මුද්‍රණය සඳහා

 
ශ්‍රී ලංකාවේ අයවැය හිඟය අවම මට්ටමකට

ශ්‍රී ලංකාවේ අයවැය හිඟය අවම මට්ටමකට

එක් එක් ක්ෂේත්‍රයන් හරහා කැපී පෙනෙන ආර්ථීක වර්ධනයක් ළඟා කර ගනිමින් දළ දේශීය නිෂ්පාදිතයට අනුව ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැය හිඟය අවම මට්ටමක් කරා ළඟා වෙමින් තිබෙන බව ආසියා පැසිෆික් ආර්ථික සහ සමාජයීය සමීක්ෂණය අනාවරණය කරයි.

වාර්ෂීක අය වැය පරතරය අවම මට්ටමක් කරා ළඟා වීම බෙහෙවින්ම හිතකර තත්ත්වයක් වන බවද වියදම් පාලනය, ආදායම් එක්රැස් කිරීමේ ක්‍රම වැඩි දියුණු කිරීම සහ බදු පරිපාලනය ශක්තිමත් කිරීම ආදී කරුණු හේතුවෙන් ශ්‍රී ලංකාව මේ ජයග්‍රහණය ලබා තිබෙන බවද එම සමීක්ෂණය පෙන්වාදෙයි.

ආසියා පැසිෆික් ආර්ථික සහ සමාජයීය සමීක්ෂණය - 2013 විධායක සාරාංශය එළි දැක්වීම ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ දී ඊයේ (18) සිදුකෙරුණු අතර අදාළ වාර්තාව මඟින් මේ කරුණු අනාවරණය කර ඇත. මේ අතර එම වාර්තාව මඟින් පෙන්වා දෙන්නේ පසුගිය 2010 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.1ක්ව පැවැති ශ්‍රී ලංකාවේ අයවැය හිඟය 2011 වසර වනවිට සියයට 7.8 දක්වා ද 2012 වසර වනවිට සියයට 6.2 දක්වා ද පහත වැටී තිබෙන බවයි.

ශීඝ්‍ර වර්ධනයත් සමඟ ආර්ථික අනාරක්ෂිතබව ඉහළ ගොස් තිබෙන අතර ආසියා පැසිෆික් කලාපයේ බිලියනයකට අධික සේවක සංඛ්‍යාවක් අඩු වැටුප්, අඩු ප්‍රතිලාභ, රැකියා සුරක්ෂිතබවක් නොමැති සහ සේවකයන්ගේ මූලික අයිතිවාසිකම් අහිමි කෙරෙන දුෂ්කර සේවා තත්ත්වයන් වැනි ලක්ෂණවලින් යුතු රැකියා අවධානමකට මුහුණ දී සිටින කාලවකවානුවක ශ්‍රී ලංකාව මෙවැනි තත්ත්වයක් කරා ළඟාවීම බෙහෙවින්ම අගය කළයුතු බවද බැංකොක්හි ආසියා පැසිෆික් ආර්ථික සහ සමාජයීය සමීක්ෂණ කාර්යාලයේ නියෝජිත ආචාර්ය ශුවොජිත් බැනර්ජි මහතා සඳහන් කළේය.

පසුගිය 2010 - 2011 වර්ෂයන්හි ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට 8ක අගයක් ගෙන තිබූ බව සිහිපත් කළ ඒ මහතා සාර්ව ආර්ථික වර්ධනය, උතුරු හා නැඟෙනහිර පළාත්හි ආර්ථික ක්‍රියාවලිය පුළුල් වීම, විදේශ ඉල්ලුම ඉහළයාම ආදිය මෙවැනි වර්ධනයක් වෙනුවෙන් බලපා තිබෙන බවද පෙන්වා දුන්නේය.

මේ ආර්ථික වර්ධනය පසුගිය 2012 වසරේ මුල් කාර්තුව දක්වා අඛණ්ඩව පැවැතිය ද දෙවැනි කාර්තුවේ සිට එම වර්ධනය මධ්‍යස්ථ මට්ටමක් දක්වා පැමිණ තිබෙන බවද විශේෂයෙන්ම ගෝලීය ඉල්ලුමේ දුර්වලතාවන් හා දැඩි ප්‍රතිපත්ති හේතු කොටගෙන වසර පුරාම දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.2ක් දක්වා වර්ධනය වී තිබෙන බවද ආචාර්ය ශුවොජිත් බැනර්ජි මහතා ප්‍රකාශ කළේය.

මේ අතර 2013 වර්ෂය අවසන් වනවිට ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.5 දක්වා ඉහළ යනු ඇතැයි ආසියා පැසිෆික් ආර්ථික සහ සමාජයීය සමීක්ෂණ කාර්යාලයේ නියෝජිතවරයා විශ්වාසය පළබ කරයි. මෙරට මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීම ඊට හේතුව බවද හෙතෙම පෙන්වාදෙයි.

ඉන්දියාවට අමතරව ශ්‍රී ලංකාව, ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය සහ භූතානය යන රටවල ආර්ථික වර්ධනය මේ වසර අවසන් වනවිට සියයට 6කින් හෝ ඊට වැඩි අඟයකින් ඉහළ යනු ඇතැයි ද ආසියා පැසිෆික් ආර්ථික සහ සමාජයීය සමීක්ෂණය - 2013 විධායක සාරාංශ වාර්තාව විශ්වාසය පළ කරයි.

එක්සත් ජාතීන්ගේ ප්‍රවෘත්ති කේන්ද්‍රය සහ ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනය එක්ව ආසියා පැසිෆික් ආර්ථික සහ සමාජයීය සමීක්ෂණය - 2013 විධායක සාරාංශ වාර්තාව එළිදැක්වීම සිදුකෙරුණු අතර මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන්, ශ්‍රී ලංකා ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සමන් කැලේගම මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]