ඇඟිලි ගැසීම හා බලපෑම් ඉඳුරා තහනම්

ඇඟිලි ගැසීම හා බලපෑම් ඉඳුරා තහනම්

ඉස්ලාම් රටවල් පහළොවක තානාපතිවරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වූහ. එසේ හමු වී වැදගත් සාකච්ඡාවක් ද කළහ. මාතෘකාව අන්තර්ජාතික අත පෙවීම් ය. නැතහොත් බටහිර බලවත් ජාතීන්ගේ ඇඟිලි ගැසීම් ය. අන්තර් ජාතික බලපෑම්වලට අපි විරුද්ධ වෙමු. බටහිර ජාතීන් ලෝකයේ ස්වාධීන රාජ්‍යයන් වෙත මුදාහරින බලහත්කාරයට එරෙහිව පෙළ ගැසීමට අප සූදානම් විය යුතු බව ද එම නියෝජිතයෝ කියා සිටිති. ඉරානය, ඉරාකය, බංගලිදේශය, ඊජිප්තුව, මාලදිවයින, කුවේට් රාජ්‍යය, මැලේසියාව, නයිජීරියාව, පාකිස්ථානය, පලස්තීනය, තුර්කිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සෞදි අරාබිය, ඉන්දුනීසියාව හා කටාර් රාජ්‍යය යන රටවල නියෝජිතයෝ ඊට එක් වූහ.

මේ සාකච්ඡාව ඔස්සේ අපේ දේශපාලනයට අයත් වැදගත් සංවාදයක් ඇති කළ හැකි ය. ස්වදේශික දේශපාලනයට සම්බන්ධ වැදගත් ප්‍රවාද කිහිපයක් ද මතු කළ හැකි ය. ඉස්ලාම් රටවල් ලෝකයේ බලගතු ආර්ථික හා දේශපාලන ශක්තියක් ගොඩ නඟමින් සිටී. ඉස්ලාම් දහම ලෝකයේ දෙවන ව්‍යාප්ත දහම වන්නේ ය. එම රටවල පවතින තෙල් සම්පත ලෝකයේ වටිනා ම වෙළෙඳ භාණ්ඩය හා බලශක්තිය ලෙස පවතින්නේ ය. අරාබි ලීගය, අප්‍රිකානු සංගමය, ඔපෙක් සංවිධානය යන ලෝක සංවිධාන ඔස්සේ ඉස්ලාම් රටවල ශක්තිය තවදුරටත් සනාථ වන්නේ ය. එබඳු රටවල් සමූහයක් දේශපාලනික වශයෙන් ශ්‍රී ලංකාව සමඟ අත්වැල් බැඳ ගැනීම හැම අතකින් ම වැදගත් ය.

බටහිර බලවත් ජාතීන් ආසියාව හා අප්‍රිකාව සූරා කෑමට පටන් ගත්තේ සියවස් කිහිපයකට පෙර සිට ය. ලෝක වෙළෙඳාමේ ආධිපත්‍යය සියතට ගැනීමෙන්, මුහුදු සීමාවන් ආක්‍රමණය කිරීමෙන්, ආගම පැතිරවීමෙන්, රටවල් ආක්‍රමණය කිරීමෙන් හා සන්නිවේදන තාක්ෂණය මාර්ගයෙන් ද මේ සූරාකෑම කරනු ලැබේ. යටත් විජිතවාදය, නව යටත් විජිතවාදය, ගෝලීයකරණය, ජගත්කරණය, යනාදී විෂය ක්ෂේත්‍ර ඔස්සේ අපි මේ පාඩම් උගෙන ඇත්තෙමු. එහෙත් මේ බලපෑමට හා සූරාකෑමට එරෙහි ශක්තිමත් පෙළ ගැස්මක් තවම අපට නැත.

අමෙරිකාව; ඉරාකය අරාජික කරන්නේ ද, ලිබියාව විනාශ කරන්නේ ද, ඉරානයට තර්ජනය කරන්නේ ද ලෝකයට මුහුණ දිය හැකි ශක්තිමත් තෙවන බලවේගයක් නැති බැවින් ය. පෙරළා ශ්‍රී ලංකාව දෙසට හැරුණ හොත්; අපට එරෙහි මානව හිමිකම් චෝදනා මතු වන්නේ ද, දේශපාලන බලහත්කාරකම් හා තර්ජන මතු වන්නේ ද ශක්තිමත් තෙවන බලවේගයක් නැතිකම නිසා ය. නො බැඳි ජාතීන්ගේ සමුළුව දියාරු සංවිධානයක් බවත්; එය අක්‍රීය බවත් අප පිළිගත යුතු ය. එහෙත් වර්තමාන ලෝක පසුබිම තුළ වැදගත් හා ශක්තිමත් දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැඟෙමින් පවතී. එහි වැඩි බර ඉස්ලාම් රාජ්‍යයන් වෙත පැවරේ.

ජිනීවා මානව හිමිකම් සැසියේ දී ශ්‍රී ලංකාවට පක්ෂව ඡන්දය දුන් රටවල් දහතුන අතරින් රටවල් හතක් ම ඉස්ලාම් රාජ්‍යයෝ වෙති. ඔව්හු බටහිර බලපෑම්වලට යටත් නො වී අපට සහාය පළ කළහ. ශ්‍රී ලංකාවට ආර්ථික වශයෙන් සහාය පළ කරන ඉස්ලාම් රාජ්‍යයන් ගණනාවක් ද තිබේ. ඒ පමණක් නො ව මෙරට ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා සහයෝගය දුන් ඉස්ලාම් රාජ්‍යයන් ගණනාවක් ද තිබේ. ඒ අතර පාකිස්ථානය ප්‍රමුඛ වේ. ඉස්ලාම් රටවල් හා ශ්‍රී ලංකාව අතර පවත්නා ඓතිහාසික සම්බන්ධතාවලට අමතර ව ආණ්ඩුව ගෙන යන යහපත් විදේශීය ප්‍රතිපත්තිය ද නිසා මේ සම්බන්ධතා පුළුල් වී ඇත.

විපක්ෂය විසින් ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය විවේචනය කරනු ලැබේ. ආණ්ඩුව අමෙරිකාව තරහ කරගත් බවත්; ඉන්දියාවට චණ්ඩි පාට් දමන බවත්; ඉස්ලාම් රටවල් විරසක කරගත් බවත් එම විවේචනවලින් කියැවේ. එහෙත් එම විවේචන හුදු දේශපාලන සටන් පාඨ මිස වැදගත් දේශපාලන විචාර නො වේ. අමෙරිකාවේ දෙබිඩි ප්‍රතිපත්ති සමඟ එකතුවීම අන්තර් ජාතික දේශපාලනය නො වේ. ඉන්දියාවට යටත්වීම ද කලාපීය දේශපාලනය නො වේ. ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර දේශපාලනික හෝ රාජ්‍යතාන්ත්‍රික හෝ සබඳතා බිඳ වැටී නැත. එය ඇති කිරීමට; එනම් දෙරට අතර විරසකයක් මතු කිරීමට ඇතැම් දේශපාලන ව්‍යාපාර වලට වුවමනා වී තිබේ.

ඉස්ලාම් රටවල් හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වය මහින්ද රාජපක්ෂ මහතා නිසා තවදුරටත් වර්ධනය විය. එම රටවල් හා ශ්‍රී ලංකාව අතර අස්සන් තැබුණු ද්විපාර්ශ්වික ගිවිසුම් ඊට සාක්ෂ්‍ය දරනු ඇත. ඉස්ලාම් රටවල් අතර මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ බලවත් පිළිගැනීමකි. දීර්ඝ කාලයක් තිස්සේ පලස්තීන ප්‍රශ්නය වෙනුවෙන් ක්‍රියාකාරීව මැදිහත් වූ මහින්ද රාජපක්ෂ මහතාට එබඳු පිළිගැනීමක් පැවැතීම අරුමයක් ද නො වේ.

අමෙරිකාවට “හෙම්බිරිස්සාව“ නම්; අපට නියුමෝනියාව යැයි කියූ කාලයක් තිබිණි. එදා අපගේ ජාතික ආහාරය වූයේ ඇමෙරිකාවේ නිෂ්පාදිත පාන් පිටි ය. පාන් පිටි සංස්කෘතිය උඩු-යටිකුරු කරන්නට මේ ආණ්ඩුව සමත් විය. අපට දැන් සහල් සංස්කෘතියක් තිබේ. එය ගොවියාත් ආරක්ෂා කරගෙන පුරවැසියාත් ආරක්ෂා කරයි. මෙබඳු වෙනසක් රට තුළ ඇති වූයේ බටහිරට හිස නො නමන ස්වාධීන පාලකයකු ශ්‍රී ලංකාවේ නායකත්වයට පත්වූ ඬසා ය. එම පාලකයා අපට ලබා දුන් ප්‍රධාන ත්‍යාගය වන්නේ ත්‍රස්තවාදය පරාජය කිරීම ය.

යුද්ධයෙන් පසු ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශීඝ්‍ර වර්ධනයකට ලක් වී ඇත. අප ගේ වාර්ෂික ආර්ථික වෘද්ධිය 6.4% කි. මේ තත්ත්වය දිගට ම පවත්වා ගැනීම සඳහා අන්තර් ජාතික සහයෝගය පැවැතිය යුතු මෙන්ම විදේශීය ඇඟිලි ගැසීම් ද නවතා ගත යුතු ය. එය තනි රාජ්‍යයකට කළ නො හැකි බව පිළිගත් දේශපාලන යථාර්ථයෙකි. මෙහි දී අපට ඇති හොඳම සාධකය ඉස්ලාම් රාජ්‍යයන් ය. ඉස්ලාම් රාජ්‍යයන් හා ශ්‍රී ලංකාව අතර සබඳතා මේ ආණ්ඩුව යටතේ තවදුරටත් පුළුල් වන බව අපගේ විශ්වාසය වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා