මිෂ්රාගෙන් කඩුලු ත්‍රිත්වයක්

මිෂ්රාගෙන් කඩුලු ත්‍රිත්වයක්

කඩුලු ත්‍රිත්වයකට හිමිකම් කියමින් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ අමිට් මිෂ්රාගේ විශිෂ්ට පන්දු යැවීම හේතුවෙන් පුනේ වොරියර්ස් පිල පරදවා ලකුණු 11ක ජයක් හිමිකර ගැනීමට හයිද්‍රාබාද් පිලට හැකිවිය.

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දෙවැනි කඩුලු ත්‍රිත්වය ලෙස එය සටහන් විය.

පුනේහිදී පැවැති තගරයේදී ලකුණු 120ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය පුනේ කණ්ඩායම ඕවර 19ක් අවසානයේ ලකුණු 108කට දැවී ගියේය.

පුනේ ඉනිමේ ඕවර 18ක් අවසන් වනවිට කඩුලු 6කට ලකුණු 101ක් රැස්ක‍ර ගෙන සිටියේය.

19වැනි ඕවර ක්‍රියාත්මක කළ මිෂ්රා ඉතිරි කඩුලු 4ම දවාගනිමින් තම පිල ජයග්‍රහණය කරා රුගෙන ගියේය.

එම ඕවරයේ දෙවැනි පන්දුවේ නායක ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 20කට දැවී ගිය අතර අවසන් පන්දු තුනේදී කඩුලු තුනක් දවාලීමට මිෂ්රා සමත්විය. ඔහුට අනගි සහයක් ලබාදුන් තිසර පෙරේරා ලකුණු 20කට කඩුලු 3ක් දවාලීය.

තරගයේ වීරයා සම්මානය හිමිකරගත් මිෂ්රා පිත්තෙන්ද ලකුණු 30ක් රැස් කළ අතර ඊට පන්දු 24කදී හතරේ පහර 3ක් ඇතුළත් විය.

හයිද්‍රාබාද්-119/8 (ඕවර 20) බිප්ලාබ් සමන්ත්‍රී 37, අමිට් මිෂ්රා 30 (බුවනෙස්වර් කුමාර් 18/3)

පුනේ-108 (ඕවර 19) රොබින් උත්තප්පා 22 (අමිට් මිෂ්රා 19/4, තිසර පෙරේරා 20/3)

රාජස්ථාන් රෝයල් පෙරමුණට

මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම ලකුණු 87කින් පරාජයට පත්කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවැති තරග 5න් 4ක ජය හිමිකර ගනිමින් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට රාජස්ථාන් රෝයල් පිල සමත්ව සිටී.

කාසියේ වාසිය දිනාගත් රාජස්ථාන් පිල ඕවර 20 අවසානයේ කඩුලු 3කට ලකුණු 179ක් රැස් කළේය. අජින්කා රහනේ පන්දු 54කදී හතරේ පහර 8ක් සහ එක් හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 68ක් සහ ඩිෂාන්ට් යාග්නික් ලකුණු 34ක් වාර්තා කළහ.

පිළිතුරු ලෙස මුබ්බායි ක්‍රීඩකයන්ට ඕවර 18.2කදී සියල්ලන් දැවී ලබාගත හැකිවුයේ ලකුණු 92ක් පමණි. තරගයේ වීරයා ලෙස අජින්කා රහනේ නම් කෙරිණි.

රාජස්ථාන්-179/3 (ඕවර 20) අජින්කා රහනේ නොදැවී 68, ඩිෂාන්ට් යාග්නික් 34

මුම්බායි-92 (ඕවර 18.2) දිනේෂ් කාර්තික් 30 (ජෙමින් ෆය්න්කර් 16/3, අජිට් චන්දුලා 6/2)

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා