මුද්‍රණය සඳහා

 
හොර පිරිවෙන් ගුරා රිමාන්ඩ්

හොර පිරිවෙන් ගුරා රිමාන්ඩ්

බොරු ලේඛනවලින් මාස 10ක් වැඩ කරලා

ව්‍යාජ ලේඛන සකස් කරමින් පොල්පිතිගම පිරිවෙනක ගුරුවරයකු ලෙස මාස දහයක කාලයක් සේවය කර රජයේ වැටුප් ලබා ගැනිමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු මේ මස 30වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වැඩ බලන අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රානී පතිරණ මහත්මිය ඊයේ(18) නියෝග කළාය. මෙසේ රක්ෂිතබන්ධනාගාර ගත කළේ අලව්ව පදිංචි පිටබැද්දලාගේ ගෙදර විජේරත්න නැමැත්තාය.

විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ වැන්දඹු හා විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂක මහේෂා කොඩිප්පිලි ආරච්චි මහත්මිය මෙම සිද්ධියේ පැමිණිලිකාරිය විය.

සැකකරු 2006/02 වන මස සිට 2006/06වැනි මස දක්වා පෙතියාගම පොල්පෙතිගම කිරියාගම ශ්‍රි සුමංගල පිරිවෙනේ මෙසේ ගුරුවරයකු ලෙස සේවය කර තිබේ .

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර අන්අයකු ලෙස පිරිවෙනේ සේවය කරමින් රජයේ මුදල් වැටුප් වශයෙන් ලබා ගත් බවට රහස් පොලිසිය සැකකරුට එරෙහින චෝදනා ගොනු කොට තිබිණි.

2012 මහනුවර ප්‍රදේශයේ විවාහ ව සිටි සැකකරු සිය විශ්‍රාම වැටුප් ලබා ගැනීමට ඉදිරිපත් කර ඇති විවාහ සහතිකය 2009 රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති බවට කරුණු තහවුරු වි ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්විය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන රහස් පොලිසිය සැකකරු තවත් මෙවැනි පිරිවෙන්වල ව්‍යජ ලේඛන සකස් කරමින් සේවයේ යෙදි ඇත්ද යන්න සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන බව අධිකරණයට දැන්වීය.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]