අ'පුර නගරයේ කැළි කසළ විකුණා මසකට ලක්ෂ දෙකක ආදායමක්

අ'පුර නගරයේ කැළි කසළ විකුණා මසකට ලක්ෂ දෙකක ආදායමක්

අනුරාධපුර නගරයේ කැළි කසළ වලින් මසකට රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදලක් ඉපයීමට නගර සභාව සමත්ව ඇත. දිනකට අනුරාධපුර නගර‍ සීමාව තුළින් එක්රැස් කරනු ලබන කැළි කසල ජනාවාස වලින් තොර ප්‍රදේශ වලට මීට පෙර බැහැර කළ අතර වසරකට ඒ සඳහා නගර සභාව රුපියල් ලක්ෂ 350ක මුදලක් වැය කර තිබේ.

නගරසභා සීමාව තුළින් දිනකට කැළි කසල ටොන් 35ක් පමණ නගර සභාව මඟින් එක් රැස් කරනු ලබයි. වත්මන් නගරාධිපති එච්.පි. සෝමදාස මහතාගේ සංකල්පයකට අනුව කසල ප්‍රතිචක්‍රීකරණය කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

නැ‍‍ඟෙනහිර නුවරගම්පළාත් ප්‍රාදේශීය සභාවේ සභාපති ඩී.පී. බන්දුලසේන මහතාගේ යෝජනාවකට අනුව අනුරාධපුර නගරයට යාබද කීරික්කුලම ප්‍රදේශයේ ඉදි කරන ලද කාබනික පොහොර නිෂ්පාදන කම්හල නගර සභාවට පවරාගෙන මෙම නව ව්‍යාපෘතිය ආරම්භ කර තිබේ.

ව්‍යාපෘතිය සඳහා වෙනම සේවකයින් 15 දෙනෙකු බඳවාගෙන ඇති අතර නගරයෙන් එක්රැස් කරනු ලබන කැළි කසල එහි ගෙනගොස් වර්ගීකරණය කරනු ලබයි. දිරාපත් වන හා දිරාපත් නොවන අපද්‍රව්‍ය වශයෙන් වෙන්කොට එයින්ද පොලිතීන් හා ප්ලාස්ටික් වෙන්කොට හඳුනා ගැනේ. එම අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණ ක්‍රියාවලියකට ලක් කෙරෙන බව සෝමදාස මහතා පවසයි.

නගර සභා සෞඛ්‍ය ඒකකයේ පුර්ණ මැදිහත්වීම මත නවීන විද්‍යානුකූලව මෙම කටයුතු සිදු කරනු ලබයි. සතියකට කොම්පෝස්ට් කිලෝ 10000ක් පමණ නිෂ්පාදනය කෙරෙන අතර එම එක් කිලෝවක් රුපියල් හතර (04) බැගින් අලෙවි කරනු ලබයි. මේ අතර ඉදිරියේදී එක් කිලෝවක මිල රුපියල් 08 දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇතැයිද නගරාධිපතිවරයා පැවසීය.

පිරිසිදු නගරයක් පවත්වාගෙන යාම හා කැළි කසල වලින් ආදායමක් ලැබීමේ පරිවර්තනයක් ඇති කිරීමට වත්මන් කාලය තුළ හැකිවීම විශාල ජයග්‍රහණයක් බව නාගරික කොමසාරිස් සම්පත් රෝහණ ධර්මදාස මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා