පාරිභෝගිකයාට ගැටලු මතු වුවහොත් විදුලි ගාස්තු ගැන යළි සලකා බලනවාසිතාරා සේනානි

පාරිභෝගිකයාට ගැටලු මතු වුවහොත් විදුලි ගාස්තු ගැන යළි සලකා බලනවා

විදුලි ගාස්තු සංශෝධනය හේතුවෙන් පාරිභෝගිකයාට යම් ගැටලුවක් මතු වුවහොත් පසු විමසුමක් සිදුකර ඒ සම්බන්ධයෙන් යළි සළකා බැලීමට කටයුතු කරන බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

සහනයක් ලබාදීමට හැකි නම් එය ලබාදීමට මුලින්ම ඉදිරිපත් වන්නේ රජය බව කී ඇමැතිවරයා එසේ කළ නොහැකි අවස්ථාවක කළ හැකි කිසිවක් නැතැයිද කීය. ඇමැති මණ්ඩල තීරණ දැනුම්දීම සඳහා ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (18) පැවැති මාධ්‍ය හමුවේදී විදුලි ගාස්තු වැඩිකිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් මතු කරන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

වත්මන් රජය ක්‍රියාත්මක කොට ඇති සැමට විදුලිය සංකල්පය යටතේ විදුලිය පරිභෝගිකයන් සංඛ්‍යාව සියයට 90 දක්වා වැඩිකර ඇති බව කී ඇමැතිවරයා, වැඩිවන ඉල්ලුම සපුරාලීමට අවශ්‍ය අතිරික්ත විදුලිය උත්පාදනය කිරීමට අවශ්‍යව ඇති බවත්, ඒ සඳහා විශාල මුදලක් වැය කොට දැවිතෙල් යොදා ගැනීමට සිදුවීම නිසා විදුලි බිලේ වෙනසක් සිදු නොකොට ස්ථාවර අගයක පවත්වා ගෙන යාම අසීරුවී ඇති බවත් අවධාරණය කළේය. ගල් අඟුරු බලාගාරය හැකි ඉක්මනින් ආරම්භ කරන තෙක් ඇතිවන අසීරුතා ඉවසා සිටීමට සිදුවන බවත් කීය.

රටේ සංවර්ධනය අමතක කොට සහනාධාර මත යැපෙන්න පත්කොට රට ආගාධයට යැවීම රජයට කිසිසේත් කළ නොහැකි බවද ඇමැතිවරයා මෙහිදී අවධාරණය කළේය.

ආසියා කලාපයේ සෑම රටක්ම පාහේ විදුලිය කප්පාදු කිරීම සිදු කළද ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදු නොකිරීමට රජය තීන්දුවක් ගෙන තිබෙන බව කී ඇමැතිවරයා විදුලිය ගාස්තු වැඩිවීම ගැන පමණක් කතා නොකොට විදුලිය අරපිරිමැසීම සම්බන්ධයෙන් සිතා බලා කටයුතු කිරීමට කාලය එළැඹ ඇතැයිද කීය.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ආරියරත්න ඇතුගල මහතා ද මේ අවස්ථාවට සහභාගී විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා