සුනාමි ආධාර මුදල් ගෝල් දැලෙන් රිංගයි

සුනාමි ආධාර මුදල් ගෝල් දැලෙන් රිංගයි

කෝටි 50ක වැඩ කෝ ? ෆිෆා විමසයි

2004 දෙසැම්බරයේ ශ්‍රී ලංකාවට කඩා වැදුණු සුනාමියෙන් ජීවිත-දේපොළ පමණක් නොව ක්‍රීඩා ක්ෂේත්‍රය ආශ්‍රිත බොහෝ සම්පත්වලටද හානි සිදු විය. ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවට සම්බන්ධ ක්‍රීඩා පිටි ගණනාවක් ද මුළුමනින්ම විනාශයට පත්විය.

රුපියල් ලක්ෂ 201ක වියදමින් ඉදිවු ගාල්ල පාපන්දු පිටිය ඡායාරූප- ජයලාල් ජයවර්ධන
ගාල්ල ඡායාරූප වාර්තාකරු

මේ ගැන සලකා බැලු ලෝක පාපන්දු සම්මේලනය ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩා පිටි යථා තත්ත්වයට පත්කිරීම සඳහා රුපියල් කෝටි පනහක ආධාර මුදලක් ලබාදී තිබේ. එම මුදල් නාස්තිකාර ලෙස වියදම් කර ඇති අතර එමගින් සම්පුර්ණවු පාපන්දු ක්‍රීඩා පිටියක්ද ‍නොමැති බව හෙළිදරව් වේ.

කළුතර වර්නන් ප්‍රනාන්දු, කොළඹ සිටිලීග්, යාපනය, ගම්පහ ශ්‍රී බෝධී, බැද්දගාන, නෝවුඩ්, බදුල්ල, කොළඹ සී.ආර්, කැලණිය, අම්පාර, මන්නාරම, ගාල්ල හා මුලතිව් යන ක්‍රීඩාංගණ 13කට එම මුදල් වෙන්කර ඇති අතර එයින් බොහෝ ක්‍රීඩාංගණ ක්‍රීඩාවට නුසුදුසු තත්ත්වයේ පවතී.

මේ මුදලින් ඉදිකළ ඇතැම් ක්‍රීඩාංගණවල තණකොල හෝ නොමැති අතර හරක් ලගින නවාතැන් බවට පත්ව තිබේ.

බැද්දගාන පාපන්දු ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථානයට ලෝක පාපන්දු සම්මේලනයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 429 ඇතුළත්ව රුපියල් ලක්ෂ 1224ක් සම්පුර්ණ ලෙස වියදම් කර ඇතත් එම ඉඩම පාපන්දු සම්මේලනය සතුව නොමැති බව සභාපති රංජිත් ‍රුද්‍රිගු මහතා පවසයි.

එම ක්‍රීඩාංගණය රැලි සහිත නියම ප්‍රමිතියෙන් තොර තණතිල්ලක් නිසා ක්‍රීඩාවට සුදුසු නොවන බව සඳහන් කරයි. එම ක්‍රීඩාංගණය අතිවිශාල මුදලක් විනාශකළ එකක් බව පෙන්වා දෙයි.

කොළඹ සිටිලීග් ක්‍රීඩා පිටිය සුළු වර්ෂාවකදී ජලයෙන් යටවන හෙයින් ක්‍රීඩාවට වරින් වර බාධා ගෙන දෙයි. එම ක්‍රීඩාංගණයට රුපියල් ලක්ෂ 621ක් ලෝක පාපන්දු සම්මේලනය ලබා දී ඇති අතර එහි ප්‍රේක්ෂකාගාරයට ස්විට්සර්ලන්තයේ ක්‍රීඩා සමාජයකින් වෙනම ආධාර හිමිව ඇති අතර එය ගිගියෝරී ක්‍රීඩාගාරය ලෙස නම් කොට තිබේ.

ජගත් පාපන්දු සම්මේලනයෙන්

ලැබුණු මුදල් ආධාර

කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියට රු.ලක්ෂ 808

කොළඹ සිටිලීග් ක්‍රීඩා පිටියට රු.ලක්ෂ 621

යාපනය ක්‍රීඩා පිටියට රු.ලක්ෂ 480

ගම්පහ ශ්‍රී බෝධී ක්‍රීඩා පිටියට රු.ලක්ෂ 480

බැද්දගාන ක්‍රීඩා පිටියට රු.ලක්ෂ 429

නෝවුඩ් ක්‍රීඩා පිටියට රු.ලක්ෂ 400

බදුල්ල ක්‍රීඩා පිටියට රු.ලක්ෂ 327

කොළඹ සී.ආර් පිටියට රු.ලක්ෂ 300

කැලණිය පාපන්දු පිටියට රු.ලක්ෂ 263

මන්නාරම පාපන්දු පුහුණු මධ්‍යස්ථානයට රු.ලක්ෂ 228

අම්පාර පාපන්දු පිටියට රු.ලක්ෂ 216

ගාල්ල පාපන්දු පිටියට රු.ලක්ෂ 201

මුලතිව් පාපන්දු පුහුණු මධ්‍යස්ථානයට රු.ලක්ෂ 18

එම ක්‍රීඩාගාරයට ‍කොපමණ මුදලක් ලැබුණේද? වියදම් කළ ආකාරය කෙසේද, යන්න වාර්තා පාපන්දු සම්මේලනයට සොයාගත නොහැකිව ති‍බේ.

ගම්පහ ශ්‍රී බෝධී විදුහල් ක්‍රීඩා පිටියට රුපියල් ලක්ෂ 480ක් වියදම් කර ඇති බව වාර්තාවලින් පෙනීගියද එම ක්‍රීඩාංගණයේ සැලකිය යුතු ප්‍රතිසංස්කරණයක් සිදුව නොමැත.

ලෝක පාපන්දු සම්මේලනයේ ආධාර මුදලට අමතරව ශ්‍රී බෝධී ක්‍රීඩා පිටියේ ඉදිකිරිම්වලට යැයි පවසා තවත් රුපියල් මිලියන 3ක් ගෙවා ඇත්තේ කුමක් සඳහා ද යන ප්‍රශ්නය මතුව ඇත. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති ලෙස තමා පත්වු පසුව මේ රුපියල් මිලියන 3 වියදම් කර ඇතිබව රංජිත් රුද්‍රිගු මහතා හෙළි කළේය.

යාපනය පාපන්දු පිටියේ යටිතල පහසුකම් සංවර්ධනයට ලෝක පාපන්දු සම්මේලනයෙන් ලැබුණු රුපියල් ලක්ෂ 480ට අමතරව ජර්මානු තානාපති කාර්යාලයෙන්ද රුපියල් මිලියන 8ක් ලැබී ඇත.

අදියර දෙකකින් මේ ක්‍රීඩාංගණය ප්‍රතිසංස්කරණය කළ බව පැවැසුවද තණකොල හෝ නැති සතුන්ගේ නවාතැන් පොළක්වී ඇතැයි චෝදනාවකි.

අම්පාර, මන්නාරම හා මුලතිව් ක්‍රීඩාංගණවලට ලෝක පාපන්දු සම්මේලනය ලබාදුන් සුනාමි ආධාර රුපියල් ලක්ෂ 462ක් වැය කළද නියම ප්‍රමිතියෙන් තොර බවට පාපන්දු සම්මේලනයට පැමිණිලි ලැබී ඇත. වැඩ අවසන් බවට සඳහන්ව ඇතත් තණකොල හෝ එවායේ නැත.

ගාල්ල ක්‍රීඩාංගණයට රුපියල් ලක්ෂ 201ක් වැය කර ඇතත් තරගයක් පැවැත්වීමේ හැකියාවක් නැති අතර බදුල්ල ක්‍රීඩා පිටියට ලක්ෂ 327ක් වියදම් කළද මේ වනවිට එය නැවැත අලුත්වැඩියා කළ යුතු මට්ටමකට පැමිණ තිබේ.

කළුතර වර්නන් ප්‍රනාන්දු ක්‍රීඩා පිටියට ලක්ෂ 808ක් සුනාමි ආධාර වැයකර ඇති අතර ක්‍රීඩාංගණය‍කට වෙන්වු වැඩිම මුදල ලෙස වාර්තා වේ. එය ක්‍රීඩාවට සුදුසු මට්ටමේ පවතින අතර පළමු පෙළ තරග කිහිපයක්ම පැවැත්වුණි.

කොළඹ සී.ආර්. ක්‍රිඩා පිටිය නවීකරණයට ලෝක පාපන්දු ආධාර රුපියල් ලක්ෂ 300ක් වැය කළද රගර් පුහුණුවීම්වලදී හා රගර් තරග කාලසීමාවේදී පාපන්දු ක්‍රීඩාවට එය ලබානොදීම ගැටලුකාරී තත්ත්වයකි.

ලෝක පාපන්දු සම්මේලනයේ සුනාමි ආධාර මුදල් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තුළ පිහිටි ‘ගෝල් සංවර්ධන ව්‍යාපෘති කාර්යාලයට’ ලැබී ඇති අතර ලැබුණු මුදල් කොපමණද යන්න පාපන්දු විධායක සභාවට දන්වා නැත. මේ සියලු තොරතුරු ලෝක පාපන්දු සම්මේලනයේ සභාපති සෙප් බ්ලැටර් මහතා පසුගියදා හමුවුවිටදී තමාට ලැබුණු බව ශ්‍රී ලංකා පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතා පවසයි.

මේ අතර ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙතට ලිපියක් එවන ලෝක පාපන්දු සම්මේලනයේ සදාචාර හා ප්‍රතිපත්ති කමිටුවේ සභාපතිවරයා දැනුම්දී ඇත්තේ සුනාමි ආධාර මුදල් පිළිබඳ සොයා බලා වාර්තාවක් එවන ලෙසය.

මේ ඉදිකිරීම්වලට අදාල සියලු මුදල් ගෙවා ඇත්තේ එන්.එන්.ප්‍රයිවට් ලිමිටඩ් නම් වු ආයතනයකට වන අතර ඉදිකිරීම් පිළිබඳ ගෘහ නිර්මාණ ශිල්පියෙකුගේ වාර්තාද ලබාගෙන ඇත.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ ලේකම් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උපාලි හේවගේ මහතා පවසන්නේ තමා නොදැනුවත්වම අස්සන ස්කෑන් කොට පරිගණක ආශ්‍රයෙන් අතුළත් කොට ජගත් පාපන්දු සම්මේලනයට ඊමේල් මගින් ලිපි යවා මුදල් ගෙන්වාගෙන ඇති බවය.

“සුනාමි ආධාර මුදල් ගැන මා කිසිවක් දන්නේ නැ. මගේ අස්සන යොදාගෙන ලිපි යවා තියෙන බව දන්නේ දැනුයි. මේක විශාල මුදල් ගනුදෙනුවක්. මගේ අදහස මේ පරික්ෂණ රහස් පොලිසියට දිය යුතු බවයි” හේවගේ මහතා පැවැසීය.

මේ මුදල් ලබාදීම වසර 2006 සිට මේ මාසය දක්වා වරින් වර සිදුවී ඇති අතර ඒ සෑම ගෙවීමක්ම කොන්ත්‍රාත්කරුගේ බිල සමග ගෘහ නිර්මාණ ශිල්පී වාර්තාව ලෝක පාපන්දු සම්මේලනයට ඊමේල් මගින් යවා ඇත්තේ ඉහත කී ආකාරයට අස්සන ස්කෑන් කරන ලද ලිපියක්ද සමගිනි. මෙවැනි විශාල මුදල් ගනුදෙනුවක් ගැන තොරතුරු හෙළිකිරීමට සුදානම් වෙද්දී විවිධ බලපෑම් එල්ල වු හෙයින් තමාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකළ බව පාපන්දු සභාපති රංජිත් රුද්‍රිගු මහතා පැවැසීය.

“මේ ගනුදෙනුවල විනිවිදභාවය සෙවීම මගේ යුතුකමක්. මේ විශාල මුදල් පාපන්දු ක්‍රීඩකයන් නිසා අපට ලැබුණු ඒවා. මට අවශ්‍ය වියදම් වු මුදලට අපේ රටේ මිල ගණන් අනුව වැඩක් වුණාද කියා හොයන එකයි. මා මෙයට පෙර විධායක සභාවේදී මේ ගැන ප්‍රශ්න කළා. කිසිම තොරතුරක් මට දුන්නේ නැ” රුද්‍රිගු මහතා පැවැසීය.

ගනුදෙනුවල සියලු තොරතුරු පෙරේදා රැස්වු පාපන්දු විධායක කමිටුවට දැන්වු බවත් එහිදී විධායක කමිටු සාමාජිකයෙකු “මේවා අපේ සල්ලි නොවෙයි. මොනවා වුණාම මොකද ? ප්‍රශ්න කරන්න බෑ” යනුවෙන් සඳහන් කළ බවත් එවැනි අය තවමත් පාපන්දු විධායක කමිටුවේ සිටින බවත් අවධාරණය කළේය.

මේ ගනුදෙනුවල නිවැරදි භාවය සෙවීමට රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් නම් කිරීමටද පියවර ගෙන ඇත. බ්‍රිගේඩියර් එච්.ඩී.ඩබ්ලිව්.කාරියවසම්, රියර් අද්මිරාල් ආනන්ද පීරිස්, නියෝජ්‍ය පොලිස්පති කේ.පී.පී.පතිරණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පත්මසිරි මුණසිංහ හා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති උපාලි ‍හේවගේ යන මහත්වරු කමිටු සාමාජිකයෝ වෙති.

ක්‍රීඩා ඇමැතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස බ්‍රිගේඩියර් ප්‍රියන්ත සමරතුංග මහතා නම් කොට ති‍බේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා