අපට ජනාධිපතිතුමාව සියයට සියයක් විශ්වාසයි

අපට ජනාධිපතිතුමාව සියයට සියයක් විශ්වාසයි

රට බෙදීමේ අදහසක් මුස්ලිම්වරුන්ට නෑ

ඉංජිනේරු හාෆීස් නසීර් අහමඩ්
නැඟෙනහිර පළාත් සභාවේ කෘෂිකර්ම,
සත්ත්ව නිෂ්පාදන සංවර්ධන, ග්‍රාමීය කර්මාන්ත සංවර්ධන හා ධීවර ඇමැති

නැඟෙනහිර පළාත් සභාවේ කාර්යභාරය, එම පළාත මූලික කරගත් සංවර්ධන කටයුතු, එහි ආගමික හා සංස්කෘතික සහජීවනය ගොඩනඟා ගත හැකි ආකාරය කෙසේද? යන්න පිළිබඳ නැඟෙනහිර පළාත් සභා ඇමැති හාෆීස් නසීර් අහමඩ් මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ආණ්ඩු පක්ෂය සමඟ නැඟෙනහිර පළාත් සභාව තුළ කටයුතු කරන ආකාරය සහ එම සබඳතාව ඉදිරියට රැගෙනයාම පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

නැඟෙනහිර පළාත් සභාවේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හවුල් ආණ්ඩුවක් පිහිටුවලා තිබෙනවා. මධ්‍යම ආණ්ඩුවත් සමඟයි අපි ඉන්නේ. එහි නියෝජිතයා මමයි. ඒ නිසා මම ස්ථිරව ම කියනවා නැඟෙනහිර පළාත් සභාවේ කාලය සම්පූර්ණ වනතෙක් අපි ආණ්ඩුව සමඟ ඉන්නවා.

ඊට කිසි සැකයක් නැහැ. අපි ඉතා පැහැදිලි ස්ථාවරයෙන් තමයි රජය සමඟ ඉන්නේ. අපට ජනාධිපතිතුමා ගැන විශ්වාසයක් තිබෙනවා. එතුමාගේ රජය අපට විශ්වාසයි.

මේ රටේ අවුරුදු 30ක් පුරා පැවැති ලොකුම හිසරදය බවට පත්ව තිබුණු යුද්ධය, ජනාධිපතිතුමා තමන්ගේ ක්‍රියාශීලී නායකත්වයෙන් සම්පූර්ණයෙන් ඉවර කළා. ගිය අවුරුදු 4 තුළ සිට තමයි රටේ සාමකාමී බවක් පවතින්නේ. එහි නිදහස් බව අපි හැමෝම භුක්ති විඳිනවා.

මේ වගේ සාමකාමී බවක් තමයි රටේ ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලුවේ. එම ජනතාවගේ බලාපොරොත්තුව අපේ ජනපතිතුමා ඉටු කළා. මේ ජනතාවගේ ඉල්ලීම මුල් නායකයන් කිසිවෙක් ඉටු කළේ නැහැ.

මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව නිදහසින් හා ගෞරවයෙන්, අවබෝධයෙන් යුතුව කටයුතු කරනවා. මේ නිසා රටේ විශාල සංවර්ධනයක් ඇති වෙනවා. ඒත් එක්ක රටේ ජීවත් වන ජනතාව, ලාංකිකයන් වශයෙන් තමන්ගේ අනන්‍යතාව වර්ධනය කරගනිමින් ඉදිරියට එනවා. ඒ නිසා, අපි ශ්‍රී ලාංකිකයෝ ලෙසින් සියලුදෙනා ම සිතන කාලය එළැඹෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ.

මෙරට ජාතික ගැටලුවට විසැඳුමක් ලබාදීම ගැන යළිත් කතාබහක් ඇතිවෙලා තිබෙනවා. මේ තත්ත්වයට විසැඳුමක් ලබා දෙන්නේ කොහොමද?

මේ රටේ සියලු පාර්ශ්ව එකතුවෙලා, ඊළඟ අවුරුදු දෙක තුන තුළ මේ ගැටලුව විසැඳිය යුතුයි. මේ රටේ ජීවත් වන සියලු ජනතාව, විශේෂයෙන් දෙමළ මිනිසුන් සාමයෙන්, සමඟියෙන් ජීවත් වෙනවා. ඔවුන් යුද්ධයෙන් පීඩා වින්ඳා. යළිත් එවැනි තත්ත්වයකට මුහුණ දෙන්න ඔවුන් කැමැති නැහැ.

මේ රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස්වල අන්තවාදීන් ඉන්නවා. ඔවුන් එක ආගමකට සීමා වූ අය නොවෙයි. ඔවුන් ඉතා සුළු පිරිසක්. ඔවුන්ගේ න්‍යාය පත්‍රය රටට යහපත් නැහැ. ඔවුන්ට වෙනම න්‍යාය පත්‍ර තිබෙනවා. ඔවුන්ට පිටරටවලින් සල්ලි එනවා.

ඔවුන් කටයුතු කරන්නේ මුදල් ලැබෙන පිරිසගේ කැමැත්තට අනුව යි. මේ දේශපාලන ප්‍රශ්නවලට අපේ ජනාධිපතිතුමා විසැඳුම් ලබාදෙන්නේ නැත්නම්, ඉන් පස්සේ තවදුරටත් විසඳන්න ලැබෙන්නේ නැහැ.

මේ ප්‍රශ්නය මේ රටේ සියලු දෙනාම පිළිගන්න පුළුවන් විදිහට විසැඳීමට අවශ්‍ය ශක්තිය හා බලය තිබෙන්නේ මේ ජනාධිපතිතුමාට පමණයි. මේවා ජාත්‍යන්තරයට වැඩක් නැහැ. ඔවුන් තම තමන්ගේ න්‍යාය පත්‍රයට අනුව කටයුතු කරනවා පමණයි. චීනය හා ඉන්දියාව අතර ගැටුම් ඇති කරගන්න අමෙරිකාව බලාපොරොත්තු වෙනවා. අමෙරිකාවට ඕනේ අපේ ත්‍රිකුණාමල වරායයි. ඔවුන්ගේ එවැනි ලක්ෂණ අප තේරුම්ගත යුතුයි.

නැඟෙනහිර පළාත සෙසු පළාත්වලින් වෙන්වන්නේ කොහොමද?

නැඟෙනහිර පළාතේ විශේෂ ලක්ෂණය තමයි මේ රටේ ජීවත්වන සිංහල, දෙමළ, මුස්ලිම් යන සියලු ජාතීන් සම සමව ජීවත් වීම. ඒ නිසා අප නැඟෙනහිර ලෙස එළියට ඒමට කටයුතු කරනවා. මේ සඳහා ශ්‍රී ලාංකිකයන් ලෙස සියලු දෙනාම නැගී සිටිය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් ලෙස අප බෙදුනොත්, බෙලහීන වෙනවා. අපට මොකුත් කිරීමට හැකි වන්නේ නැහැ.

තම තමන්ගේ ආගම්, තමන්ගේ කැමැත්ත අනුව අදහන්න පුළුවන්. එය අපට ප්‍රශ්නයක් නෙමෙයි. මේ සඳහා නැඟෙනහිර බොහෝ ඉඩ ප්‍රස්ථාව තිබෙනවා. කෘෂිකර්ම, ධීවර, සංචාරක වශයෙන් සැලැසුම් සහගතව නවීන තාක්ෂණය යොදා ගෙන සංවර්ධනය කරන්න පුළුවන්.

ඒත් පසුගිය අවුරුද්දේ එය නිවැරැදිව පාවිච්චි කළේ නැහැ. එය සැලැසුම් සහගතව සංවර්ධනය කළ හැකියි. මේවා වෙනත් ප්‍රදේශවල කරන්න බැහැ. මේවා නිවැරැදිව කළා නම් කෘෂි නිෂ්පාදන එකක්වත් පිටරටින් ආනයනය කරන්න වෙන්නේ නැහැ. සියලු දේම මෙරට දීම නිෂ්පාදනය කළ හැකියි.

ඒ වගේම ධීවර නිෂ්පාදන එකක්වත් අපේ රටට ගෙන්වන්න අවශ්‍ය නැහැ. ඒ සඳහා අපේ මුදල් පිටරටට වියදම් කරන්න ඕනේ නැහැ. ඒ වෙනුවට අපේ නිෂ්පාදන පිටරටට අපනයන කරන්නත් පුළුවන්.

රටේ අභ්‍යන්තර ප්‍රශ්නවලට විදේශ බලපෑම් හා අතපෙවීම් පිළිබඳ මුස්ලිම් ජාතික ඇමැතිවරයකු විදිහට ඔබේ අදහස මොන වගේද?

පළමුව අපි හැමෝම එකතු වෙන්න ඕනේ. අපේ රටෙත් ප්‍රශ්න තිබෙනවා. ඒ ප්‍රශ්නයට විසැඳුම් දෙන්න සියලු බලතල අපේ රටේ ජනතාවට තිබෙනවා. එය විසඳන හැකියාවත් ජනාධිපතිතුමාට තිබෙනවා. එය සියලු ජනතාව පිළිඅරන් තිබෙනවා.

විශේෂයෙන් දැන් මේ රටේ ජීවත්වන දෙමළ මිනිසුන් සාමකාමී ව ජීවත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඒත් සමහර රටවල අය, මේ රටේ අලුත් ප්‍රශ්න ඇතිකරන්න උත්සහ කරනවා. ඒ අයට එසේ කිරීමේ සැලසුම් සහගත න්‍යාය පත්‍රයක් තිබෙනවා.

එයට අනුව අපේ රට නටවන්න ඒ අය බලාපොරොත්තු වෙනවා. මෙය අපේ රටේ ජීවත් වන සියලු ජනතාව දැනගන්න ඕනේ. ජාත්‍යන්තර දේශපාලන ප්‍රශ්නවලට අනුව නටන භූමියක් විදිහට, අපේ රට දෙන්න බැහැ. මේ දේ සියලු දේශපාලන පක්ෂ පිළිගත යුතුයි.

ජාතිවාදී හැඟීම් හා බෙදීම් නිසා මෙරටට සිදු වූ අවාසි හා පාඩු මොනවාද?

මේ රට අවුරුදු 30ක යුද්ධයකට මුහුණ දුන්නා. මේ නිසා අපේ රටේ සංවර්ධනය පැත්තෙන් අවුරුදු 30ක් ආපස්සට ගියා. අපි ලාංකිකයන් වශයෙන් ජාති ආගම් ලෙස බේදවලින් තොරව මවුබිම ගොඩනගන්න ඕන. මේ පදනම වෙත ගෙන යන විට, හැමෝම එකතු වෙලා රට ගොඩනගන විට, විවිධ ජාතීන් ඔවුනොවුන්ට ගරු කරමින් මේ රට තුළ ජීවත් වෙනවා දකින්න පුළුවන්.

මේ සම්බන්ධවත් මේ රටේ නායකයන් හා අපට විශ්වාසයක් තිබෙනවා. ඒ සම්බන්ධව ඇති වන ප්‍රශ්න නිරාකරණය කළ යුත්තේ කෙසේද කියා ජනාධිපතිතුමා දන්නවා. ඊට අවශ්‍ය වැඩපිළිවෙළ අනුව රටේ සියලු දෙනාම ලාංකිකයන් ලෙස තම තමන්ගේ සංස්කෘතික අනන්‍යතාව මත ජීවත් වන පරිසරයක් ඇති කරයි කියා අපට සැකයක් නැහැ. එතුමා ප්‍රශ්න කීපයක් ම සාමකාමීව විසැඳුවා. එම නිසා මේ ප්‍රශ්නයත් එතුමාට ලොකු දෙයක් නෙමෙයි.

මේ රටේ ජීවත්වන මුස්ලිම්වරු අපේ ජනාධිපතිතුමාට ඉතාමත්ම ගරු කරනවා. එතුමා දශක කීපයක සිට පීඩා විඳින පලස්තීන ජනතාව වෙනුවෙන් හඬ නගපු කෙනෙක්. ඒ ජනයාගේ මිත්‍රයෙක්. ඒ රටේ පාරක නමක් සඳහා මෙතුමාගේ නම දමා තිබෙනවා.

ඒවගේ ම ඉරානය ඇතුළු සියලු මුස්ලිම්වරු සමඟ අපේ ජනපති මිත්‍රකම් පවත්වනවා. මේ රටේ හිටපු අගමැතිනිය සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සිට වර්තමාන ජනාධිපතිතුමා තෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේ නායකයන් සමඟ මැදපෙරදිග අරාබි නායකයන්, මිත්‍රශීලීව කටයුතු කරගෙන යනවා.

ඒ රටවල මිනිසුන් හා නායකයන් සියලුදෙනා වඩා මිත්‍රශීලීව අප රට සමඟ කටයුතු කරනවා. එය තවදුරටත් ශක්තිමත් කරන්න ඕනේ. මේ හරහා ලංකාව දියුණු කරන්න අවශ්‍ය උදවු උපකාර තවදුරටත් ඒ රටවලින් ලබා ගන්න පුළුවන්.

ආගම් අතර සබඳතා හා අවබෝධය ගොඩනඟා ගත යුතු ආකාරය හා එම සබඳතා රටේ යහපතට යොදාගත හැකි ආකාරය පිළිබඳ පැහැදිලි කිරීමක් කළ හැකිද?

මුල් කාලයේ සිට අද දක්වාම ජීවත් වූ මුස්ලිම් අය මේ රට ආරක්ෂා කිරීමට වගේම, මේ රටේ භෞමික අඛණ්ඩතාව රැකීමටත් දිගටම සහාය දී තිබෙනවා. ඒ අය රජවරුන්ගේ කාලයේ සිටම මේ රටේ සිංහල මිනිසුන් සමඟ සහයෝගයෙන් වැඩ කරනවා.

එදා සිට අද වනතුරු මේ අපේ මවුබිම කියන පදනමෙන් තමයි ක්‍රියාකරන්නේ. මේ රටේ මුස්ලිම් අය මේ රට කඩන්න, බෙදන්න උදවු කිරීමට හෝ එසේ හිතලාවත් නැහැ. තමන්ගේ ආගමික හා සංස්කෘතික අනන්‍යතාව සමඟ ගෞරවයෙන් ජීවත් වෙන්න තිබෙන සියලු අයිතිවාසිකම් රජවරුන්ගේ කාලයේ සිටම තිබෙනවා.

ඒ පදනම මත මේ රටේ ජනතාව, විශේෂයෙන් අපේ පක්ෂය ජනාධිපතිතුමා සමඟ විශ්වාසයෙන් ඉන්නේ. ඒත් දැන් මුස්ලිම්වරුන්ට විරුද්ධව යම් පිරිසක් ආගම්, ජාති ලෙස ප්‍රශ්න ඇති කරන්න උත්සහ ගන්නවා.

නැඟෙනහිර පළාතේ සංවර්ධනය හා ආණ්ඩුවේ මැදිහත්වීම ගැන නැඟෙනහිර වැසියකු විදිහට ඔබ සතුටට පත්වෙනවාද?

ඒ පිළිබඳ විශාල ඇගැයීමක් හා සතුටක් මට තිබෙනවා. යුද්ධයෙන් සම්පූර්ණයෙන්ම බිඳවැටී තිබූ ප්‍රදේශයක් ආණ්ඩුව මැදිහත් වී විශාල සංවර්ධනයක් වෙත යොමුකර තිබෙනවා.

යුද්ධයකින් රටක් බිඳවැටුණ පසු, එය යථා තත්ත්වයට පත් කිරීමට අවුරුදු පහක් දහයක් ගත වෙනවා. ඒත් නැඟෙනහිර පළාත අද වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත් කිරීමට හැකියාව ලැබී තිබෙනවා. දේශපාලනය කුමක් වූවත්, එහි ගෞරවය හිමිවිය යුත්තේ මේ ආණ්ඩුවටයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා