සාකච්ඡාවකි.

මේ වනවිට, ජීනීවා හි රැස්වී ඇති එ. ජා. මානව හිමිකම්, කවුන්සිල සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිදුවෙමින් ඇත්තේ කුමක්ද?

මේ අවස්ථාවේ අමෙරිකාව, බටහිර රටවල් හා ඉන්දියාවත් එක්ව ශශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාව අපට ක්‍රමානුකූලව විෂවායුවක් ඇතුල් කිරීමක්.

මේ වතාවේ ඉදිරිපත් වෙන යෝජනාව විෂ සහිත නොවුණත් මේක ක්‍රමානුකූලව සිදුවන වැඩපිළිවෙළක් එනම් මැතිවරණයක් කිට්ටුව ඇති අවස්ථාවක ජනතාව ආර්ථික වශයෙන් අසහනයට පත්වීමට ඉඩ සලස්වා ඔවුන් රජයෙන් දුරස් කිරීමේ වෑයමක් හා රට තුළ කලබලකාරී තත්ත්වයක් ඇති කිරීමේ වෑයමක් මේ තුළ අන්තර්ගතයි.

ඒ කියන්නේ මේක රජය වෙනස් කිරීමට ගන්නා ප්‍රයත්නයක මුල් අදියරක්. මේ නිසා ජනතාව විමසිල්ලෙන් සිටිය යුතුයි. මේ වෙලාවෙ රජයට එරෙහි විරෝධතා දැක්වීම නොව රට ආරක්ෂාකරන ප්‍රයත්නයකට කවුරුත් යොමුවිය යුතුයි.

රජයේ ඇති අඩු - පාඩු දුර්වලකම් ගැන සාධාරණ විවේචන තිබිය හැකි වුණත් රජය රට ගලවා ගැනීමට දරන වෑයමේදී යුුද සමයේදී මෙන්ම රජයත් සමගම ජනතාව සිට ගැනීම වැදගත්. රටේ දේශීය හා විදේශීය සතුරන්ට කිසිදු ඉඩක් නොතැබීම රණවිරුවන්ටත් කරන ගෞරවයක්. මෙන්ම යුතුකම් ඉටුකිරීමක්.

අමෙරිකාවේ යෝජනාවට අදාළ පසුබිම ඔබ තේරුම්කරන්නෙ මොන විදිහට ද?

යුද්ධය ජයග්‍රහණය කළ අවදියට ආපසු ගියොත් එදා මෙහි සිටි අමෙරිකන් තානාපති රොබට් ඕබ්ලේක් වැනි අය වෑයම් කළේ කොටි නායකත්ව රැකගෙන ඔවුන් රටින් බැහැර ස්ථානගත කිරීමයි.

එම වෑයම අසාර්ථක වුණේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමාගේ ගෞරවනීය මෙහෙවර නිසයි. අද, බ්ලේක් මහතා අමෙරිකා රාජ්‍ය තාන්ත්‍රයේ බලවත් නිලධාරියෙක්.

ඔහු මුලපටන්ම ක්‍රියා කළේ ශ්‍රී ලංකාව යුද ජයග්‍රහණ ලබාගැනීම වළක්වා සාම මාවතේ රැගෙන ගොස් එල්. ටී. ටී. ඊ. ය බේරා ගැනීමටයි. දෙමළ ඩයස්පෝරාව සහ යුරෝපා රටවල් ද එදාත් කටයුුතු කළේ එල්. ටී. ටී. ඊ.යේ කිට්ටු නෑදෑයන් හැටියටයි. බ්‍රිතාන්‍ය, කැනඩාව, ඇමෙරිකාව ආදී රටවල ක්‍රියාත්මක එල්. ටී. ටී. ඊ. හිතවාදී විවිධ සංවිධාන ඡන්ද බලය පිළිබඳ කාරණය උපයෝගී කරගනිමින් ඒ ආණ්ඩුවලට බලපෑම් ඇතිකරමින් උත්සාහ කළෙත් එල්. ටී. ටී. ඊ.ය රැකැගැනීමටයි.

නමුත් මෙ සියල්ල අසාර්ථක වු තැන අද ඔවුන් කවුරුත් එක්ව මානුෂීය අයිතිවාසිකම් නමැති ව්‍යාජ නාමපුරුවට මුවාවී ජිනීවාවල සිට ශ්‍රී ලංකාවට එරෙහි ක්‍රියන්විතයක යෙදෙනවා. මේක යුද්ධයෙන් ජයගත් පාර්ශ්වය මෙල්ල කිරීමට දරන වෑයමක්. ලෝකයේ කිසිම තැනක යුද ජයග්‍රහණයක් බාල්දු කළ අවස්ථාවක් නෑ. මේ හදන්නේ ඒක කරන්න.

ඉන්දියාවේ ප්‍රතිචාරය අපි පැහැදිලි කරගත යුත්තේ කොහොමද?

ඉන්දියාව අපට එරෙහිවීම පුදුමට කාරණයක් නෙවෙයි. අතීතයේදී ඉන්දියාව එල්. ටී. ටී. ඊ. ත්‍රස්තවාදීන්ට පුහුණුව දුන්නා. ඔවුන් පෝෂණය කළා. ඉන්දිරා ගාන්ධි මහත්මියගේ පාලන සමය තුළ රෝ සංවිධානය හරහා එය සිදුවුණා.

රජීව් ගාන්ධි මහත්මයාකේ කාලයේදී ගුවනින් පරිප්පු දැම්මා. ප්‍රභාකරන් වැල්වැටිතුරෙයිවලදී කොටුවුණාම ඔහු බේරා ගත්තෙත් ඉන්දියාවයි. අන්තිමේදී ඉන්දියාව තමන්ගේ ආකල්ප වෙනස් කරගත්තේ ඔවුන්ගේ අගමැතිවරයකු වූ රජීව් ගාන්ධි එල්. ටී. ටී. ඊ. ය විසින් ඝාතනය කිරීමෙන් පසුවයි.

කොන්ග්‍රස් පක්ෂය බලයට පත්වීමත් සමඟ එම පක්ෂයේ සභාපතිනිය වූ සෝනියා ගාන්ධි මහත්මියගේ සැමියා ඝාතනය කළ ත්‍රස්තවාදී සංවිධානයකට එරට අධිකරණයෙන් දඬුවම් නියම වූ අපරාධකාරයන්ට ආධාර - උපකාර කිරීමට ඔවුන්ට නොහැකි වුණා.

නමුත්, අද තත්ත්වය වෙනස්. කොන්ග්‍රස් පක්ෂය මධ්‍යම රජය වශයෙන් බලයේ සිටියත් තමිල්නාඩුවේ දේශපාලන පක්ෂවල සහාය ඔවුන්ගේ බලය රඳා පැවතීම සඳහා අවශ්‍ය වී තිබෙනවා. ළඟදී පැවැත්වෙන මැතිවරණයේදීත් කොන්ග්‍රස් පක්ෂයට දකුණු ඉන්දීය දේශපාලන පක්ෂවල සහාය අවශ්‍යයයි.

මීට අමතරව, යුද්ධයෙන් පසු ඉන්දියාව ශ්‍රී ලංකාවෙන් අපේක්ෂා කළ ආර්ථික වාසි ඔවුන්ට ලැබුණෙත් නෑ. සාම්පූර් බලාගාරය වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක වුණෙත් නෑ. මේවා හරහා ඔවුන් බලාපොරොත්තු වුණේ ආර්ථික ඝාතකයන් ලෙස ක්‍රියාකරමින් අපේ ධනස්කන්ධය ඇද ගැනීමටයි. හැබැයි, මේ රජය ඊට ඉඩ දුන්නේ නෑ.

තවත් කාරණයක් තමයි අපට චීනයත් සමඟ ඇති සමීප සම්බන්ධය මේක ඉන්දියාව රුස්සන්නේ නෑ. ඒවාගේම අද වනවිට ඉන්දු - අමෙරිකා සබඳතා බලවත් . ඉන්දීය මධ්‍යම පංතියේ විශාල පිරිසක් අමෙරිකාවේ හා යුරෝපයේ ජීවත් වෙනවා. අමෙරිකාව වගේම ඉන්දියාවත් ඉන්දීය සාගරයේ තම බලය තහවුරු කරගැනීමට වෑයම් කිරීමේදී ඔවුන්ට චීනය මර්දනය කිරීමට අවශ්‍යයයි. නමුත් චීනය හා ශ්‍රී ලංකාව අතර ඇති සම්බන්ධතාව ඊට බාධාවක්. ශශ්‍රී ලංකාව දුබල කිරීමෙන් ඔවුන් තමන්ගේ ඒ කල වුවමනාව සපුරා ගැනීමටත් වෑයම් කරනවා.

මං දකින හැටියට ලංකාව දුබල කිරීමේ භයානකම තර්ජනය එල්ල වෙන්නේ අමෙරිකා හෝ ඉන්දීය ආණ්ඩුවලින් නොව ඉන්දීය රෝ ඔත්තු සේවයෙනුයි. ඉන්දීය මධ්‍යම රජයේ කැමැත්ත ඇතිව හෝ නැතිව රෝ සංවිධානය ශශ්‍රී ලංකාවේ විරුද්ධවාදීන් හා එක්ව අපේ රට දුබල කිරීමට ප්‍රයත්න දැරීමේ ඉඩක් තියෙනවා. එමනිසා ශශ්‍රී ලංකාව මේ ගැන දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

චැනල් 4 වැනි නාලිකා ඔස්සේ ශ්‍රී ලංකාවට එරෙහිව දියත් වෙමින් ඇති ප්‍රචාරක යුද්ධය දෙස ඔබ බලන්නේ කෙසේද?

යුද්ධයකින් කිසිම රටක් නොකළ පරිදි අපි ළමා සොල්දාදුවන් පුනරුත්ථාපනය කළා. ඔවුන් යහමඟට යොමුකර මව්පියන්ට භාර දුන්නා. එල්. ටී. ටී. ඊ. සාමාජිකයන්ව සිටි තරුණ – තරුණියන් පුනරුත්ථාපනය කර වෘත්තීය පුහුණුවක් පවා ලබාදී සමාජගත කළා. සමහරු හමුදාවට හා සිවිල් ආරක්ෂක බලකායටත් බඳවා ගත්තා.

මේ කිසිවක් නොදැක චැනල් 4 වගේ මාධ්‍ය කිසිම පදනමක් හෝ වාසි නැතිව ප්‍රභාකරන්ගේ පුතාගේ බව කියන පිංතූර වගයක් ප්‍රසිද්ධ කළා. වෙනදා වගේම ජිනීවා මානව හිමිකම් සැසිය ළං වෙද්දී තමයි ඔවුන් අවදිවුණේ.

හැබැයි ඉරාකයේ අමෙරිකා ප්‍රහාරවලින් මියයන අසරණ දරුවො ගැන ෆලුප්වල රෝහල්වලට ප්‍රහාර එල්ල වෙද්දී මියයන, තුවාල ලබන අහිංසක රෝගීන් හා වෛද්‍යවරු ගැන, ඇෆ්ගනිස්තානයේ, පාකිස්තානයේ ඩ්‍රෝන ප්‍රහාරවලින් මියයන අසරණ දරුවො ගැන ඔවුන් ඒ අන්දමට අවදිවෙන්නෙ නෑ.

කොටින්ම ලංකාවේ වුණත් යුද්ධ කාලෙදි තර්ජිත ගම්මානවලට කඩා වැදුණු ත්‍රස්තාවාදීන් අහිංසක දරුවන් මිනිසුන් කපා කොටා මරාදැමීම ගැන ඔය මාධ්‍ය නාලිකා වචනයක්වත් කතා කළේ නෑ.

යුද මුක්ත කලාපයේ රැඳී සිටින අතර ප්‍රහාරයන්ද සිදු කළ ත්‍රස්තවාදීන් ගැන, බලහත්කාරයෙන් පැහැරගෙන ගොස් අවි පුහුණුව ලබාදුන් ළමයින් ගැන වචනයක්වත් නොකියන මේ අයට පෙනෙන්නේ ප්‍රභාකරන්ගේ පුතා විතරද? මොකක්ද මේ අයගේ මාධ්‍ය සදාචාරය? එතකොට මේවා අපක්ෂපාතී මාධ්‍ය ආයතනද? චැනල් - 4 වගේ මාධ්‍ය වැඩකරන්නේ ඩයස්පෝරාවෙන් මුදල් හා අනුබලය ඇතිවයි - ශ්‍රී ලංකාවට එරෙහිව මනඞකල්පිත ගොඩනඟමින් ඔවුන් මේ කරමින් සිටින්නේ අපට එරෙහි ක්‍රියාදාමයේ එක් කොටසක්.

අමෙරිකාව සහ බටහිර ජාතීන් දැන් ශ්‍රී ලංකාවට බලපෑම් කරන්නේ උගත් පාඩම් කොමිෂමේ නිර්දේශ වහා ක්‍රියාත්මක කරන ලෙසයි. ඒකකඩිමුඩියේ කරන්න පුලුවන් දෙයක් ද?

උගත් පාඩම් කොමිෂම පත්කළාම අමෙරිකාව හා බටහිර රටවල් කිව්වෙ ඒක මේ අපරාධවලට සුදුහුණු ගෑමේ උත්සාහයක් කියලයි. හැබැයි, ඒකෙ වාර්තාව නිකුත් වුණාම ඔවුන් කළේ ඒකට ප්‍රශංසා කරන එකයි.

උගත් පාඩම කොමිෂම කියන්නේ අපේ රට තුළ අපේ ශ්‍රමයෙන් ගොඩනඟාගත් යන්ත්‍රණයක්. එමඟින් ක්‍රියාකාරී සැලැස්මක් වගේම මාර්ග සිතියමක් පිළියෙල කිරීමට අපට හැකි වුණා. අමෙරිකා රාජ්‍ය ලේකම් ව සිටි හිලරි ක්ලින්ටන් මහත්මියටත් මේ කාරණා පැහැදිලි කළා. එම මාර්ග සිතියමට අනුවම පෙරට යාමට හැකි නොවීම තනිකරම රජයේ දුර්වලතාවක් නොවෙයි.

නිලධාරීන්ටත් එහි වගකීම පැවරෙනවා. කොහොම නමුත් අප ඉටුකළ වැඩකොටස හා ලබාදුන් ප්‍රගතිය පිළිබඳ අපේ විදේශ අමාත්‍යාංශය හරහා ජාත්‍යන්රය හමුවේ සාධාරණීකරණය වුණාද කියන එක අපට ජිනීවා වලදී දැකගන්න පුලුණන්. අප ජයග්‍රහණය කළොත් ඒ කියන්නෙ එය සාර්ථකව සිදුවෙලා.

අපි විශාල ඡන්ද ගණනකින් පරාජය වුණොත් එම ක්‍රියාකලාපය දෝෂාරෝපණයට ලක්වෙනවා. එතකොට දූත මණ්ඩල සේවයේ ඇති දුබලතා ප්‍රදර්ශනය වෙනවා. ඒ නිසා ජිනීවා ඡන්ද ප්‍රතිඵලය මත ඊළඟ පියවරට යා යුතුයි. මගේ මතය නම් අපි “ගෙදර වැඩ” කරල තියෙද්දී ඒක මීට වඩා හොඳට ලෝකයට පෙන්නුවා නම් මීට වැඩිය සාර්ථක ප්‍රතිඵල අපට ලබන්න තිබුණා කියන එකයි.

අනෙක තමයි, දෙමළ ජනයාගේ දුක්ගැනවිලි ගැන ක්‍රියාකිරීම උගත් පාඩම් කොමිෂමේ වටිනා නිර්දේශ ක්‍රියාත්මක කළොත් 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරන ලෙසට ඇති බලපෑම් නිෂ්ප්‍රභා වෙනවා. 13 වෙනි සංශෝධනය රටට අවාසිදායකයි.

උගත් පාඩම් නිර්දේශ ක්‍රියාත්මක කිරීම රටට වාසිිදායකයි වගේම දෙමළ ජනයාටත් සාධාරණය ඉටුකිරීමක්.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]