විපක්ෂ නායක යළි ජාතිවාදය අවුස්සන අසාර්ථක වෑයමක

විපක්ෂ නායක යළි ජාතිවාදය අවුස්සන අසාර්ථක වෑයමක

උතුරුමැද මහ ඇමැති

යාපනයේ උදයන් පුවත්පත් ආයතනයට යුද හමුදාව පහරදුන් බවට අසත්‍ය ‍චෝදනාවක් එල්ල කළ විපක්ෂ නායකවරයා යළි ජාතිවාදය අවුස්සා රට ලේ විලක් බවට පත් කොට බලය ලබා ගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටින බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා පවසයි.

ත්‍රස්තවාදයෙන් මව්බිම නිදහස් කර ගැනීමට දිවි පරදුවට තබා කටයුතු කරමින් සිටි සන්නද්ධ හමුදා බුරුතු පිටින් කොටි ත්‍රස්තවාදීන්ට බිලි දුන් එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා රටට නිදහස හා සාමය උදා කර දුන් යුද හමුදාවට අපහාස චෝදනා නඟමින් කරනු ලබන මහා පාවාදීම සහගහන අපරාධයක් බවද ප්‍රධාන අමාත්‍යවරයා කීය.

උදයන් පුවත්පත් ආයතනයට පහරදුන්නේ යුද හමුදාව බව රනිල් වික්‍රමසිංහ මහතා කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා මෙසේද කීය.

ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කොමිසම ඉදිරියේ රට පාවාදීමට දෙමළ ඩයස්පෝරාවත් බටහිර අධිරාජ්‍යවාදින් සමඟ අත්වැල් බැඳගෙන සිටින විපක්ෂ නායකවරයා යාපනයේ දී සිදු කළ මේ අසත්‍ය චෝදනාව ඉතා බරපතළයි.

මානුෂීය මෙහෙයුමේදී ප්‍රාණ ඇපකරුවන් බවට එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් පත් කරගෙන සිටි තුන් දහසක් පමණ වූ දමිළ ජනතාව මරණයෙන් බේරාගෙන කෑම බීම, ඉඳුම් හිටුම්, බෙහෙත් හේත් ලබා දුන් වි‍රෝධාර රණවිරුවන්ට එරෙහිව දමිළ ජනතාව උසි ගන්වමින් ජාත්‍යන්තරය රජයට එරෙහිව අමු ද්‍රව්‍ය සැපයීම අරමුණු කොට ගෙන එ.ජා.ප. නායක විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නැගූ චෝදනා තිස් වසරක් ත්‍රස්තවාදයෙන් පීඩාවට පත් උතුරු මැද පළාතේ ජනතාව වෙනුවෙන් තමා තරයේ ප්‍රතික්ෂේප කරන බවද මෙවැනි දේශපාලනඥයන් මේ රටේ ජනතාව විසින් මැතිවරණ විසි තුනකදීම අන්ත පරාජයට පත් කර ඇති බවද ජනතා වරමින් කිසිදා බලයට ඒමට නොහැකි බව දන්නා රනිල් වික්‍රමසිංහ මහතා දෙමළ ඩයස්පෝරාවේ හා බටහිර අධිරාජ්‍යවාදීන්ගේ පිහිටෙන් බලය ලබාගැනීමේ අසාර්ථක උත්සාහයක යෙදී සිටීම මේ අසත්‍ය චෝදනාවෙන් තහවුරු වන බවද ප්‍රධාන අමාත්‍යවරයා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා