මුද්‍රණය සඳහා

 
ප්‍රධානතම ප්‍රිමියර් ලීග් ශූරතාවලිය ආරාධිත පාපන්දු තරගාවලියක් වෙයි

ප්‍රධානතම ප්‍රිමියර් ලීග් ශූරතාවලිය ආරාධිත පාපන්දු තරගාවලියක් වෙයි

මොරගස්මුල්ලෙන් විරෝධතාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ක්‍රීඩා සමාජ සහභාගීවන ඩයලොග් ප්‍රිමියර් ලීග් පාපන්දු ශූරතාවලිය මේ වසරේ සිට ආරාධිත තරගාවලියක් බවට පත්වෙයි.

නගර කිහිපයක කණ්ඩායම් කිහිපයක් අතරේ මෙතෙක් පැවැති ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය කොළඹින් පිට පළාත්වලට ව්‍යාප්ත කිරීමේ අරමුණින් මේ තීරණය ගත් බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පවසයි. 80 දශකයේ ආරම්භ වු ප්‍රිමියර් ලීග් ශූරතාව වැඩිම වාර ගණනක් කොළඹ පාපන්දු කණ්ඩායම් දිනා ඇති අතර මීගමුව නිගම්බු යුත් දෙවරක් හා කළුතර බ්ලුස්ටාර් එක්වරක් දිනා ඇත.

මෙවර තරගාවලි සැලසුම අනුව බේරුවල සුපර් සන්, කුරුණෑගල පෙලිකන්ස්, මාතර සිටි, අනුරාධපුර‍ සොලිඩ් හා නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් යන කණ්ඩායම්වලටද අවස්ථාව හිමිව තිබේ.

යුද, නාවික, ගුවන්, පොලිස් හා සිවිල් බලකාය වැනි ආරක්ෂ සේවා කණ්ඩායම්වලට අමතරව සෝන්ඩර්ස්, රත්නම්, රිනවුන්, නිව්යංග්ස්, බ්ලුස්ටාර්, දොන් බොස්කෝ, කළුතර පාක්, ජාවාලේන්, නිගම්බු යුත් හා කොළඹ ක්‍රීඩා සමාජය තරගාවලියට එක්වෙති.

ඩයලොග් ප්‍රිමියර් ලීග් ආරාධිත පාපන්දු තරගාවලියට කණ්ඩායම් 20ක් එක්වන අතර තරගාවලිය මැයි 4වැනිදා ආරම්භවීමට නියමිතය.

මේ අතර මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය මෙවර ප්‍රිමියර් ලීග් තරගාවලියට තෝරා නොගැනීම පිළිබඳ විරෝධය පළකර සිටී. මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය පළමු ‍පෙළ පාපන්දු ශූරතාවලියේ 'ඒ' කාණ්ඩයේ දෙවැනි ස්ථානය හා කොළඹ පාපන්දු ලීග් තරගාවලියේ දෙවැනි ස්ථානය දිනාගත් දක්ෂ කණ්ඩායමක් හෙයින් ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවස්ථාවක් හිමිවිය යුතු බව පෙන්වා දී ඇත.

මෙතෙක් පළමු පෙළ තරගාවලියට එක්වු කණ්ඩායම් 12ක් හා ජාවාලේන්, සිවිල් ආරක්ෂක කණ්ඩායම් එක්වීම අනුමත කළද අනෙක් කණ්ඩායම් 6ට වඩා මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය ඉදිරියෙන් සිටින බව සඳහන් කරයි. එහෙයින් තම කණ්ඩායමට අවස්ථාවක් සලසාදෙන ලෙස මොරගස්මුල්ල ක්‍රීඩා සමාජය ඉල්ලා ඇත.

මේ පිළිබඳව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මාධ්‍ය අධ්‍යක්ෂ රුක්මාල් පෙරේරා මහතාගෙන් විමසීමේදී පැවැසුවේ මොරගස්මුල්ල ක්‍රීඩා සමාජයට මේ වනවිටත් පිළිතුරු ලබාදී ඇති බවයි. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නව දර්ශනය අනුව ක්‍රීඩාව ගමට ගෙන යා යුතු හෙයින් පිල පළාත් නැගී එන කණ්ඩායම්වලට ආරාධනා කිරීමට සම්මේලනය පියවර ගෙන ඇතැයි ඒ මහතා පැවැසීය.

ප්‍රිමියර් ලීග් පාපන්දු ශූරතාව වසර 12කදී දිනාගැනීමට සෝන්ඩර්ස් පිල සමත්ව ඇති අතර රත්නම් ක්‍රීඩා සමාජය පස්වරක් ශූරතාවට හිමිකම් කීවේය. රිනවුන් වසර 4කදී හා නිගම්බු යුත් වසර 2කදී මේ ශූරතාව දිනා තිබේ.

වසර 2007 තරගාවලියේදී රත්නම් ක්‍රීඩා සමාජයේ කසුන් ජයසුරිය ගෝල් 24ක් ලබා වැඩිම ගෝල් ලාභියාගේ වාර්තාව පිහිටුවා ඇත.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]