තවත් පිපිරීම් වැලකින් අමෙරිකාව දෙදරයි

බොස්ටන් ප්‍රහාරයේ උණුසුම යාමටත් පෙර

තවත් පිපිරීම් වැලකින් අමෙරිකාව දෙදරයි

පිපිරුමෙන් 70ක් මරුට: තවත් සිය ගණනකට තුවාල

ඇමෝනියා වායුවෙන් වැකෝ නගරය වැසී යයි

අසල වූ ගොඩනැඟිලි රැසක් ගිනි බත්

අමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ වැකෝ නගරයේ රසායනික පොහොර කම්හලක පෙරේදා රාත්‍රියේ ඇති වු පිපිරුමකින් පුද්ගලයන් 60ත් 70ත් අතර පිරිසක් ජීවිතක්

ෂයට පත්ව තවත් සිය ගණනක් තුවාල ලැබූහ. පිපිරුමේ බලවත්කම නිසාම යාබද ගොඩනැඟිලි රැසක් ගිනිගෙන ඇති බවත් බලධාරීහු ප්‍රකාශ කරති.

කම්හලේ එක් රසායන ද්‍රව්‍ය ටැංකියක් ගිනි ගෙන ඇති අතර දෙවැන්නක් ද ගිනි දලුවලින් වෙලී යනු ඇතැයි බිය පළව තිබේ. වැකෝ නගරයේ ගිනි නිවුම් හමුදා සහකාර ප්‍රධානී ඩොන් යීගර් පවසා ඇත්තේ වෙස්ට් ෆර්ටිලයිසර් කර්මාන්ත ශාලාවේ නිර්ජලීය ඇමෝනියා පිපිරුමක් සිදුව ඇති බවය. එහෙත් පිපිරුමට හේතුව අනාවරණය වී නැත.

පිපිරුමත් සමඟම යාබද බල ප්‍රදේශවල ගිනි නිවුම් ඒකක කීපයක් ම අදාළ ස්ථානයට ළඟාවී ඇති අතර එහි දී ඇති වූ දෙවැනි පිපිරුමකින් ගිනි භටයන් කීපදෙනකු ද තුවාල ලබා ඇත.  පිපිරුම කෙතරම් බලවත් ද යත් අසල පිහිටි ගොඩනැඟිලි කීපයක්ම කඩා වැටී තවත් සමහරක් ගිනිගෙන ඇත.

සාත්තු නිවාසයක්, නේවාසික මහල් නිවාස සංකීර්ණයක් හා පාසලක් ඒ අතර පවතින බව සඳහන්ව තිබේ. මේවායේ සිටි පුද්ගලයන් රැසක් වහා ඉවත් කර ආරක්ෂක ස්ථානවලට ගෙන ගිය බව සඳහන්ය. එක්‍ ගොඩනැඟිල්ලක හිර වී සිටි පුද්ගලයන් රැසක් බේරා ගැනීමට ගිනි භටයන් යොමුව සිටි බව ද පැවැසේ.

මෙහිදි තුවාල ලත් අය වහා ප්‍රාදේශීය රෝහල් කරා ගෙන ගොස් ඇත. 100දෙනකු පමණ රෝහල් ගත කර තිබේ. මිය ගිය සංඛ්‍යාව වැ‍ඩි විය හැකි බව ද ප්‍රකාශ වී තිබේ.

මේ පිපිරුම සිදුව ඇත්තේ ඉකුත් සඳුදා බොස්ටන් මැරතන් තරගයේ දී සිදු වූ බෝම්බ පිපිරුම හා අමෙරිකා ජනාධිපතිට හා සෙනේට් සභිකයකුට වස විස අඩංගු ලිපි ලැබීමේ සිද්ධිවලින් අමෙරිකාව ම සලිතව තිබියදී ය.

වැකෝ නගරයේ සන්නද්ධ ආගමික කණ්ඩායමක් හා මධ්‍ය රජයේ බලධාරීන් සමඟ දරුණු ගැටුමක් ඇති වු ''වැකෝ වටලීමේ' 20වැනි සංවත්සරය අප්‍රේල් 19වැනි දාට යෙදී ඇත.

අදාළ සිද්ධයේ දී දින 51ක් තිස්සේ පැවැති මතභේදාත්මක වාතාවරණය පුපුරායමින් දෙපාර්ශ්වය අතර යුද්ධයක් පැන නැඟී ඇති අතර පුද්ගලයන් රැසක් ද මිය‍ ගොස් තිබිණි.

ටෙක්සාස් රසායනික පොහොර කම්හලේ පිපිරුම න්‍යෂ්ටික බෝම්බ පිපිරුමකට සමාන බව වෙස්ට් නගරයේ නගරාධිපති ටොමි මුස්කා පවසා තිබේ.

භූ කම් පන විද්‍යාඥයන් පවසා ඇත්තේ මේ පිපිරුම රිච්ටර් ඒකකයේ 2.1ක ප්‍රබලත්වයකින් යුක්ත බවය. කෙසේවෙතත් නිරික්ෂකයන් දොරින් දොර යමින් පිපිරුමෙන් විපතට පත්වූවන් සිටින්නේදැයි සෝදිසි කරන බව ටෙක්සාස් මහජන ආරක්ෂක දෙපාර්තමේන්තු ප්‍රකාශක එල් විල්සන් පවසා ඇත.

පිපිරුම සිදුව ඇත්තේ එරට වේලාවෙන් රාත්‍රි 8ට පමණය. ඉන් නැඟුණු නිර්ජලීය ඇමෝනියා වායුව විස සහිත බැවින් එය වැකෝ නග‍රය මත රැඳී පවතිනු ඇතැයි බලධාරීහු බිය පළ කරති. කෙසේවෙතත් පූර්වාරක්ෂක පියවරක් වශයෙන් නගරයේ සමහර ප්‍රදේශවලට සැපයෙන ගෑස් හා විදුලි බලය විසන්ධි කිරීමට ඔවුහු පියවර ගත්හ.

මේ අතර නිවාස කඩා වැටීමෙන් හා ගිනි ගැනීමෙන් උන්හිටිතැන් අහිමිව ගිය පුද්ගලයන් රැකවරණ ස්ථාන කරා යොමු කර ඇති අතර හදිසි ප්‍රතිචාර වාහන පෙළක් ම සීරුවෙන් තබා ඇති බව සඳහන්ව තිබේ.

රසායනික ද්‍රව්‍ය පිරි දෙවැනි ‍ටැංකියක් ද පුපුරා යනු ඇතැයි සැක කෙරනෙ අතර එසේ වූවොත් තවත් නිවාස 80ක් පමණ බිමට සමතලා වීමෙන් මහා ව්‍යසනයක් ඇතිවනු ඇතැයි ද බිය පලව තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා