ෆුට් බෝලයෙන් කෝටි 50ක් ගහලා

ක්‍රීඩා පිටි හදන්න ජා.පා.ස. දුන් සුනාමි සල්ලි

ෆුට් බෝලයෙන් කෝටි 50ක් ගහලා

මුදල් ගෙන්වාගෙන ඇත්තේ 'ගෝල් සංවර්ධන' කාර්යාලය

සල්ලි ගෙන්වාගෙන තිබෙන්නේ හොර අස්සන් ගහලා

තොරතුරු සොයන්න නව සභාපතිගෙන් කමිටුවක්

සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා පිටි සංවර්ධනයට ජගත් පාපන්දු සම්මේලනයෙන් ලැබුණු රුපියල් කෝටි 50ක ආධාර මුදල් නාස්තිකාර ලෙස වැය කොට ඇති බවට වාර්තා වෙයි.

එම විශාල මුදල් ප්‍රමාණය ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන ඇත්තේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තුළ වෙනම ක්‍රියාත්මක වූ 'ගෝල් සංවර්ධන ව්‍යාපෘති කාර්යාලය' මඟිනි. ජගත් පාපන්දු සම්මේලනයෙන් වරින් වර එම මුදල් ගෙන්වාගෙන ඇත්තේ තමාගේ අස්සන හොරට යොදාගෙන බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ මහතා පවසයි.

තම අනු දැනුමකින් තොරව අස්සන ස්කෑන් කොට ඊ මේල් මඟින් ජගත් සම්මේලනයට ලිපි යවා ඇති බව තහවුරු කරගත් බව හේවගේ මහතා පැවැසීය. මේ පිළිබඳ කරුණු විමර්ශනය කිරීම රහස් පොලිසිය මඟින් සිදුවිය යුතු බවද හේවගේ මහතා පෙන්වා දෙයි.

මේ අතර ක්‍රීඩාංගණවලට වැය වූ මුදල්වල තොරතුරු හෙළි කිරීමෙන් වළකින ලෙස ඇතැම් පුද්ගලයන් බලපෑම් කළ නිසා තම ජීවිත වලට ආරක්ෂාව සපයන ලෙස රහස් පොලිසියට දැනුම් දුන් බව ශ්‍රී ලංකා පාපන්දු නව සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි.

මෙම රුපියල් කෝටි 50ක මුදල් ක්‍රීඩාංගණ 13ක් සංවර්ධනයට යොදාගෙන ඇති බවට ලෝක පාපන්දු සම්මේලනයෙන් සියලු තොරතුරු ලැබී ඇති බවත් එයින් බොහෝ ක්‍රීඩාංගණ තරඟයක් පැවැත්වීමට හෝ සුදුසු තත්ත්වයක නැති බවත් පාපන්දු නව සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි.

එහෙයින් මේ ගණුදෙනු හා ප්‍රමිතීන් සොයා බැලීමට අට දෙනෙකුගෙන් යුත් විමර්ශන කමිටුවක් පත්කළ බව රුද්‍රිගු මහතා සඳහන් කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා