නූතන කම්කරුවා හා ආණ්ඩු!

නූතන කම්කරුවා හා ආණ්ඩු!

වෘත්තීය සමිති ගහන-ගහන පදයට නටන්නට ආණ්ඩුවක් සැරසුණහොත් එම ආණ්ඩුවට පැවැත්මක් නැත. එලෙස ම ආණ්ඩුව ගනු ලබන සෑම තීන්දුවකට ම එහෙයි කිවහොත් වෘත්තීය සමිතිවලට ද පැවැත්මක් නැත. මේ බලවේග දෙක අතර අනුපාතික සම්බන්ධයක් නොහොත් ගනු දෙනුවක් පවතින්නේ නම්; රටක් හරිමගට වැටෙනු ඇත. මහා බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැතිනිය වූ මාග්‍රට් තැචර් මහත්මිය ගල්අඟුරු ආකර කම්කරුවන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට කිසිසේත්ම කන්දුන්නේ නැත. අවසානයේ වෘත්තීය ක්‍රියාමාර්ග නැවතිණි. එහෙත් රටට බරපතළ පාඩුවක් ද සිදුවිණි.

සාධුකින් පෙළෙන්නවුන් නැගිටියව්! අන්තිම සටනට සැරැසියව්! ඒ-එදා කම්කරුවාගේ සටන් පාඨයයයි. එහෙත් අද එබඳු කම්කරුවන් නැත. දූවිල්ලෙන්, දහඩියෙන්, දැවි තෙල්වලින් සමන්විත නිල ඇඳුම් ලාගත් කම්කරුවන් කොහි සිටිත්ද? එවැන්නෝ ලොව නො සිටිති. ජපානය යනු ලෝකයේ දැවැන්තම මෝටර් රථ නිෂ්පාදකයා ය. එම කර්මාන්ත ශාලාවල කම්කරු රාජකාරි කරනුයේ හිත්-පිත් නැති යන්ත්‍ර-සූත්‍ර ය. පරිගණක යන්ත්‍ර ය. ඉනික්බිති යාන්ත්‍රික රොබෝවරුන්ය. රොබෝවරුන් හැසිරවීම සඳහා පරිගණකය ඔස්සේ සංඥා නිකුත් කරන ඊ-කම්කරුවෝ පමණක් එහි සිටිති. කම්කරුවාට අදාළ සමාජ පන්තිය ද ඒ අනුව වෙනස් වේ.

ශ්‍රී ලංකාව කාර්මික හා තාක්ෂණික අංශවලින් ජපානය තරම් දියුණු වී නැති බව සැබෑ ය. එහෙත් මෙරට කම්කරුවා ද ශීඝ්‍ර වෙනසකට ලක් වෙමින් සිටී. නූතන කම්කරුවා සංකල්පීය වශයෙන් ලත් කල කිසියම් වෘත්තීයවේදියෙකි. ඔහු ළඟ ශ්‍රමය පමණක් නොව තාක්ෂණයක් හා ඥානයක් ද පවතී. පරිකල්පනයක් ද පවතී. ඒ හැරෙන්නට දේශපාලනය ඔවුන්ගේ ප්‍රධාන මාතෘකාව බවට පත්ව තිබේ. තවත් අතකින් වෘත්තීය සමිති යනු පුළුල් දේශපාලන ව්‍යාපාර සමූහයකි. එම වෘත්තීය සමිති ප්‍රධාන ධාරාවේ දේශපාලනය සමඟ නිරන්තර ගනුදෙනුවක බැඳී සිටී.

හෙට ලෝක කම්කරු දිනය සමරන අතර ශ්‍රී ලංකාවේ වේදිකාවල ප්‍රධාන මාතෘකාව වනු ඇත්තේ ජීවන වියදම හා විදුලිය ගාස්තු වැඩි කිරීම ය. මීට අදාළ ප්‍රබල සමාජ කතිකාවක් ද පවතී. එය විවාදාපන්න මාතෘකාවක් බවට පරිවර්තනය වී තිබේ. එක අතකින් ජනතාවගේ මූලික අවශ්‍යතා සපයන රාජ්‍ය ආයතන බොහොමයක් පාඩු ලබන තත්ත්වයේ පසු වේ. එම ආයතන පවත්වා ගැනීම සඳහා ද රැකීරක්ෂා ආරක්ෂා කර ගැනීම සඳහා ද පාඩුව අව ම කර ගත යුතු ව තිබේ. තවත් අතෙකින් එම ආයතනවල නාස්තිය-දූෂණය ඉහළ ගොස් තිබේ.

ආයතනවල පැවැත්ම සඳහා වෘත්තීය සමිති ගත යුතු ක්‍රියා මාර්ග මොනවාාද? වෘත්තීය සමිති සිය ආයතනවල වංචා- දූෂණ හෙළිදරව් කළ යුතු ය. ඒවාට වැට බැඳිය යුතු ය. එහෙත් ඇතැම් ආයතනවල වෘත්තීය සමිති නායකයෝ එහි අධ්‍යක්ෂ පදවි දරමින් දූෂණ හා වංචාවලට සම්බන්ධ වෙති. තවත් අය තම දේශපාලන මතවාද අනුව දූෂිත ලොක්කන්ට සහයෝගය ලබා දෙති. අද වෘත්තීය සමිතිවලට කම්කරු අයිතීන් ඉක්මවා ගිය වෙනත් ඉලක්ක තිබේ. කම්කරු ප්‍රජාව නො දන්නා බොහෝ දේ වෘත්තීය සමිති නායකයෝ දනිති. වෘත්තීය සමිති නායකයෝ තම සාමාජිකයෝ අන්දති.

ලෝකයේ බරපතළ ම ශ්‍රම හමුදාව ඇත්තේ චීනයේ ය. චීන කම්කරුවාගේ පළමු අරමුණ තම රට වෙනුවෙන් අවංක රාජකාරියක යෙදීම ය. දෙවන අරමුණ තම ආයතනය දියුණු කිරීම සඳහා වඩාත් කාර්යක්ෂම සේවාවක නිරතවීම ය. චීන කම්කරුවා සිය අයිතිවාසිකම් ගැන කතා කරන්නේ හතරවන හෝ පස්වන අරමුණ හැටියට ය. චීනය දියුණු වීමේ රහස ඒ යැයි සිතිය හැකි ය. ලෝකයේ දැවැන්ත ආර්ථිකය සහිත අමෙරිකාව පෙරළාගෙන චීනය නැඟී සිටී. එය කිසිවකුටත් වැළැක්විය නො හැකි ලෝක යථාර්ථයෙකි.

ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරයේ ඉතිහාසය ගෙන බැලුවහොත් එය විධිමත් ලෙස සකස් වූයේ 1930 ගණන්වල සිට ය. ඒ. ඊ. ගුණසිංහ, ඇම්. ජී. මෙන්ඩිස් වැනි වෘත්තීය සමිති නායකයෝ අවංක ලෙස ම කම්කරුවාගේ අරමුණු වෙනුවෙන් කැපවූහ. එකල වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ අද මෙන් භේද- භින්නතා නො පැවතිණි. එබැවින් ඔවුන්ගේ වෘත්තීය සටන් බලවත් වූ අතර බොහෝ සටන් ජයග්‍රහණයෙන් කෙළවර විය. එකල වෘත්තීය සමිති නායකයන් ළඟ බාල ගණයේ දේශපාලන ඉල්ලීම් නො තිබිණි. ඔවුන්ගේ වෘත්තීය සටන්වල ප්‍රතිඵල අදත් කම්කරුවෝ භුක්ත විඳිති.

නූතන ශ්‍රී ලංකාවේ වෘත්තීය සමිති මිස; වාත්තීය සමිති ව්‍යාපාරයක් නැත. කම්කරු ව්‍යාපාරයක් නැත. ප්‍රතාපවත් වෘත්තීය සමිති නායකයන් ද අද නැත. අද ඇත්තේ ඒ-ඒ දේශපාලන පක්ෂවලට මුක්කු ගසන වෘත්තීය සමිති ය. ඒ අනුව එක ම ආයතනය තුළ වෘත්තීය සමිති විශාල ප්‍රමාණයක් දකින්නට ලැබේ. ඇතැම් වෘත්තීය සමිති බෝඩ් ලෑල්ලකට සීමා වේ. තවත් වෘත්තීය සමිති එහි නිලධාරී මඩුල්ල සීමා වේ. දුම්රිය දෙපාර්තමේන්තුව තුළ වෘත්තීය සමිති එකසිය ගණනක් ඇතැ’යි දැනගන්නට ලැබේ. මේ වනවිට වෘත්තීය සමිති ව්‍යාපාරය තවත් දේශපාලන විහිළුවක් බවට පත් ව තිබේ.

මෙබඳු වෘත්තීය සමිති ආණ්ඩුවක් සමඟ කේවල් කරන්නේ කෙසේ ද? ජීවන වියදම, විදුලි බිල හෝ පඩි වැඩිවීම් ගැන තර්ක කරන්නේ කෙසේ ද? ඇතැම්විට හිටිහැටියේ වැඩ වර්ජන කරනු දක්නට ලැබේ. ඒවායින් මහජනයා අපහසුවට පත් වනු විනා රජය කම්පනයට පත් වන්නේ නැත. වැඩ වර්ජනයක් සඳහා කම්කරු ව්‍යාපාරයක් පෙළ ගැස්වෙන ආකාරය අද මුළුමනින් ම විකෘති කොට තිබේ. මේ නිසා ම ඔවුන්ගේ සටන් මහජනයා කෝප ගන්වන සුළු ය. වර්ජකයනට මහජනයා පහර දෙන අවස්ථා ද අප දැක තිබේ. දැන් එය එක්තරා සුලබ දසුනෙකි.

වෙනිසියුලාවේ හියුගෝ චාවේස් හමුදා නායකයෙකි. කම්කරු නායකයෙකි. ඔහු බලයට පත් වූ පසු කම්කරුවන්ට ඇහුම්කන් දුන්නේ ය. කම්කරු වරප්‍රසාද ඉහළ දැම්මේ ය. වෙනිසියුලාවෙහි ඇත්තේ ප්‍රධාන සමාජ බලවේග දෙකකි. එකක් අමෙරිකානු නව ලිබරල්වාදය පිළිගනු ලබන ධනපති පන්තිය යි. අනෙක වෙනිසියුලාවේ වාමවාදය පිළිගත් වැඩ කරන පන්තිය යි. හිටපු ජනාධිපති චාවේස් හිටියේ කම්කරු පන්තිය සමඟ ය. ශ්‍රී ලංකාවේ වත්මන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද කම්කරු නායකයෙකි. ඔහු වැඩ කරන පන්තියේ සාධාරණ ඉල්ලීම් මඟහැර තැචර් කෙනෙකු වේ යැයි සිතිය නො හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා