මුද්‍රණය සඳහා

 
විදුලිය පිරිමැස්ම ජනතාවගේ පරම වගකීමක්

විදුලිය පිරිමැස්ම ජනතාවගේ පරම වගකීමක්

අවසානයේ විදුලි බිල සියයට හැටකින් වැඩි කර තිබේ. මෑත ඉතිහාසයේ දී කිසිම දෙයක් අඩු වූ බව වාර්තා වූයේ නැත. ඒ නිසා ජනතාව කිසිම දෙයක් අඩු කරන්නට යෝජනා කරන්නේ ද නැත.

භාණ්ඩ මිල වැඩි කිරීමේ ඉතිහාසය අප කියවන්නේ ඩඩ්ලි සේනානායකගේ 1952 එජාප ආණ්ඩු කාලයේ සිටය. එදා හාල් සේරුවක මිල සත 25කි. හිටිහැටියේ එම මිල සත 75 දක්වා තුන් ගුණයකින් වැඩි කළේය. ධනපතින්ගේ පශ්චිම භාගය පිස දමන්නට ටිෂූ කඩදාසි පිටරටින් ගෙන්වන්නට හාල් සේරුවේ මිල සත 75 දක්වා වැඩි කළ බව විපක්ෂය ආණ්ඩුවට චෝදනා කළහ. ඓතිහාසික 1953 හර්තාලය පැන නැගුණේ ද හාල් සේරුව මුල් කර ගෙනය.

භාණ්ඩ මිල වැඩි කිරීමට එරෙහිව එවැනි විරෝධයක් මතු වූ ප්‍රථම අවස්ථාවද එයයි. ලංකා සම සමාජ පක්ෂය සහ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය හර්තාලයට මූලිකව ක්‍රියා කළේය. දුම්රිය නැවතුණේ රේල් පීලි පළින් පළ ගැලවූ නිසාය. ප්‍රවාහන සේවා ඇනහිටියේ මහ දැවැන්ත ගස් පාර හරහා වැටුණු නිසාය. එක්සත් ජාතික පක්ෂ නායක ඩඩ්ලි සේනානායක වරායේ ඈත නතර කර තිබූ නැවකට ගොස් සැඟවූණේ ද හර්තාලයට බයේ ය. ඇමැති මණ්ඩල රැස්වීම ප්‍රථමවරට එම නැවේ පැවැත්වූවේ ද හර්තාලය නිසාය.

1956 ජනතා ජයග්‍රහණයට හේතු වූයේත්, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාට ජනතා අගමැතිකම ලැබුණේත් එම හර්තාලයේ බලපෑම් නිසා බව ලංකා සම සමාජ පක්ෂය කියා සිටියේය. කෙසේ හෝ 1970 පිහිටවූ සමඟි පෙරමුණ රජය බිඳ දැමීමට දක්ෂිණාංශිකයන්ට හැකිවූයේ ද ලංකා සමසමාජ පක්ෂය ආණ්ඩුවෙන් ඉවත් කිරීමත් සමඟය. හාල් සේරුව වැඩි කිරීම ඉතා දුරට ගියේ ඒ ආකාරයෙනි.

විදුලිය බිල වැඩි කිරීමත් ඕනෑවට වඩා දුර ගිය ප්‍රශ්නයක් බවට පත්කර ගත්තේ මාධ්‍ය වාර්තා නිසා බව චෝදනාවක් වශයෙන් නොව යථාර්ථයක් සේ ගෙනහැර දැක්විය යුතුය. විදුලිය නිෂ්පාදනයට යන වියදමට වඩා හත් අට ගුණයකින් අඩුවට විදුලිය දෙන බව ආණ්ඩුව කියයි. විදුලිය නිෂ්පාදනයේ සැපයීමේ මිල පරතරය රුපියල් විස්සටත් වැඩිය. පාඩු ලබා විදුලිය සපයන ලෙස විදුලි පාරිභෝගිකයා කිසි විටෙකත් කියා නැත.

කෙසේ හෝ විදුලි බිල අල්ලාගෙන මුද්‍රිත මාධ්‍ය එක දිගට ප්‍රවෘත්ති පළ කළේය.

ජනතාව රටේ ඉදිරි ගමනට සහ සංවර්ධනයට ඕනෑම කැප කිරීමක් කරන්නට සූදානමින් සිටිති. ඒ නිසා භාණ්ඩ මිල වැඩි වීම උපේක්ෂා සහගතව උසුලති. හෙට අනිද්දා බස් ගාස්තුවද වැඩි කරනු ඇත. බස් ගාස්තු වැඩි කරන්නට කලින් ගැමුණු විජේරත්නලාගේ බයිලා අසන්නට ජනතාව කැමැති නැත. බස් ගාස්තු වැඩි කරන්නේ ගැමුණු විජේරත්නලාගේ බයිලා නිසා නොවේ. ගාස්තු වැඩි නොකර බස් සේවය පවත්වා ගෙන යා නොහැකි නිසා විය හැකිය. ඒ නිසා ප්‍රවාහන සේවා භාර ඇමැතිවරයා කළ යුත්තේ ජනතාවට යථාර්ථය කියා දී සාධාරණ ලෙස ක්‍රියා මාර්ගයක් ගැනීමය. එසේ නැතිව බස් සමාගම් අයිතිකාරයන්ට මාධ්‍ය හමු පවත්වා වීරයන් වීමට ඉඩදීම ජනතාවට ඔරොත්තු දෙන්නේ නැත.

ලෝකයේ ප්‍රථම අගමැතිනිය

ලෝකයේ ප්‍රථම කාන්තා අගමැති පදවියට පත්වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ හැත්තෑ තුන් වන ජන්ම දිනය පසුගිය බදාදාට යෙදී තිබුණි. ඒ ශ්‍රේෂ්ඨ චරිතය ගැන මෙම සටහන තබන්නේ ශ්‍රී ලංකා දේශපාලනයේ ශ්‍රේෂ්ඨ ස්ථානයක් ඇයට හිමිවන බැවිනි.

දක්ෂිණාංශක හා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ඝාතනය කරද්දී ඔහුගේ බිරිය සිරිමාවෝ මැතිනිය ගෘහණියක් ලෙස සැමියාගේ දේශපාලන කටයුතුවලට සම්බන්ධ නොවී නිහඬ චරිතයක් බවට පත්වී තිබුණි. එහෙත් තම සැමියාගේ දේශපාලන ගමන් මඟ මේ තරම් ඉක්මණින් ඇනහිටිනු ඇතැයි කිසිවකු සිතුවේ නැත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගිලිහුණු ධජය අත දරන්නැයි ඇය වෙත කළ ඉල්ලීම ඇය එක්වර පිළිගත්තේ නැත.

එහෙත් තම සැමියා පසුපස ගමන් කළ ජනතාව වෙනුවෙන් කළ හැකි එකම කාර්ය පක්ෂයේ නායකත්වය භාර ගැනීම බව සිරිමාවෝ මැතිනියට ඒත්තු යාමද රටේ වාසනාවට සිදුවූවකි.

ඇය උත්තර මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීවරියක වී අගමැතිකම භාර ගනිද්දී හැමදාමත් හැමදේටම විරුද්ධ වන එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයෝ කුණු කතා කියමින් ඇයට අපහාස කළා අපට මතකය. එහෙත් ඇය පසුබට වූයේ නැත. පක්ෂ නායකත්වය භාර ගැනීම අභියෝගයකට වඩා ජනතා අපේක්ෂා මල්ඵල ගැන්වීම ලෙස ඇය සිතුවාය.

ලෝකයේ ප්‍රථම කාන්තා අගමැති වශයෙන් ඇය අභියෝග රැසකට මුහුණ දුන්නේ දේශපාලනයට ආධුනිකයකු හැටියට නොවේ.

පළපුරුදු කෘතහස්ත දේශපාලනඥයකු හැටියටය. ඉන්දියානු වතු කම්කරුවන්ගේ පුරවැසි භාරය වෙනුවෙන් සිරිමා ශාස්ත්‍රී ගිවිසුම අස්සන් කිරීමෙන් ඇය විදේශ සබඳතා ඉහළින්ම වර්ධනය කර ගත්තාය. නොබැඳි සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම තවත් ජයග්‍රහණයකි.

1971 ජවිපෙ කැරැල්ලට මුහුණ දී තරුණ පෙළ පුනරුත්ථාපනය ඇය ඉටුකළ තවත් සුවිශේෂී කාර්යභාරයකි. මේ රටේ අධිරාජ්‍ය විරෝධී සටනට පණ දුන් වාමාංශිකයන් සමඟ එක්වී රට තුළ ගෙන ගිය පාලනයද ඇය ලැබූ ජයග්‍රහණයකි. ආචාර්ය ඇන්. ඇම්. කොල්වින්, ලෙස්ලි, පීටර් කේනමන් වැනි අය ඇමැති මණ්ඩලයට ගෙන ඔවුන්ගෙන් වැඩක් ගැනීම ඇය ලබා ගත් තවත් අතිවිශිෂ්ට ජයග්‍රහණයකි.

සෝල්බරි ව්‍යවස්ථාව වෙනුවට අපට ආවේනික වූ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ව්‍යවස්ථාවක් නිර්මාණය කොට අප රටට දේශපාලන නිදහස උදාකරදීම ඇයගේ තවත් අතිවිශිෂ්ට කාර්යයකි.

එම කාර්ය සඳහා අධිරාජ්‍ය විරෝධී සමයේ සිටි ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා යොදා ගැනීමද අතිශය වැදගත් දේශපාලන සංසිද්ධියකි.

දේශපාලනය, මත්පැන් අවුරුද්දට එපා

අලුත් අවුරුද්දේ කනගාටු දායක සිද්ධීවලත් අඩුවක් නැත. එම සිද්ධි කිසිම අයුරකින් දේශපාලනයට සම්බන්ධ නැත.

ඒ අතරතුර පොලිසියට අතපය දික්කරන - පොලිස් රාජකාරියට බාධා කරන දේශපාලනඥයන් ද නැත්තේ නොවේ. අවුරුදු දා මරණ 11 ක් ගැන වාර්තා වී තිබේ. හැම අවුරුද්දකදීම මරණ සිදුවන්නේ කිසිදු සාධාරණ හෝ වැදගත් හෝ හේතුවක් නැතිවය. සමහරු මත්පැන් බී ඔළුව අවුල් කරගෙන සණ්ඩුවලට පැටලෙති. ඒවා කෙළවර වන්නේ වටිනා ජීවිත විනාශ කිරීමෙනි.

තවත් අය බීමතින් රිය පදවා මිනිස් ජීවිත නිකරුණේ බිල්ලට දෙති. තවත් අය සිහිය විකල් කරගෙන රතිඤ්ඤා දල්වා තුවාල ලබා රෝහල් ගත වෙති. කවදාවත් රතිඤ්ඤයක් දල්වන්නේ නැති එකා මත්පැන් ටිකක් කටේ දාගත්තාට පසු රතිඤ්ඤා දල්වන්නට යති.

වෙරිමරගාතේ ඒ මිනිහා කරන්නේ ගිනි පෙනෙල්ලෙන් රතිඤ්ඤාව දල්වා රතිඤ්ඤා අතේ තබාගෙන ගිනිපෙනෙල්ල විසි කිරීමය. අන්තිමට අතේ ඇඟිලි නැතිව රෝහල් යති.

මේ තත්ත්වය මුළුමනින්ම නැති විය යුතුය. අලුත් අවුරුදු දාට වෙනදාටත් වඩා හොඳ සිහියෙන් සිටිය යුතුය. අවුරුදු දිනේ ජීවිත විනාශ කිරීම මුළුමනින්ම නතර විය යුතුය. හොඳ සිහියෙන් හැමදේම කළොත් අලුත් අවුරුද්ද සුබම සුබ වනු ඇත. එසේ නැතිව මත්පැන් තොල ගාගෙන වීරයන් වෙන්නට දඟලන අයට වන්නේ අවුරුදු දිනෙත් රෝහල් ඇඳක වැතිරී කෙඳිරි ගාන්නටය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]