කිසිම වැඩකට ඇඟිල්ල දිගු නොවන අයුරින් සේවය කරන්න

කිසිම වැඩකට ඇඟිල්ල දිගු නොවන අයුරින් සේවය කරන්න

ජනාධිපති ලේකම් කාර්යාලයේ අලුත් අවුරුදු උළෙලේ දී ජනපති කියයි

ධනුෂ්ක ගොඩකුඹුර සහ මහින්ද අලුත්ගෙදරඇඟිල්ල දිගු කර චෝදනා කිරීමට කිසිවකුටත් නොහැකි වන අන්දමට ජනතාව වෙනුවෙන් නිසි ලෙස සේවය කිරීම ජනාධිපති කාර්යාලයේ සේවය කරන සැමගේ යුතුකම බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ඇතැමුන් ජනාධිපති කාර්යාලය යම් යම් ක්‍රියාවලට භාවිතා කරන බව පැවසූ ජනාධිපතිවරයා දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒවාට හසු නොවී කටයුතු කිරීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ඊයේ (18) පැවැති උත්සවයකට එක්වෙමිනි.

අලුත් අවුරුද්දෙන් පසු ජනාධිපතිවරයා කාර්යාලයට පැමිණීමේ සම්ප්‍රදාය අනුව සෑම වසරක ම මෙම උ‍ත්සවය සංවිධාන කෙරේ.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික ආශිර්වාද මධ්‍යයේ උත්සවය ආරම්භ කෙරුණු අතර ජනාධිපතිවරයා සියලු සේවක සේවිකාවන් වෙත අලුත් අවුරුද්දට සුබ පැතුවේය.

තම තමන්ගේ අතින් ඉටු විය යුතු යුතුකම නිසි ලෙස ඉටු කිරීමට නව වසරේ අධිෂ්ඨාන කර ගන්නා ලෙස ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය.

ඇමැතිවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු නිලධාරීහූ රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා