ආර්ථිකයේ යහපත් වර්ධනයක් තිබෙනවා

ආර්ථිකයේ යහපත් වර්ධනයක් තිබෙනවා

කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා, අධ්‍යයන අංශයේ

මහාචාර්ය රංජිත් බණ්ඩාර

2012 වර්ෂයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් ඉදිරිපත් කරන වාර්ෂික වාර්තාව පසුගියදා නිකුත් කෙරිණි. එහි හරය හා අන්තර්ගතය පිළිබඳ කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා, අධ්‍යයන අංශයේ මහාචාර්ය රංජිත් බණ්ඩාර සමඟ සිදුකළ සංවාදයකි

2012 වර්ෂයට අදාළව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව පසුගියදා නිකුත් වුණා. එහි අන්තර්ගත දත්ත දේශපාලනිකව විවේචනය කෙරෙනු දකින්න පුළුවන්. ආර්ථික විද්‍යාත්මක දෘෂ්ටිකෝණයකින් ඔබ මෙය දකින්නේ කොහොම ද?

ශ්‍රී ලංකා මහ බැංකුව ආරම්භ කළ දා පටන්, පසුගිය අවුරුදු 62 මුළුල්ලේම එම වාර්ෂික වාර්තාව ඉදිරිපත් කරනවා. මේ වාර්තාව මඟින් මහ බැංකුව එළිදක්වන්නේ අදාළ වර්ෂයේ කාර්ය සාධනය පිළිබඳ සමස්ත දැක්මක්, ඒ ඔස්සේ ආර්ථිකයේ විවිධ පැතිකඩ පිළිබද තොරතුරු ඉදිරිපත් කෙරෙනවා.

එම තොරතුරු ඉදිරිපත් වෙන්නේ එක්තරා ආයතන පද්ධතියක් සම්බන්ධ කරගෙනයි. උදාහරණයක් හැටියට මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව. එහි සිටින්නේ මේ ක්‍ෂේත්‍රය පිළිබඳ හසළ දැනුමක් ඇති විවිධ කුසලතා සහිත පිරිසක් අර්ථ ශාස්ත්‍රඥයො, ගණකාධිකාරවරු, නීතිඥවරයො , සංඛ්‍යානය, ආර්ථික මිතිය ආදී විෂයය ප්‍රවීණයො මෙහි සිටිනවා.

මේ පිරිස ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවත්, විවිධ තොරතුරු රැස් කරන පර්යේෂණ සමඟත් ඒකාබද්ධව තමයි බැංකු වාර්තාව තුළ ඇති තොරතුරු සම්පිණ්ඩනය කර ඉදිරිපත් කරන්නේ.

එසේ නැතිව මහ බැංකුව ස්වාධීනව තමන් විසින් රැස්කළ දත්ත නෙවෙයි මේ වාර්තාවෙ තියෙන්නෙ. තොරතුරු පිළිබඳ නිරවද්‍යතාව ඒ නිසාම රැකෙනවා. කාටවත් තමන්ට අභිමත ඉලක්කම් මහබැංකු වාර්තාවෙන් ඉදිරිපත් කරන්න පුළුවන්කමක් නෑ.

මේ නිසා මහබැංකු වාර්තාවක ඇති දත්තවල විශ්වසනීය බව විශ්ව සම්භාවනාවට ලක් වෙනවා. මේවා අභියෝගයට ලක් කෙරෙන්නේ නෑ. අභියෝගයට ලක්කිරීමේ හැකියාවකුත් නෑ. මහබැංකු වාර්තාවේ දත්ත මුළුමනින්ම නිරවද්‍යයි. ඕනෑම තුලනාත්මක විශ්ලේෂණයකට මේවා යටත් කර ගැනීමට හැකියාව තියෙනවා. මේ තොරතුරු රැස් කිරීමේදී අනුගමනය කරන ක්‍රමවේදයන් ද විද්‍යානුකූලයි. ඒවා වෙනස් වෙලා නෑ. තවදුරටත් වැඩි දියුණු වෙමින් තියෙනවා. ඒ වගේම මේවා ජාත්‍යන්තර නිර්ණායකයන්ට එකඟයි.

නමුත්, දේශපාලන කෝණවලින් බලා මේ තොරතුරු අභියෝගයට ලක් කරනු දකින්න පුළුවන්?

මේවාට අභියෝග කරනවා කියන්නේ අර සමස්ත ක්‍රියාවලියටම අභියෝග කිරීමක්. ජාතික ජාත්‍යන්තර ක්‍රමවේද හා ආයතන ආදී සියල්ල අභියෝගයට ලක් කිරීමක්. ඒක සුළු පටු දෙයක් නෙවෙයි. මහබැංකු වාර්තාව පිළිබඳ කෙරෙන හුදු දේශපාලන විවේචන බවට පත්වෙලා. මේකෙන් වෙන්නෙ මහබැංකු වාර්තාවේ තොරතුරු විවේචනයට හෝ අභියෝගයට ලක් කිරීමට වඩා ඒ විවේචන කරන පුද්ගලයො සමාජ පිළිගැනීමෙන් පහළට වැටීමයි.

මෙවර මහබැංකු වාර්තාව ඉදිරිපත් වෙද්දිත්, මේක ගැන විශ්ලේෂණාත්මක ඇගයීමක් කළ හැකි අය නොවුණත් දේශපාලන පෙලඹවීමක් සහිත සමහර අය මෙහි ඇති සංඛ්‍යාලේඛන ගැන විශ්ලේෂණාත්මක විමර්ශන ඉදිරිපත් කරන්න උත්සාහ කරනු අපි දැක්කා. මේක එක්තරා අන්දමක විහිළුවක්. මට නම් හිතෙන්නෙ මේක අපේ රටට ආවේණික දෙයක්.

මේ විවේචනවලින් ඔබ්බට ගිහින් මහබැංකු වාර්තාව මඟින් ඉදිරිපත් කරන කාරණා පිළිබඳ සමබර විග්‍රහයක් කළ හැකිද?

එවැනි සමබර විග්‍රහකට අවශ්‍ය පසුබිම 2012 මහබැංකු වාර්තාව තුළින්ම ඉදිරිපත් කරන්න පුළුවන්. මොකක්ද මේ වාර්තාව ඉදිරිපත් කරන පසුබිම. වාර්තාවේ මූලික වශයෙන් සටහන් කරනවා. 2012 දී මුහුණ දුන් අභියෝග ගැන. එවැනි මූලික අභියෝග 5ක් එහි සඳහන්. ගෝලීය ආර්ථික වර්ධනය මන්දගාමීව සිදුවීම, ඉරානයට පැන වූ ආර්ථික සම්බාධක නිසා ඇති වූ බලපෑම, අයහපත් කාළගුණික තත්ත්වය, වෙළෙඳ හිඟය ශීඝ්‍රයෙන් ඉහළයාම සහ අධිකරණය හා මුදල් ප්‍රසාරණයි.

මීට අතිරේකව අවශ්‍ය නම් තවත් කාරණා අපට මේකට එකතු කරන්න පුලුවන්. නමුත් මහබැංකු වාර්තාවේ මූලික පසුබිම සැකසෙන්නෙ මේ විදිහටයි. එය මේ වාර්තාව කියවන කෙනෙකුට තේරුම් ගන්න පුලුවන්. මේක ප්‍රශංසනීය තත්ත්වයක්. මොකද, 2012 ආර්ථිකය ක්‍රියාත්මක වුණේ කිනම් පසුබිමකද යන වග අපට මේකෙන් දැනගන්න ලැබෙනවා. මේ අභියෝග දේශීය හා ජාත්‍යන්තර වශයෙනුත් වෙන් කරන්න පුලුවන්. අප වැනි කුඩා රටකට කලාපීය වශයෙන් මුහුණ දීමට සිදුවන කාරණා ගැන සලකා බැලීමකුත්, මෙහි අන්තර්ගතයි.

ඉන්දියාව, චීනය, ජපානය, කොරියාව, වියට්නාමය වැනි කලාපීය රටවලත් මේ අභියෝගාත්මක තත්ත්වය අඩු - වැඩි වශයෙන් දකින්න පුළුවනි. උදාහරණයක් හැටියට චීනය සහ ඉන්දියාව ගත්තොත් ලෝකයේ වේගවත්ම ආර්ථික වර්ධනයක් සහිතව සංවර්ධනය වන රටවල්.

මේ රටවල් දෙකෙන් 2012 වර්ෂයේ දී සංවර්ධන ඉලක්ක අපේක්ෂිත මට්ටමට ලඟා කර ගැනීමට බැරිවුණා. අවස්ථා දෙකකදී එම ඉලක්ක නැවත විමසීමකට ලක්කර ඉලක්කම් සංශෝධනය කළා. ලංකාවේ තත්ත්වය මීට වඩා යහපත්. ඒ බව, ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ඉලක්කම් පරීක්ෂා කළාම අපට පෙනෙනවා. 2010,2011 අවුරුදු දෙකේම සියයට 8 ක ආර්ථික වර්ධන ඉලක්කයකට යාමට අපට පුලුවන් වුණා.

මේක 2012 දී එක්වරම සියයට 6.4ක් වීම දේශපාලන විවේචනයන්ට ලක්වෙන්න පුළුවනි. නමුත්, කලාපීය රටවල් එක්ක සන්සන්දනය කළා ම මේක එතරම් මවිතයට කාරණයක් නොවන බව අපට පෙනෙනවා. ලංකාවත් 2012 දී සිය ආර්ථික සංවර්ධන ඉලක්කය දෙවරක් වෙනස්කම්වලට භාජනය කළා.

හැබැයි, කලාපීය රටවල් සමඟ සැසඳීමේදී, මධ්‍ය ආදායම් ලබන රටවල් සමඟ සැසඳීමේදී ලංකාව ඊට වඩා තරමක් ඉහළ ස්ථානයක සිටිනවා. මේ තත්ත්වය වඩා යහපත් බව අපට පෙනෙන්නේ යුරෝපය, අමෙරිකා එක්සත් ජනපදය ආදී රටවල ආර්ථික වර්ධන වේගය සියයට 2.5 න් එහාට ගියේ නැති නිසා.

ඒ නිසා 6.4 ක ආර්ථික සංවර්ධන ඉලක්කයක් ලඟා කර ගැනීම ලංකාවේ ආර්ථිකයේ ස්ථාවර භාවය පිළිබඳ යම් අලුත් මානයක් බව කිව හැකියි. 6.4 කියන ඉලක්කම දෙස බලා පමණක් කෙරෙන අර්ථ විවරණ අසමතුලිත ඒවා වෙන්නෙත් මේකයි.

රටක ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය අභ්‍යන්තර සාධකවලින් ඔබ්බට යාම පැහැදිළි කර ගන්නේ කොහොමද?

රටක ආර්ථික සංවර්ධන ක්‍රියාවලිය හුදෙක් රට අභ්‍යන්තරයේ සිදුවන දෙයක් නොවෙයි. එය පරිබාහිර ආර්ථිකයන්ගේ ක්‍රියාකාරිත්වය සමඟත් සම්බන්ධයි. මේ පරිබාහිර ආර්ථිකය පාලනය කිරීමේ හැකියාවක් ලංකාවට නෑ. ලංකාව තවදුරටත් ජාත්‍යන්තර වෙළෙඳ පොළේ මිල ගනුවෙක්. මිල තීරණය කරන්නෙක් නෙවෙයි. එතකොට අපට කරන්න වෙන්නෙ මිල ගනුවාගේ කාර්යභාරය.

රට අභ්‍යන්තරයේ ආර්ථිකය හැසිරවීම සඳහා ඉතාම රැඩිකල් ක්‍රියාමාර්ග පද්ධතියකට 2012 දී යොමුවීමටත් සිදුවුණා. ඉන්ධන, බලශක්ති, ප්‍රවාහන ආදී ක්‍ෂෙත්‍රයන්ට අදාළව විවිධ අවස්ථාවල මිල ගැලපීම් කළා. රථවාහන ආනයනය මත අයකරන තීරු බදු ඉහළ දැම්මා.

විවිධ ආකාරයෙන් විදේශ විනිමය ලැබීම් සඳහා දෙනු ලැබූ දිරිගැන්වීම් වැඩි කළා. අවස්ථා කිහිපයකදී මහබැංකුවේ අවසර ගැනීමකින් තොරව අඩු පොළියට විදේශවලින් යම් යම් සීමාවන්ට යටත්ව අපේ මූල්‍ය පද්ධතියට මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ වරප්‍රසාද මහබැංකුව විසින් පිරිනැමුවා.

මේවා හරහා තමයි 2012 දී අවම වශයෙන් 6.4 ක ආර්ථික වර්ධන ඉලක්කයක් කරා අපට ලඟා වීමට පුළුවන් වුණේ. 2012 දී අපි සැලසුම් කරල තිබුණේ සියයට 6.8ක ආර්ථික වෘද්ධි වේගයක්. 0.4 කින් මේක පහළට වැටුණා කියන එක දේශපාලනික විවේචනයට ලක් කළ යුතු කාර්ණයක් නෙවෙයි.

ආර්ථිකයේ ප්‍රධාන අංශවලට අදාළව සිදු වූ වර්ධනය හා පසුබෑම් පිළිබඳ මෙහි විවරණය කෙරෙන්නේ කොහොමද?

කෘෂිකාර්මික, කාර්මික හා සේවා කියන අංශවලින් තමයි රටක ආර්ථිකය සංයුක්ත වෙන්නෙ. කෘෂිකර්මාන්ත අංශය 2012 වර්ෂයේදී 2011 වර්ෂයට සාපේක්ෂව සැලකිය යුතුª ප්‍රගතියක් වාර්තා කළා. මේ අංශය දළ දේශීය නිෂ්පාදනයට දැක්වූ දායකත්වය 0.1 කින් අඩුවුණත් 1.4% සිට 5.8% දක්වා වේගයකින් වර්ධනය වුණා.

එනම් සමස්තයක් ලෙස රටේ දළ දේශීය නිෂ්පාදනය පුළුල් වීමක්. කර්මාන්ත අංශය ගත්තොත් ද.දේ.නි. ට දායකත්වය 2011 දී 29.3% යි. එය 2012 දී 30.4% දක්වා ඉහළ ගියා. සේවා අංශය ද.දේ.නි. ට කැපී පෙනෙන දායකත්වයක් ලබා දී තිබෙනවා. හැබැයි, 59.5% සිට 58.57% දක්වා සුළු පසු බෑමක් දකින්න පුලුවන්. නමුත්, පියවි ඇසට පෙනෙන දෙයක් තමයි සේවා අංශය වේගයෙන් පුළුල් වෙමින් ඇති බව. එක් නිදසුනක් තමයි ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සංඛ්‍යාව. වසර 50කට පසු මේ සංඛ්‍යාව මිලියනය ඉක්මවා ගියා.

ඒක පුද්ගල ආදායම වර්ධනය වී ඇති ආකාරය අනුව ආර්ථික ඉලක්ක කරා ලඟාවීමක් දැකිය හැකි ද?

රටක ආර්ථික වර්ධනය මනින එක් මිනුම් දණ්ඩක් ලෙස ඒක පුද්ගල ජාතික නිෂ්පාදිතය. මේ මඟින් ආර්ථිකයේ ආදායම් හා ධන ව්‍යාප්තිය ගැන යමක් පැවසෙන්නේ නෑ. නමුත්, පොදුවේ මේ රටේ ඒක පුද්ගලයකුට ජාතික නිෂ්පාදිතයෙන් බෙදීයන කොටස ඉන් පිළිබිඹුවෙනවා.

2000 වසරේදී එය, ඇ.ඩො. 1000ට වඩා අඩුයි. හරියටම කිව්වොත් ඇ.ඩො.899. හැබැයි, 2012 වනවිට එය ඇ.ඩො. 2923 දක්වා ඉහළ ගිහින්. රටක සමස්ත නිෂ්පාදන ක්‍රියාවලිය පුළුල් වනවිට එහි ප්‍රතිඵල පහළට කාන්දු විය යුතුයි. එසේ පහළට කාන්දු වීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙන්න පුලුවන්.

මේ රටේ සෑම පුද්ගලයකුටම ද.දේ.නිෂ්පාදිතයෙන් ඇ.ඩො. 2923 ක වටිනාකමක හිමිකමක් ඇතැයි මේකෙන් කියැවෙන්නෙත් නෑ. මොකද, මීට වඩා වැඩියෙන් ලබන අය වගේම අඩුවෙන් ලබන අයත් ඉන්නවා. අඩුවෙන් ලබන අය ආරක්ෂා කිරීම සඳහා වන සමාජ ආරක්ෂණ වැඩපිළිවෙලක් තිබෙනවාද කියන එකයි වඩා වැදගත්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා