කැනඩාවේ මහා කොටියෙක් සිටිත් ද?

කැනඩාවේ මහා කොටියෙක් සිටිත් ද?

කැනඩාවේ අගමැතිතුමාට ශ්‍රී ලංකාව අරහං ය. පොදු රාජ්‍ය මණ්ඩලයේ ඊළඟ සමුළුව මෙරට පැවැත්වීම සම්බන්ධයෙන් බලගතු විරෝධයක් එතුමාට තිබේ. ඊට අදාළ විග්‍රහ ඉදිරිපත් කරන කැනඩාව ශ්‍රී ලංකාවට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කරයි. එහි සඳහන් ව ඇත්තේ අප මානව හිමිකම් කඩකර ඇති බව ය. එය සිදුවී ඇත්තේ මානුෂික මෙහෙයුම ඔස්සේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාද කරත්දී ය. මේ වනාහී පුදුමාකාර චෝදනාවකි. මේ චෝදනාව ගැන සිහි නුවණින් බැලීම ලෝක ප්‍රජාවගේ වගකීම වේ.

ත්‍රස්තවාදය පරාජය කිරීමේ දී අමෙරිකාව, එංගලන්තය, හෝ ප්‍රංශය ගනු ලබන ක්‍රියාමාර්ග මුළුමනින් ම සාධාරණ ය. අමෙරිකාවට අනුව ඉරාකයේ හිටපු ජනාධිපති සදාම් හුසේන් මහතා ත්‍රස්තවාදියෙකි. එහෙත් ඉරාකය ආර්ථික වශයෙන් ගොඩනැඟු නායකයා ඔහු ය. අමෙරිකාවට අනුව ලිබියාවේ ත්‍රස්ත නායකයා ගඩාෆි ය. එහෙත් ලිබියාවේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් තැනකට ගෙන ආවේ ගඩාෆි මහතා ය. ත්‍රස්ත ලේබලය දඩමීමා කොට එම රටවල් දෙක ම අරාජික තත්ත්වයට පත් කිරීමට අමෙරිකාව සමත් විය. එවිට කැනඩාවේ නායකයන්ගේ කටේ පිට්ටු ය.

ශ්‍රී ලංකාවේ පැවැති මානුෂික මෙහෙයුම ලෝකයේ ඕනෑම යුක්ති සහගත යුද නීතියක් යටතේ තක්සේරු කළ හැකි ය. එවැන්නක් සිදු වන්නේ නම්; ශ්‍රී ලංකාවට හැම අතකින් ම ලැබිය යුත්තේ ප්‍රසංශා ය. අගය කිරීම් ය. උතුරේ දෙමළ ජනයා යුද්ධයෙහි අතකොළුවක් ලෙස යොදාගනිමින් ත්‍රස්තවාදය පවත්වාගැනීමට උත්සාහ කළේ කොටි සංවිධානය යි. කොටි සංවිධානයෙන් එම ජනතාව මුදාගත් ශ්‍රී ලාංකේය ආරක්ෂක හමුදාව කොටි කාඩර්වරුන් පවා පුනරුත්ථාපනයට පියවර ගත් හ. අද උතුරේ මැතිවරණයක් පැවැත්වීමට තරම් තත්ත්වය නිදහස් ය. සාමකාමී ය. ඒ හැරෙන්නට උතුරේ සිදුවන සංවර්ධන ක්‍රියාවලිය අති මහත් ය.

කැනඩාවේ අගමැතිවරයා මේ තත්ත්වය නො දකින්නේ මන්දැ’යි ප්‍රශ්නයක් අපට පවතී. කැනඩාවේ දේශපාලනය අපි දනිමු. එහි දේශපාලනයට අනුව ශ්‍රී ලංකාවේ කොටි හිතවාදී පුද්ගලයෝ රැසක් එරට පාර්ලිමේන්තුවෙහි සිටිති. ඔවුන්ට ඡන්දය පාවිච්චි කරනුයේ කැනඩාවේ නිත්‍ය පුරවැසිභාවය ලැබූ අන්ත දෙමළ ජාතිකවාදීන් ය. මේ ;දමළ ජාතකවාදීනට යටවන කැනඩාවේ අග්‍රාමාත්‍යවරයා දෙමළ අන්තවාදයෙන් ප්‍රතිලාභ ලබමින් ශ්‍රී ලංකාවේ දෙමළ ත්‍රස්තවාදය යළි පිහිටුවීමට උත්සාහ කරන බව හොඳටම පැහැදිලි ය.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ඊළඟ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්විය යුතු බවට යෝජනා සම්මත වන්නේ 2007 සිට ය. මේ සංගමයට අයත් රටවල් පනස් ගණනද සෙසු ශාඛා එකසිය ගණන ද ඊට එකඟත්වය පළ කොට තිබේ. පොදු රාජ්‍ය මණ්ඩලයේ මහා ලෝකම් ශර්මා මහතාද එය අනුමත කර ඇති අතර ඊළඟ සමුළුව ශ්‍රී ලංකාවේ පැවැත්වීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් නැති බව ද ප්‍රකාශ කොට තිබේ. කැනඩා අගමැතිවරයාගේ ශ්‍රී ලංකා විරෝධය ඔස්ට්‍රේලියාවේ විවේචනයට ද ලක්විණි. කැනඩා අග්‍රාමාත්‍යවරයාගේ යෝජනා හා අදහස් ද ඕස්ට්‍රේලියාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබේ.

පොදු රාජ්‍ය මණ්ඩලය යනු එක්සත් ජාතීන්ගේ සංවිධානය මෙන් ආර්ථික වශයෙන් හෝ දේශපාලන වශයෙන් ශක්තිමත් සංවිධානයක් නො වේ. එහි සාමාජිකත්වය දරනුයේ මහා බ්‍රිතාන්‍යයේ පුරාණ යටත්විජිත රටවල් ය. ඒ හැරුනු කොට බ්‍රිතාන්‍ය කිරීටයට යටත් රටවල් ය. මේ සංවිධානය ආසියාවේ අප්‍රිකාවේ සංස්කෘතික කටයුතු සම්බන්ධයෙන් ද අධ්‍යාපන කටයුතු සම්බන්ධයෙන් ද යම් මැදිහත්වීමක් කරයි. ඒ හැරෙන්නට ඊට බලගතු ආර්ථික ශක්තියක් නැත. මේ සංවිධානයේ සාමාජිකත්වය ලැබීමෙන් යම් අභිමානයක් ඉතිරිකරගත හැකි ය. ශ්‍රී ලංකාව මීට එක්වන්නේ අන්තර්ජාතික ප්‍රජාව අතර සහයෝගීතාව ප්‍රකට කිරීම සඳහා යැයි කිවහොත් එය නිවැරැදිය.

ලබන නොවැම්බරයේ හම්බන්තොට දී පැවැත්වීමට නියමිත පොදුරාජ්‍ය මණ්ඩලයේ මහා සමුළුව නිවැරැදි ලෙස එහිදී පැවැත්වීමට කටයුතු සම්පාදනය කර ඇතැයි; එම සංවිධානයේ මහා ලේකම්වරයා කියයි. ඊට එරෙහිව කැනඩාව නැඟු යම් ඝෝෂාවක් පසුගිය දා පරාජයට පත්විය. කැනඩාව කොටින්ගේ පදයට නටමින් ශ්‍රී ලංකාවට අපහාස කිරීමට ඉදිරිපත් වී ඇතත්; එය සම්පූර්ණයෙන්ම පරාජයට පත්වී ඇති බව පැහැදිලිය.

බටහිර ධනපති රටවල නව යටත්විජිතවාදය විවිධ උපායමාර්ග ඔස්සේ ක්‍රියාත්මක වේ. එහි බලපෑම ශ්‍රී ලංකාව වැනි රටවල් කෙරෙහි යොමුවීම අමුතු දෙයක් නො වේ. පුදුමය වන්නේ මේ රටේ ඇතැම් ධනපති පක්ෂ ද ඊට බලගතු ලෙස සහාය දැක්වීම ය.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා බටහිර ධනපතියන්ගේ ගෝලයකු බව අපි දනිමු. එහෙත් ඔහු රටට එරෙහිව ධනපති රටවලට මේ තරමින් හිස නමන්ගේ මන්දැ’යි අපට තේරුම් ගත නොහැකි ය. ඔහු සිටින්නේ පොදුරාජ්‍ය මණ්ඩලීය මහ සමුළුව ශ්‍රී ලංකාවේ පැවත්වීමට එරෙහි තැනක ය.

මෙබඳු සිදුවීම් ඔස්සේ ශ්‍රී ලංකාවේ දේශපාලනය වටහාගත හැකි ය. අපේ විපක්ෂය අන්ත ධනවාදී ය. ඔවුන්ගේ සේවාව අන්තිම ලෙස පිහිටන්නේ කොටි ත්‍රස්තවාදයට උල්පන්දම් දෙන තැනක ය. දැනට සිටින මහා කොටියා කැනඩාවේ අගමැති ලෙස සැලකීමෙහි වරදක් නැත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා