ගුවන්ටනාමෝ සිරකඳවුරේ නිරාහාර උපවාසයට තවත් පිරිසක්

ගුවන්ටනාමෝ සිරකඳවුරේ නිරාහාර උපවාසයට තවත් පිරිසක්

15කට අසාධ්‍යයි

කියුබාවේ පිහිටි අමෙරිකා ගුවන්ටනාමෝ හමුදා බන්ධනාගාරයේ සිරකරුවන් ආරම්භ කර ඇති නිරාහාර උපවාසයට දැන් තව තවත් සිරකරුවන් එක්වෙමින් සිටන අතර එහි රැඳවුණු යුද භීෂණ ත්‍රස්ත සැකකරුවන් 166 දෙනාගෙන් 1/3 ක් ම ඊට එක්ව ඇතැයි ප්‍රකාශකයකු පවසා තිබේ.

කලින් 43 දෙනකු ආහාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබුණු අතර දැන් එය 52 දක්වා වැඩි වී තිබේ. මින් 15 දෙනකුගේ තත්ත්වය බරපතළ බැවින් ඔවුන්ට නළ මාර්ගයෙන් ආහාර ලබා දීමට බන්ධනාගාර නිලධාරින් පියවර ගෙන ඇත. තවත් 11 දෙනෙකුට ආහාර ශරිරගත කරන බව පැවැසේ. මේ 11දෙනාගෙන් තිදෙනකු රෝහල් ගත කර ඇති අතර කිසිවකු ජීවිත තර්ජනයට මුහුණ දී නැතැයි පැවැසේ.

සිර කඳවුරේ සිරගතව සිටින්නන් වෙනුවෙන් පෙනී සිටින නීතිවේදින් පවසන්නේ ගුවන්ටනාමෝ කඳවුරේ අගය අඩු සිරකරුවන් රැඳවුණු 6 වැනි අංශයේ සිටින රැඳවියන් 130 දෙනාගෙන් බහුතරයක් මේ නිරාහාර උපවාසයේ යෙදී සිටින බවය.

මේ ආහාර වර්ජනය ඇරඹුණේ ඉකුත් පෙබරවාරි 6 දාය. බන්ධනාගාර නියාමකයන් කුරානය තුළ රහස් ද්‍රව්‍ය සඟවා ඇත් ද යන්න සොයනු පිණිස ඒවා පරීක්ෂා කිරීම ආරම්භ කිරීම ඊ‍ට හේතු වී තිබේ. එහෙත් තමන් කුරානයට අගෞරව වන අන්දමින් ඒවා පිරික්සීමට භාජනය නොකළ බව බලධාරීන් කියා

ඇත. බොහෝ දෙනකු මේ වර්ජනයට එක්ව ඇත්තේ පසුගිය 11 වසර තිස්සේ ම නඩු විභාගයකට යොමු‍ නො කොට ඔවුන් රඳවා ගෙන සිටීමට එරෙහිවය.

කෙසේවෙතත් සිරකරුවකුට නළ මගින් ආහාර ලබාදීම කඳවුරු අධිපති විසින් අනුමත කළ වහාම ඒ බව නීතිවේදින් වෙත දැන්වීමට නව ක්‍රියාමාර්ගයක් අනුගමනය කරන බව ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා ඇත. ඒ අනුව සිය සේවා දායකයා පිළිබඳ සොයා බැලීමට අදාළ නිතිවේදියාට ඉඩ ලැබෙන්නේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා