තමිල්නාඩුවේ ව්‍යාපාර ආර්ථිකය කඩා වැටිලා

තමිල්නාඩුවේ ව්‍යාපාර ආර්ථිකය කඩා වැටිලා

ශ්‍රී ලාංකිකයන්ගේ නොපැමිණීම හේතුව බව චෙන්නායි ව්‍යාපාරිකයෝ කලවානේ හිමියන්ට කියති

තමිල්නාඩුවට පැමිණි ශ්‍රී ලාංකික ජනතාවට පසුගිය දිනවලදී සිදු කළ හිරිහැර, තර්ජන, දෝෂාරෝපන නිසා වර්තමාන‍යේ තමිල්නාඩුවේ ව්‍යාපාරික ආර්ථිකය විශාල ලෙස බිඳවැටීමකට ලක්වී ඇතැයි චෙන්නායි නුවර ව්‍යාපාරිකයෝ කියති.

චෙන්නායි නුවර එග්මෝර් නගරයේ පිහිටුවා ඇති මහබෝධි සංගමයේ මධ්‍යස්ථානාධිකාරී කලවානේ මහනාම හිමියන් හමුවූ මෙම ව්‍යාපාරිකයෝ නැවැත ශ්‍රී ලාංකිකයින් චෙන්නායි නගරයට පැමිණීමට කටයුතු පිළියෙළ කර දෙන ලෙස ඉල්ලා සිටිති.

චෙන්නායි නුවර මහබෝධි මධ්‍යස්ථානයේදී කලවානේ මහනාම හිමියන් සමඟ 'දිනමිණ' කළවිශේෂ සාකච්ඡාවකදී හා විමර්ශනයකදී මේ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි විය.

කලවානේ මහනාම හිමියන් කියා සිටියේ පසුගිය දිනවල සුළු සුළු සිද්ධීන් ඇති කළේ ඉන්දියාවේ සුළුතර පක්ෂ දේශපාලකයන්, විදෙස් රටවල මෙහෙයවන ද්‍රවිඩ ඩයස්පෝරාව හරහා බවය. වර්තමානයේ ඉතා සාමකාමී පරිසරයක් පවතින අතර පසුගිය සතියේ වන්දනා කණ්ඩායම් තුනක් දඹදිව සංචාරය සඳහා චෙන්නායි නුවරින් ගමන් ආරම්භ කළ බවත්ය.

විවිධාකාර ප්‍රතිකාර සඳහා ශ්‍රී ලාංකීය ‍රෝගීන් විශාල පිරිසක් තමිල්නාඩු රෝහල්වලට පැමිණියත් එය සම්පූර්ණයෙන්ම පාහේ නැවැතී ඇත. කර්ණාටක හා අන්ද්‍රා ප්‍රාන්ත වෙත ඔවුන් ඇදී යන බවත් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලද සිසු සිසුවියෝත් තමිල්නාඩු ප්‍රාන්තයෙන් මාරු වී යන බවත් පැවැසූහ.

ශ්‍රී ලංකාවේ හා ඉන්දියානු ගුවන් ගමන් සේවා කප්පාදුවක් සිදු කර ඇති බැවින් ගුවන්යානා සමාගම් වලටද තදබල පහරක් වැදී ඇත. කෙසේ වෙතත් ඉන්දියානු සංචාරකයෝ ශ්‍රී ලංකාවට පැමිණීම ඉහළ අගයක පවතී.

දිනකට රෙදි පිළි නිමි ඇඳුම් කි‍ලෝ දෙතුන් දාහක් ශ්‍රී ලංකාවට අපනයනය කළ චෙන්නායි නිමි ඇඳුම් ව්‍යාපාරිකයෝ තම ව්‍යාපාරවල සේවක කප්පාදු සිදු කර ඇත්තේ දෛනික ආදායම් ශීඝ්‍ර ලෙස පහළ වැටීම් නිසාය. දෛනික ව්‍යාපාර කටයුතු කළ වෙළෙන්දෝ ත්‍රිරෝද රථ රියදුරෝ කුඩා වාහන ප්‍රවාහන කරුවෝ තමන්ගේ ජීවිතවලට සිදු වී ඇති ආර්ථික ‍අහේනිය පිළිබඳ කම්පා වෙමින් සිටිති.

කලවානේ මහනාම හිමියෝ කියා සිටින්නේ චෙන්නායි නගරයේ නිදහස්ව ඕනෑම අවශ්‍යතාවක් සඳහා ශ්‍රී ලාංකිකයන්ට රිසිසේ හැසිරිය හැකි බවයි. තමිල්නාඩු විශ්වවිද්‍යාල, කොලේජ්, රෝහල් සහ ව්‍යාපාරිකවලට බලවත් සේ ආර්ථික අවපාතයකට ලක්ව ඇති බවත් චෙන්නායි නුවර පොලිස් කොමසාරිස් ජොර්ජ් සෙබස්තියන් මහතා මහබෝධි සංගමය හා අවට පෙදෙස්වලට විශාල පොලිස් බළකායක් යොදා ආරක්ෂාව තර කර ඇති බවත් විවිධාකාර සේවා පහසුකම් අපේක්ෂාවන් සඳහා චෙන්නායි නුවරට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය සෑම පහසුකමක්ම ඉන්දියානු රජය හා රාජ්‍ය නිලධාරීන් ලබාදීමට කටයුතු කරන බවත් ඒ පිළිබඳ ඉන්දියානු රජය වෙත සිය ස්තූතිය පුද කරන බවත් පැවසූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා