නිවැරැදි තීන්දු ගන්නා නිලධාරීන් වෙනුවෙන් රජය සෑමවිටම පෙනී සිටීමට සූදානම්

නිවැරැදි තීන්දු ගන්නා නිලධාරීන් වෙනුවෙන් රජය සෑමවිටම පෙනී සිටීමට සූදානම්

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ප්‍රගති සමාලෝචන රැස්වීමේදී ජනාධිපති කියයි

නිවැරැදි තීන්දු ගන්න කිසිම නිලධාරියකු බය වෙන්න ඕනේ නැහැ. නිවැරැදි තීන්දු ගන්නා ඕනෑම නිලධාරියකු වෙනුවෙන් රජය සෑමවිටම පෙනී සිටීමට සූදානම්. ඒ වගේම වැරැද්දක් වුණොත් එය පිළිගන්නටත් නිලධාරීන් සූදානම් විය යුතු යැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මෙසේ ප්‍රකාශ කළේ වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ 2013-2015 මධ්‍ය කාලීන සැලැස්ම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමට එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පසුගිය 26 වැනිදා එක්වෙමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ 2013-2015 මධ්‍ය කාලීන සැලැස්ම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීමට එක්වෙමින්.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පිළිගැනීමේ කතාව කරමින්.

මේ ගොඩනැගිල්ලට රාජ්‍ය නායකයකු පැමිණි ප්‍රථම අවස්ථාව මෙයයි. ජනාධිපතිතුමා මේ රටේ වාරි ක්ෂේත්‍රය ගැන, මහවැලිය ගැන ඉතා සංවේදීව කටයුතු කරමින් අපට ඉදිරියට යාමට නිබඳව දිරි දෙන නායකයෙක්. මේ රටේ වාරි ක්ෂේත්‍රයේ වටිනාකමත් ශ්‍රී ලංකාව ආසියාවේ ආශ්චර්ය කරා යන ගමනේදී අපේ දායකත්වයත් මහින්ද චින්තන ඉදිරි දැක්ම තුළ ගැබ් වී තිබෙනවා.

ඒ ගමනේදී මතු වන අභියෝග ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කළ වහාම එතුමා අපට ශක්තියක් වෙමින් ඒවා විසඳන්නට කටයුතු කරනවා. ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ වාරි ක්ෂේත්‍රයේ නව නැම්මක් පසුගිය කාලය තුළ සටහන් වී තිබෙනවා. ඒ අනුව රඹකැන්ඔය ව්‍යාපෘතිය මෙම වසරේ ජූනි මාසයේත් දැදුරුඔය ව්‍යාපාරය මෙම වසරේ අගෝස්තු මාසයේත් විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. කුඩා වාරි ව්‍යාපෘති ගණනාවක ගැටලු දැන් අවසන් වී ගෙන යනවා.

අප අමාත්‍යාංශයේ පැවැති තාක්ෂණ නිලධාරීන්ගේ ගැටලුව විසඳන්නට ජාත්‍යන්තර මට්ටමින් තාක්ෂණ නිලධාරීන් පුහුණු කරන මධ්‍යස්ථානයක් කොත්මලේ පිහිටුවන්නට අපට හැකියාව ලැබුණා. එහි වාර්ෂිකව 200ක පිරිසක් පුහුණුව ලබනවා. අප සතුව සිටින වාරි ඉංජිනේරුවන් ඉතා කැපවීමෙන් වැඩ කරනවා. ඒ අනුව අප අමාත්‍යාංශය මේ වන විට ඉතා හොඳ ගමනක් යමින් සිටින බව කියන්නට පුළුවන්.

අමාත්‍යාංශ ලේකම් අයිවන් ද සිල්වා මහතා ප්‍රගතිය ඉදිරිපත් කරමින්.

වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ අමාත්‍යාංශයේ 2013- 2015 මධ්‍ය කාලීන සැලැස්ම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම අද පැවැත්වෙනවා. අප අමාත්‍යාංශය වාරිමාර්ග දෙපාර්තමේන්තුව, වාරි කළමනාකරණ අංශ්‍ය, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය සහ ඉංජිනේරුමය කාර්යයන් පිළිබඳ මධ්‍යම උපදේශන කාර්යාංශය යන ආයතනවලින් සමන්විතයි.

මහින්ද චින්තන ඉදිරි දැක්ම යටතේ ජල සම්පත් ක්ෂේත්‍රයේ ඉලක්ක ළඟා කර ගැනීම සඳහා විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ යටතේ දස අවුරුදු ආයෝජන සැලැස්මක් සකස් කර ඇමැති මණ්ඩල අනුමැතිය ලබා තිබෙනවා. ඒ යටතේ ව්‍යාපෘති 39ක් ක්‍රියාත්මක කිරීමට නියමිතයි. ඉන් ව්‍යාපෘති 17ක ඉදිකිරීම් අරඹා ඇති අතර 19ක ශක්‍යතා අධ්‍යන සහ පරිසර ඇගයුම් සිදුකරමින් පවතිනවා. ව්‍යාපෘති 2ක වැඩ අවසන් කර ඇති අතර එක ව්‍යාපෘතියක් තාවකාලිකව නතර කර තිබෙනවා.

මේ අනුව සැලැස්මේ සඳහන් වැඩසටහන්වලින් සියයට 50ක කටයුතු අවසන් කර ඇති අතර ඉතිරි සියයට 50 ශක්‍යතා අධ්‍යන සහ පරිසර ඇගැයුම් සිදු කරගෙන යනවා. ඒ සියල්ල අවසන් වූ වහාම එම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට හැකි බව දන්වන්න කැමැතියි.
 

ජනාධිපතිවරයා:

පරිසර අනුමැතිය එන්න කොපමණ කාලයක් යනවාද?

ලේකම්වරයා:

මාස 4ක් පමණ. සෑම අමාත්‍යාංශයකම උපකාර අපට ලැබෙනවා. නැතිනම් වසරක් පමණ යනවා ජනාධිපතිතුමනි. 2013- 2015 කාලය තුළ මෙම ව්‍යාපෘති ආරම්භ කර හැකි තරම් අවසන් කිරීමයි අපගේ බලාපොරොත්තුව. රඹකැන්ඔය, වෙහෙරගල වැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී කටයුතු කළ ආකාරයට අපගේම යන්ත්‍ර සූත්‍ර මේ සඳහා භාවිතා කිරිම තුළින් පහසුවක් ලැබෙනවා. ඒ සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩල සහ ඉංජිනේරුවන් අප විසින් පුහුණු කර තිබෙනවා.

2012 තද නියඟයක් පැවතුණා. එම කාලය තුළ වැව්වල රොන් මඩ ඉවත් කරන ලෙස ජනාධිපතිතුමා අපට නියෝග කළා. ඒ සඳහා අවශ්‍ය යන්ත්‍ර උපකරණ අපට ලබා දුන්නා. රුපියල් මිලියන 1000කට වැඩි වටිනාකමකින් යුත් යන්ත්‍රෝපකරණ අපිට ලැබුණා. අපි ඒ කටයුතු සාර්ථකව නිම කළා. ඒ පිළිබඳව අපගේ ස්තුතිය ජනාධිපතිතුමාට පිරිනමනවා.

දස අවුරුදු සැලැස්මේ ප්‍රගතිය අනුව දැනට කරගෙන යනු ලබන ව්‍යාපෘති දෙකක වැඩ අවසන් කර තිබෙනවා. දැදුරුඔය සහ රඹකැන්ඔය ව්‍යාපෘති මෙම වසරේ ජනතා අයිතියට පත් කරන්නට පුළුවන්. දැදුරුඔය ව්‍යාපෘතිය 2012 වසරේ අවසානයේ විවෘත කරන්නට තිබුණත් එහි යොදා ගන්නා ගේට්ටු රජයේ කර්මාන්ත ශාලාවෙන් ලබා ගැනීමේදී වූ ප්‍රමාදයක් නිසා වසරක පමණ කාලයක් ව්‍යාපෘතිය විවෘත කිරීමට කල් ගියා. මේ ප්‍රධාන ව්‍යාපෘති විවෘත කළ පසු අපට ලංකාවටම ජලය දෙන්නට පුළුවන්කම ලැබෙනවා.

දස අවුරුදු සැලැස්මේ සඳහන් මොරගහකන්ද ව්‍යාපෘතියේ වැඩ කරගෙන යන අතර උතුරු මැද මහ ඇළ ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කර තිබෙනවා. යාන් ඔය ව්‍යාපෘතියේ වැඩත් දැනට කරගෙන යනවා.

ජනාධිපතිතුමාත් මෑතකදී සංචාරය කළ වැලිඔය ජනතාවට සහනයක් සැලසෙන උමා ඔය ව්‍යාපෘතියේ පරිසර අධ්‍යන කටයුතු කරගෙන යන අතර එය ලැබුණු වහාම ඔක්තෝබර් මාසයේ එහි වැඩ ආරම්භ කරන්නට පුළුවන්.

පහළ මල්වතු ඔය ව්‍යාපෘතිය කියන්නේ 1950 වසරේ සැලසුම් සකස් කළ ව්‍යාපෘතියක්. මන්නාරම ප්‍රදේශයේ ජනතාවට දැනට මහ කන්නයේ පමණයි වගා කටයුතු කරන්නට හැකියාව ලැබී තිබෙන්නේ. ඔවුන්ගේ විශාල ඉල්ලීමක් තිබෙනවා යල කන්නයේත් වගා කටයුතු කරන්නට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ලෙස .දැනට එහි මූලික කටයුතු කර ඇති අතර ඔක්තෝබර් මාසයේ වැඩ ආරම්භ කරන්නට අපට හැකියාව ලැබෙනවා.

මාදුරු ඔය ජලාශය වසර 40 කට පෙර සකස් කළා. ඇළ සැකසුවා. නමුත් දකුණු ඉවුර ඇළ සකසන්න බැරි වුණා වසර තිහක් පැවැති යුද්ධය නිසා. මෙතැන සීනි කර්මාන්ත ශාලවත් තිබෙන නිසා මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත්.

මම මේ සම්බන්ධයෙන් සීනී කර්මාන්ත ඇමැතිතුමා සමඟත් සාකච්ඡා කළා. මොනරාගලට වාරි සහ පානී ජලය ලබා දීමට නක්කල ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.

ජනාධිපති ලේකම්තුමා අපට ලබා දී තිබෙනවා කාර්ය සාධන දර්ශක ඉලක්ක 6ක්. ඒ අනුව 2015 වන විට ජලාශ ධාරිතවා ඝන මීටර් 700ක් වැඩි කිරිම, වගාබිම් ප්‍රමාණය හෙක්ටයාර 50000කින් වැඩි කිරීම, වගා තීව්‍රතාව වැඩි කිරීම, අතිරේක භෝග වගාව හෙක්ටයාර් 30000කින් වැඩි කිරීම, පුහුණු තාක්ෂණ කාර්ය මණ්ඩලය සියයට 100කින් සම්පූර්ණ කිරීම සහ මහජන පැමිණිලිවලින් නිසි ලෙස සොයා බලා විසැඳිමට අප කටයුතු කරගෙන යනවා.

ජනාධිපතිවරයා:

ඇමැති මණ්ඩලය අරගත් තීන්දු සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම කොහොමද?

ලේකම්වරයා:

මහවැලි ඉඩම් ගැන සැලැස්මක් සකසාගෙන යනවා. මාස 4ක් 5ක් තුළ ක්‍රියාත්මක කරන්නට පුළුවන්.

ජනාධිපතිවරයා:

2010 වාර්තාව සම්බන්ධයෙන් ඇමැති මණ්ඩලයට කරුණු ඉදිරිපත් කරන්න කිව්වා. මගේ මතකයේ හැටියට නම් ඒවා ඉදිරිපත් වුණේ නැහැ.

ලේකම්වරයා:

අපි නිරීක්ෂණ ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කළා.

ජනාධිපතිවරයා:

මේ වාර්තාවල තිබෙන දේවල් පැත්තකට කළහොත් ඵලක් නැහැ. ඒවා ක්‍රියාත්මක විය යුතුයි. ඒවා නිවැරැදි කර ඇමැති මණ්ඩලයට වාර්තා කළ යුතුයි. ඒ නිසා ඒ ගැන අවශ්‍ය කටයුතු කළොත් හොඳයි. මම දැකලා තිබෙන දෙයක් තමයි ඇමැති මණ්ඩලය ගන්න තීන්දු සමහර ලේකම්වරුන් කියවන්නේවත් නැහැ. සමහර වෙලාවට අපි දුරකථනයෙන් අමතලා දුන්න නිලධාරියාගේ නමත් කියනවා. එතකොට කියනවා ඒක ලැබුණා, දැන් කියවගෙන යනවා කියලා.

ඉංජිනේරු සහකාරවරුන් ඌණතාව. ඒකට සේවා ව්‍යවස්ථාව වෙනස් කළ යුතුයි නේද?

ඇමැතිවරයා:

ඒකට අපේ පැත්තෙන් කරන්න ඕනේ වැඩකොටස කරලා තිබෙනවා. පැරැණි සේවා ව්‍යවස්ථාවේ තිබෙන ගැටලු නිසයි මේක ඇති වුණේ. ඒකෙ තිබෙනවා ඉංජිනේරුවරුන් බඳවා ගැනීමේදී වාරි මාර්ග විෂයය අත්‍යවශ්‍යයි කියලා.

ලේකම්වරයා:

මේ විෂයය විශ්වවිද්‍යාලවල උගන්වන්නේ නැහැ ජනාධිපතිතුමනි. අපි දැන් ඒ කාරණය වෙනස් කරගෙන යනවා.

ජනාධිපතිවරයා:

මහවැලි කලාපයේ අතිරේක භෝග වගාව ප්‍රමාණවත් නැහැ කියලයි වාර්තා වෙලා තිබෙන්නේ.

ඇමැතිවරයා:

වී වගාවට හුරු වී තිබෙන ගොවීන් අතිරේක භෝග වගාවට යොමු කරන්න අමාරුයි. වැඩි මහන්සියක් වුණොත් වැඩි ආදායමක් ගන්න පුළුවන් කියලා ඔවුන් දැනුවත් කරන් ඕනේ. අපේ නිලධාරීන් ඒ සඳහා දැන් කටයුතු කරමින් සිටිනවා.

ජනාධිපතිවරයා:

ඒකට වැඩපිළිවෙළක් තිබෙනවාද?

ලේකම්වරයා:

මේ වගාවන් සඳහා යොදා ගන්නා තාක්ෂණය දියුණු කරන්න ඕනේ.

ජනාධිපතිවරයා:

ඒ සඳහා පර්යේෂණ කෙරෙනවාද?

ලේකම්වරයා:

තායිලන්ත අගමැති මෑතක මෙරටට පැමිණීමට නියමිතයි. එරට සමඟ මීට පෙර ගිවිසුමක් අස්සන් කර තිබෙනවා තාක්ෂණය සම්බන්ධයෙන්. මේ වගාවන්වලින් ආදායම වැඩි වෙනවා කියලා දැන ගත්තාම ගොවීන් උනන්දු වෙයි.

ජනාධිපතිවරයා:

මාලදිවයින, චීනය සමඟත් අපි ගිවිසුම් අස්සන් කර තිබෙනවා.

ලේකම්වරයා:

අනෙක් රටවලට වඩා අපට තායිලන්තය පහසුයි. එරට සමඟ ගිවිසුම් අස්සන් කර තිබෙනවා. ක්‍රියාත්මක කරන්න පමණයි තිබෙන්නේ.

ජනාධිපතිවරයා:

ලොකු ගිවිසුමක් නේද? මේවා ක්‍රියාත්මක කිරීම තමයි වැදගත්. රටවල් සමඟ ද්විපාර්ශ්වික ගිවිසුම් අස්සන් කළාට වැඩක් නැහැ ක්‍රියාත්මක වෙන්නේ නැත්නම්. ඒවා ක්‍රියාත්මක විය යුතුයි. අපි රටවල්වලට ගියාම ගිවිසුම් අස්සන් කර එනවා නමුත් ගන්න ප්‍රයෝජනය අඩුයි. මේකට වෙනම නිලධාරියෙක් පත් කරලා අවශ්‍ය පියවර ගත යුතුයි.

ඇමැති බැසිල් රාජපක්ෂ මහතා:

අතිරේක බෝග වගාව ගැන කතා කරපු නිසා කියන්නේ, මහවැලිය සතු ගොවිපළ රැසක් තිබෙනවා. ඒවා කාලයක් තිස්සේ අතහැර දමා තිබුණා. දැන් නැවතත් වැඩ කරගෙන යනවා. උසස් තත්ත්වයේ සහල් නිෂ්පාදනය කරනවා නම් හොඳයි. පොඩි ගොවීන්ට මේක කරන් අමාරුයි. වී අතිරික්තයකුත් තිබෙන එකේ මහවැලි කලාපය ඒ සඳහා යොදා ගත යුතුයි.

ජනාධිපතිවරයා:

මහවැලියට පුළුවන්නේ මේ වී වර්ග වගා කරන්න කියලා ගොවීන්ට නියම කරන්න. දැන් වගා කරන හාල් කන්නේ අපිම විතරයි.

ලේකම්වරයා:

ඒකට අපි අලුත් තාලෙට වැඩ කළ යුතුයි.

ජනාධිපතිවරයා:

දැන් ඇති පරණ තාලෙට වැඩ කළා. යුද්ධය නිම වෙලත් දැන් වසර 5ක්.

ලේකම්වරයා:

මේකට ලේකම්වරයාට තවත් බලතල අවශ්‍යයි.

ජනාධිපතිවරයා:

මේවා කරන්න ලේකම්ට බලය තිබෙනවා. මහවැලියට එහෙම තීන්දුවක් ගන්න පුළුවන් විය යුතුයි.

ලේකම්වරයා:

ඒකට ප්‍රශ්න තිබෙනවා.

ජනාධිපතිවරයා:

මොනවද තිබෙන ප්‍රශ්න?

ලේකම්වරයා:

විගණන ප්‍රශ්න තිබෙනවා.

ජනාධිපතිවරයා:

විගණනයේදී ඒ වගේ ඒවා අහන්නේ නැහැ. අලුත් වී වගාවක් කළාම ඒක සාර්ථක වෙන්නත් අසාර්ථක වෙන්නත් පුළුවන්.

ලේකම්වරයා:

ඒවාට උත්තර දෙන්න කාලයක් යනවා.

ජනාධිපතිවරයා:

හැම එකම බදා ගත්තාම අමාරුයි. බලය නිලධාරීන් සමඟ බෙදාගෙන කටයුතු කරන්න.

ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා:

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එකතුව වැඩපිළිවෙළක් හදන්නම්.

ජනාධිපතිවරයා:

චක්‍රලේඛ තිබෙන්නේ වැඩ නවත්තන්න නෙමේ වැඩ කරන්න. වැව් රක්ෂිත අනවසරයෙන් ඉල්ලා ගැනීම සහ අනවසර ඉදිකිරීම් ගැන පැමිණිලි තිබෙනවා.

ඇමැතිවරයා:

මේ රක්ෂිත වෙන්කරලා මැනලා නැහැ කාලයකින්. මිනින්දෝරුවෝ හිඟයි. පරණ මායිම් ගැලවිලා. උසාවි ගියත් ගැටලු එනවා.

ජනාධිපතිවරයා:

ඉක්මණට මේ ටික මැනලා අවශ්‍ය කටයුතු කරන්න.

ඉඩම් ප්‍රතිපත්තිය ගැන අපිට තීන්දුවක් ගන්න වෙනවා. නඩු කියන්න ගියාම ප්‍රශ්න ඇති වෙනවා. මට ආරංචි වුණා රජයේ ඉඩම්වල නිවාස හදලා කියලා. මේ ගැන සොයා බලන්න.

ඇමැතිවරයා:

සමහර ඒවාට ස්වර්ණ භූමි ඔප්පු දීලා, තවත් ඒවායේ වසර 25 ක් පමණ පදිංචි වෙලා ඉන්නවා. ඒ අය එළවන්නේ කොහොමද?

ජනාධිපතිවරයා:

පරණ අය කරපුවායේ පව් ගෙවන්න වෙලා තිබෙන්නේ අපිටම තමයි. විදුලි බිලත් එහෙමයි. එදා ගහපු ගිවිසුම්වලට තවම ගෙවන්න වෙලා තිබෙනවා. තමන්ගේ අමාත්‍යාංශවල ඉඩම් ගැන සියලු ආයතන එකතු කරගෙන අවශ්‍ය තීන්දු ගන්න. පදවිය, බෝගස් වැව අසළ කුඹුරු සම්බන්ධ ගැටලුවක් තිබෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂවරයා:

වැව ප්‍රතිසංස්කරණය කරද්දී 1958දී මේවා අත්පත් කරගෙන වන්දි දීලා තිබෙනවා. 2001 දී ප්‍රාදේශීය ලේකම්වරයා මේ අයට නැවත බලපත්‍රයක් දීලා තිබෙනවා.

ජනාධිපතිවරයා:

ප්‍රදේශීය ලේකම්වරයා දීලා ඇත්තේ තාවකාලික බලපත්නේ?

අධ්‍යක්ෂවරයා:

සමහර අයට දීර්ඝකාලීන බලපත් දීලා. සමහර මහජන නියෝජිතයන්ගෙන් බලපෑම් එනවා. නිලධාරීන්ට රාජකාරිය කරන්න බැහැ. අපි අධිකරණ නියෝගය අනුව කටයුතු කරනවා.

ජනාධිපතිවරයා:

අධිකරණ තීන්දුවට ගරු කරන්න. මහවැලි ඉඩම් බෙදා දීමේ ගැටලු ගැන චෝදනා ඇවිත් තිබෙනවා. හිමිකම් තහවුරු කිරීමට මුදල් ගන්නවා කියලා දැනුම් දී තිබෙනවා.

ඇමැතිවරයා:

මෑතකදී අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත්තා මේ වගේ කරපු අය. බොහෝ දෙනෙක් පැමිණිලි කළාට සාක්ෂි නැහැ.

ජනාධිපතිවරයා:

අපිට නිර්නාමිකවත් එනවා, නාමිකවත් එනවා.

ලේකම්වරයා:

ඉඩම් හිම්කම් බෙදා දීමේදී ගැටලු තිබෙනවා.

ජනාධිපතිවරයා:

තිබෙන ප්‍රශ්න අපි ළඟට එන්න පෙර විසඳ ගන්න. ජලාශ, වැව් අමුණු, වාරි පද්ධති නිසි ලෙස නඩත්තු නොකිරීම ගැන පැමිණිලි තිබෙනවා.

ඇමැතිවරයා:

ගොවීන් සියලු දේ ළගට ගෙනැවිත් දෙන තුරු බලා සිටිනවා.

නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. බී. ඒකනායක මහතා:

රොන් මඩ ඉවත් කිරීමට කටයුතු කිරීම ගැන ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. අද ගොවි ජනතාවට පිරිසිදු ජලය ලැබෙන්නේ මේ නිසයි.

ජනාධිපතිවරයා:

ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කිරීමට විශේෂ වැඩපිළිවෙළක් අවශ්‍යයි.

ලේකම්වරයා:

මේකට ආයතන ගොඩක් තිබෙනවා.

ජනාධිපතිවරයා:

ඔයාලා ලයිස්තුවක් හදන්න. අපි ඇමැති මණ්ඩල කමිටුවක් පත් කරන්නම්.

ඇමැතිවරයා:

අපි ඒකට ඇමැති මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කරන්නම් ජනාධිපතිතුමනි.

ජනාධිපතිවරයා:

මහවැලි අධිකාරියේ වැඩපොළට නොගොස් පෞද්ගලික තැන්වලට වාහන හදන්න ගෙනියන බවට කරුණු ඉදිරිපත් වෙලා තිබෙනවා.

ලේකම්වරයා:

මෙතැන සියලු වාහන හදන්න පුළුවන්කමක් නැහැ.

නිලධාරිනියක්:

මෙතැන ධාරිතාව මදිව තිබුණා. අපි ශ්‍රමිකයන් පුහුණු කරලා දැන් ජනවාරි මාසයේ සිට අවශ්‍ය කටයුතු කරලා තිබෙනවා.

ජනාධිපතිවරයා:

අමාත්‍යාංශයේ වාහන මෙතැනින් හදලා බැරි වුණොත් පමණක් වෙන තැනකට යවන්න. ගාල්ල දිස්ත්‍රික් වැඩබිමේ භාවිතා නොකරන වාහන රැසක් තිබෙනවා.

නිලධාරිනියක්:

ඒවා වෙන්දේසි කළත් කවුරුත් ගන්නේ නැහැ.

ජනාධිපතිවරයා:

වානේ සංස්ථාවට දෙන්න ඒ ටික. කිලිනොච්චිය, මාතලේත් වාහන තිබෙනවා ප්‍රයෝජනයට නොගන්නා.

ඇමැතිවරයා:

අපේ නිලධාරීන් කැමැති පරණ ඒවා එහෙමම තියාගෙන ඉන්න. කොච්චර කිව්වත් විකුණන්නේ නැහැ.

ජනාධිපතිවරයා:

මොකද ලේකම්තුමා පරණ ඒවට කැමැති?

ලේකම්වරයා:

හදලා පාවිච්චි කරන්න පුළුවන් ඒවා තියාගෙන අනික් ඒවා වෙන්දේසි කරන්න කියලයි කියලා තිබෙන්නේ. දැන් වසර දහයකට පෙර විමර්ශන අධ්‍යක්ෂ කෙනෙක් හිටියා පිස්තෝලයක් අතේ තියාගෙන. මේ නිසා ඉංජිනේරුවන්ගේ මානසික තත්ත්වය වැටිලා තිබෙන්නේ.

ජනාධිපතිවරයා:

පිස්තෝල කාලේ දැන් ඉවරනේ.

ලේකම්වරයා:

දැනට වසර 10ට පෙර හිටියේ. ඒ අයගේ මානසික තත්ත්වය හදන්න අමාරුයි.

නිලධාරිනියක්:

අපිත් කමිටුවේ හිටියා. නමුත් තීන්දු ගන්න බයයි.

ජනාධිපතිවරයා:

මේක ජනාධිපති තීන්දුවක්. මාස තුනක් තුළ සියල්ල අවසන් කරන්න. මිරිදිය මසුන් වඳ වී ගෙන යනවා. ජලාශ හදද්දී මේ ගැනත් අවධානය යොමු කරන්න. ව්‍යාජ ඇස්තමේන්තු හදලා, වැඩ නොකර රජයේ මුදල් වංචා කරනවා, නිලධාරීන්ම කොන්ත්‍රාත් ගන්වා කියලා චෝදනාවක් තිබෙනවා.

ඇමැතිවරයා:

මේ කොන්ත්‍රාත් ගන්නේ එක එක නම්වලින්. අපිට ඒවා හොයන්න අමාරුයි.

ජනාධිපතිවරයා:

කොන්ත්‍රාත් ගත්තට කමක් නැහැ වැඩේ කෙරෙන්න ඕනේ. අපිට මේවා එවන්නෙත් නිලධාරීන්මයි. එක්කෝ හොඳ නිලධාරීන් නැත්නම් කොන්ත්‍රාත් එක ලැබුණේ නැති අය වෙන්න ඇති. මේක හුඟක් තැන් වල තිබෙනවා. මේවා නිවැරැදි කරන්න. නැත්නම් වැරැදි මතවාදයක් හැදෙනවා. කරන හොඳත් නැති වෙනවා මේවායින්. ප්‍රමිතියකට වැඩ කෙරෙන්න ඕනේ.

මහජන දිනය තුළ නිලධාරින් කාර්යාලයේ නැහැ කියලා චෝදනාවක් තිබෙනවා. එදාටම සාකච්ඡා දාගන්නේ නැතුව ඒක ගොවීන්ට වෙන් කරන්න. සිකුරාදාටත් වේලාසන යනවාලු.

ලේකම්වරයා:

අපේ නිලධාරීන් නම් ඉන්නවා. සිකුරාදාට වේලාසන යන්නේ නැහැ.

ජනාධිපතිවරයා:

පුවත්පත්වල පළ වන දේ ගැන අවධානය යොමු කරනවාද?

ලේකම්වරයා:

විදුලි බල මණ්ඩලයට ජලය දීම සම්බන්ධයෙන් පළ වූ වාර්තාවකට මම පිළිතුරු යැව්වා.

ජනාධිපතිවරයා: (පුවත්පතක් පෙන්වමින්) ගිනි පෑවිල්ලේ පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු 10ම අරී. මොකක්ද මේ චෝදනාව?

ලේකම්වරයා:

මේක කළේ ඉංජිනේරුවාගේ විනිශ්චය උඩ. ඒ අවස්ථාවේ එයා තමයි තීන්දුව ගන්න ඕනේ. මට නම් ඒකේ වැරැද්දක් පේන්නේ නැහැ.

ජනාධිපතිවරයා:

ලොකු වාර්තාවක් තිබෙනවා. මේවා පුවත්පත්වල පළ වුණාම ඒ ගැන සොයලා බලලා, හරි වැරැද්ද ඒ අයට දැනුම් දෙන්න.

ලේකම්වරයා:

මෙතැන ඉන්නේ ආධුනික කෙනෙක්. එයා මේ නිසා බය වෙලා තිබෙනවා. මම මෛත්‍රීපාල ඇමැතිතුමාටත් කිව්වා.

ජනාධිපතිවරයා:

කවුරුත් බය වෙන්න ඕනේ නැහැ. නිලධාරීන් නිවැරැදි තීන්දුවක් ගත්තා නම් ඒ වෙනුවෙන් රජය පෙනී සිටනවා. ඒ වගේම තීන්දුව වැරැදි නම් ඒකත් පිළිගන්න ඕනේ.

නිලධාරියෙක්:

නිවැරැදි කරලා යැව්වාට පුවත්පත් ඒවා පළ කරන්නේ නැහැ.

ජනාධිපතිවරයා:

නිකම් යැව්වාට බැහැ. කතා කරලා ඒ අයට කියන්න. මම දැක්කා යම් යම් අමාත්‍යාංශවල කාරණා ගැන වැරැදි මත තිබෙනවා. ප්‍රමාද වුණොත් මේ වැරැදි මත ස්ථිර වෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා:

රඹකැන් ඔය ව්‍යාපෘතියේ මහඔය, පදියතලාව සහ රිදීමාලියැද්ද විශේෂ කලාපයක් ලෙස නම් කරලා තිබෙනවා. නමුත් ඒවායේ සුළු කොටසකට පමණයි ප්‍රතිලාභ ලැබෙන්නේ. ඒවා නැවත ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පවරා නොදෙන්නේ ඇයි?

ඇමැතිවරයා:

රඹකැන් ඔය ව්‍යාපෘතිය යටතේ ඒ ප්‍රදේශ සංවර්ධනය කරන්නයි අපි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ වැරැදි තිබෙනවා.

ජනාධිපතිවරයා:

ඉඩම් ප්‍රශ්න ගැන අපි නිලධාරියකු පත් කරන්නට යනවා. ඒකට අවශ්‍ය කටයුතු ඉක්මණින් කරන්න. ව්‍යවස්ථාව වෙනස් කරන්න ඕනේ නම් ඒකත් කරන්න.

නියෝජ්‍ය ඇමැතිවරයා:

රාජ්‍ය නායකයකු පළමු වතාවටයි මේ ස්ථානයට පැමිණියේ. ඒ ගැන අපි ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා.

මේ රට ඉදිරියට ගෙන යන්න ජනාධිපතිතුමා විශාල වෙහෙසක් දරනවා. ගම ගැන හිතලා, රට ගැන හිතලා වැඩ කරන නායකයකු ලෙස ජනාධිපතිතුමා කාගේත් ගෞරවයට පත් ව සිටිනවා.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා