ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට කිසිම හැකියාවක් නැහැ

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට කිසිම හැකියාවක් නැහැ

රජය අවධාරණය කරයි

ඇතැම් සංවිධාන සහ කණ්ඩායම් කුමන යෝජනා ඉදිරිපත් කළද ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත් කිරීමට කිසිවිටෙකත් හැකියාවක් නැතැයි රජය අවධාරණය කරයි.

පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රබල සාමාජික රටක් වශයෙන් මේ දක්වා ශ්‍රී ලංකාව එම සංවිධානයේ මූලධර්මයන්ට අනුව කටයුතුකර තිබෙන බවද එහි සියලු සාමාජික රටවල් සමඟ මිත්‍රශීලීව කටයුතු කරන බවද විදේශ කටයුතු

නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා මහතා දිනමිණ ට පැවැසීය. කිසිඳු හරයක් නොමැතිව හුදෙක්ම තම පටු පරමාර්ථයන් ඉටුකර ගැනීම වෙනුවෙන් විවිධ යෝජනා ඉදිරිපත් කරන බව පෙන්වාදුන් නියෝජ්‍ය ඇමැතිවරයා ඒවායේ කිසිඳු පදනමක් නොමැති බවද ශ්‍රී ලංකාවට එරෙහිව කිසිඳු බලපෑමක් කළ නොහැකි බවද පෙන්වා දුන්නේය.

දකුණු අප්‍රිකාවේ පැවති සමුළුවකදී පොදු රාජ්‍ය මණ්ඩලයේ ශ්‍රී ලංකා සාමාජිකත්වය අත්හිටවිය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් කර තිබෙන අතර ඒ සඳහා කණ්ඩායම් තුනක් යෝජනා ඉදිරිපත්කර තිබෙන බවද පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥවරුන්ගේ සංගමය, පොදු රාජ්‍ය මණ්ඩලීය විනිසුරුවරුන්ගේ සංගමය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය නීති අධ්‍යාපන සංගමය ඒ අතර වන බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ මුලධර්මවලට පටහැනිව කටයුතු කරන බැවින් සාමාජිකත්වය තහනම් කළ යුතු බවට මෙහිදී යෝජනාවක් ඉදිරිපත්කර තිබෙන අතර එය පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ රැස්වීමේදී සලකා බැලිය යුතු බවද සඳහන්කර ඇත. ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලයේ රාජ්‍ය නායකයන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීම තුලින් පොදු රාජ්‍ය මණ්ඩලයේ කීර්තිනාමයට හානිවන බවටද එම නීතී සංගම් සදහන්කර තිබේ.

පොදු රාජ්‍ය මණ්ඩලයේ ඇමතිවරුන්ගේ රැස්වීම මේ මස 26 වෙනිදා ලන්ඩන් නුවරදී පැවැත්වීමට නියමිතය.

කෙසේ වුවද විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති නියොමාල් පෙරේරා මහතා සදහන් කළේ මේ වසරේ නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සඳහා සියල්ල සූදානම් බවත් එය ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන්නේ එම මණ්ඩලයේ සාමාජික රටවල රාජ්‍ය නායකයන්ගේ ‍තීරණයකට අනුව බවත්ය.

මීට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් එම අමාත්‍ය මණ්ඩල න්‍යාය පත්‍රයට ඇතුළත්ව නොතිබූ අතර මෙම නීති සමුළුවේ යෝජනා සම්මත කරගැනීම රාජතාන්ත්‍රික ක්‍රියාවක් නොවන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා