පොදු රද මඬුලු සමුළුව ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකාවේ

පොදු රද මඬුලු සමුළුව ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකාවේ

මහලේකම් කමලේෂ් ෂර්මා

මීළඟ පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ස්ථිර වශයෙන්ම ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සූදානම් බව පොදුරාජ්‍ය මණ්ඩලීය මහලේකම් කමලේෂ් ෂර්මා මහතා අවධාරණය කරයි.එම සමුළුව එළඹෙන නොවැම්බර් මාසයේ 15, 16 හා 17 දිනයන්හි කොළඹදී පැවැත්වීම සඳහා තීරණයකර තිබෙන අතර එම තීරණයේ කිසිඳු වෙනසක් නැතැයිද මහලේකම්වරයා ප්‍රකාශ කරයි.

පොදුරාජ්‍ය මණ්ඩල අමාත්‍යවරුන්ගේ ක්‍රියාකාරී කමිටු රැස්වීමෙන් අනතුරුව බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොදුරාජ්‍ය මණ්ඩලීය මහ ලේකම්වරයා මේ බව ප්‍රකාශකර ඇත.

මේ වසරේ පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුව ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට එම මණ්ඩලීය නායකයින් පසුගිය 2009 වසරේදී ගනු ලැබූ තීරණය පසුගිය 2011 වසරේදී ස්ථිරකළ අතර එය සාමූහික තීරණයක් බවද ඒ අනුව රාජ්‍ය නායක සමුළුව නොවැම්බර් මාසයේ කොළඹදී පැවැත්වෙන බවද මහලේකම්වරයා පෙන්වාදී තිබේ.

මෙහිදී ෂර්මා මහතා තවදුරටත් ප්‍රකාශකර ඇත්තේ සංහිඳියාව පිළිබඳ පොදුරාජ්‍ය මණ්ඩල වැඩමුළුව ලබන සතියේ පවත්වන අතර ශ්‍රී ලංකාව එයද නියෝජනය කරන බවයි. එම වැඩමුළුවේදී සංහිඳියාව පිළිබඳව ඒ ඒ රටවල ඓතිහාසික අත්දැකීම් බෙදාහදා ගැනීම සිදුකෙරේ.

පොදුරාජ්‍ය මණ්ඩලීය අමාත්‍ය කි‍්‍රයාකාරී කමිටුවේ 39 වන රැස්වීම් වාරය බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවරදී පසුගිය (26) පැවති අතර එහිදී ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් කිසිවක් සාකච්ඡාකර නොමැත. බංග්ලාදේශ විදේශ කටයුතු ඇමැති ආචාර්ය ඩිපු මෝනිගේ ප‍්‍රධානත්වයෙන් පැවැති මේ සඳහා ඕස්ටේ‍්‍රලියාව, කැනඩාව, ජැමෙයිකාව, මාලදිවයින, සියරාලියොන්, ටැංසානියාව, ට්‍රිනාඩෑඩ් ටොබැගෝ සහ වනෝටු රාජ්‍යයන්හි නියෝජිතයෝ සහභාගිවී තිබේ.

මේ අතර විදේශ කටයුතු ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ලන්ඩන් නුවරදී පොදු රාජ්‍ය මණ්ඩලීය මහ ලේකම් කමලේෂ් ශර්මා මහතා සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන අතර පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවේ සංවිධාන කටයුතු සම්බන්ධයෙන් එහිදී අවධානය යොමුකළ බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම සාකච්ඡාවේදී මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව ශ‍්‍රී ලංකාවේදී පැවැත්වීමට ගත් තීරණය වෙනස් කිරීමට හැකිවනු ඇතැයි ඇතැම් කණ්ඩායම් බලාපොරොත්තු වුවද එහිදී ඒ පිළිබඳව කිසිදු අවධානයක් යොමු නොවීම ශ‍්‍රී ලංකාව ලද ජයග‍්‍රහණයක් ලෙස සැළකිය හැක. මෙම සාකච්ඡා වාරයේදී බි‍්‍රතාන්‍ය මහ රැජිනගේ අත්සනින් පසුගියදා එළිදක්වනු ලැබූ පොදුරාජ්‍ය මණ්ඩලීය නව ප‍්‍රඥප්තිය පිළිගැනීමද විශේෂත්වයකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා