ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති අමිත කුමාර ගමගේ

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපති අමිත කුමාර ගමගේ

පරිසර හා පුනර්ජනනීය බලශක්ති ඇමැති සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නව සභාපතිවරයා ලෙස අමිත කුමාර ගමගේ මහතා පත් කර තිබේ.

අමිත ගමගේ මහතා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ 15 වන සභාපතිවරයා ලෙස ප්‍රධාන කාර්යාලයේ දී පෙරේදා (17) සිය ධූරයේ වැඩ භාරගත්තේය.

ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය රංජනී ගමගේ මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ගමගේ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. වෘත්තීයෙන් ගණකාධිකාරිවරයෙක් හෙතෙම විගනණය හා සම්බන්ධ සුප්‍රසිද්ධ KPMG ආයතනයේ (Ford Rhodes Thornton & Company) හා එංගලන්තයේ මෙරාලිස් ගණකාධිකරණ ආයතනයේ ගණකාධිකාරිවරයෙකු ලෙස කටයුතු කළේය. ඒ මහතා වෙස්ටන් සිඩ්නි විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධිධරයෙකු වන අතර දැනට ආචාර්ය උපාධිය හදාරමින් සිටී.

මැණික් හඳුනාගැනීම, තක්සේරු කිරීම, සහ මැණික් කැපීම පිළිබඳව ඩිප්ලෝමා පාඨමාලා හදාරා ඇති ඒ මහතා හොඳම මැණික් කැපීම පිළිබඳව සම්මානයට පාත්‍ර වූ අතර ස්වර්ණාභරණ නිෂ්පාදනය හා මෝස්තර නිර්මාණය පිළිබඳව කාර්මික විද්‍යාලයේ පාඨමාලාවක්ද එංගලන්තයේ මැණික් කර්මාන්තය පිළිබඳ FGA ඩිප්ලෝමාව ද හදාරා ඇත.

අමිත ගමගේ මහතා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ඇමරිකාව හා ජර්මනිය එක්ව කරන මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයට සම්බන්ධ ප්‍රධාන පෙළේ ආයතන දෙකක කළමනාකාර අධ්‍යක්ෂ ලෙස ද කටයුතු කර ඇත.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ හිටපු සභාපති ප්‍රසාද් ගල්හේන මහතා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපතිවරයා ලෙස පත්ව සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා