මුද්‍රණය සඳහා

 
මෙරට රියැදුරන් ලක්ෂ 38න් ලක්ෂ 29කටම  රථවාහන නඩු

මෙරට රියැදුරන් ලක්ෂ 38න් ලක්ෂ 29කටම  රථවාහන නඩු

හොර බලපත්, මාර්ග නීති කැඩීම් බීමත්කම ප්‍රධාන හේතුවයි

ලියාපදිංචි මෝටර් රථ සංඛ්‍යාව ලක්ෂ 44ක්

ලක්ෂ 6ක් අත ඇත්තේ හොරට ගත් ලයිසන්

තිස්අට ලක්ෂයක් පමණ වූ මෙරට රියැදුරන් අතරින් ලක්ෂ 29ක් රථ වාහන වැරැදි කර නඩු පැවරීම්වලට ලක්වූවන් බව පොලිසිය අනාවරණය කරයි.

මෙතරම් විශාල රියැදුරන් පිරිසක් රථ වාහන වැරදි සම්බන්ධයෙන් නීතියේ රැහැනට හසුවීමට ප්‍රධානම හේතුව ලෙස රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ නියෝජ්‍ය පොලිස්පති පී.ඩී.ඒ.කේ. සේනාරත්න මහතා පෙන්වා දුන්නේ, රියැදුරන් ක්‍රමානුකූල ආකාරයට රියැදුරු බලපත්‍රයක් ලබා නොතිබීම, මාර්ග නීති රීති හරි හැටි අනුගමනය නොකිරීම සහ බීමත්ව රිය පැදවීම බවයි.

මේ අතර රට පුරා ධාවනය කෙරෙන වාහන අතරින් මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කොමසාරිස් කාර්යාලයේ ලියාපදිංචි වී ඇති වාහන සංඛ්‍යාව ලක්ෂ 44කි.

එහෙත් එම වාහන ධාවනය කරන රියැදුරන් අතරින් ලියාපදිංචි රියැදුරු බලපත්‍රයක් හිමි රියැදුරන් සංඛ්‍යාව ලක්ෂ 38ක් වෙයි.

මේ අතරින් එක් වාහනයක් හෝ වාහන කිහිපයක් හිමි පුද්ගලයන්‍ හෝ ආයතන සංඛ්‍යාව විසිපන්දහසක් පමණ වෙයි.

මේ අනුව වාහන ධාවනය කරන රියැදුරන් අතරින් ලක්ෂ හයක් පමණ නීත්‍යානුකූල රියැදුරු බලපත්‍රය ලබාගෙන නැති බව හෙළිවී තිබේ.

පසුගිය මාස කීපය තුළ මාර්ග අනතුරු සිදු කළ හයසියයක පමණ පිරිසක් නීතියෙන් දඬුවම් ලබා තිබේ.

රියැදුරු බලපත්‍ර නොමැතිව වාහන ධාවනය කරන වැඩි පිරිස තරුණයන් බවට හඳුනාගෙන ඇත.

වයස අවුරුදු 18 සම්පූර්ණ නොමැති පාසල් වයසේ තරුණයන් පවා රියැ‍දුරු බලපත්‍ර නොමැතිව නවීන පන්නයේ වාහන ධාවනය කරමින් සිටියදී පොලිසියට හසුවී තිබේ.

ඊට වගකිවයුතු ‍තනතුරු දරන නිලධාරින්, ධනවතුන් ඇතුළු විවිධ පුද්ගලයන්ගේ දරුවෝද, එසේ රියැදුරු බලපත්‍ර නොමැතිව වාහන ධාවනය කර හසු වූ අය අතර වෙති.

පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ ප්‍රධාන අරමුණ වී තිබෙන්නේ මේ වසර තුළ සියයට 20 කින් මාර්ග අනතුරු අඩු කර ගැනීමයි.

ඒ සඳහා අවශ්‍ය නීති රීති, දැනුවත් කිරීම් හා පාඨමාලා, වැඩමුළු, මහජන උපදෙස් ලබාදීම සම්බන්ධව පොලිස්පතිවරයා විසින් සියලුම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් හා රථ වාහන රාජකාරිවල යෙදෙන පොලිස් නිලධාරීන් දැනුවත් කර තිබේ.

මෙරට මාර්ග සංඥා පද්ධති පිහිටුවීම, මාර්ග සළකුණු පද්ධති අලුතින් ඇති කිරිම, අලුත්වැඩියා කිරීම, මහජනතාව දැනුවත් කිරීමේ වැඩමුළු පැවැත්වීම සඳහා රජය වසරකට රුපියල් කෝටි පහළොවකට වැඩි ප්‍රමාණයක් වැය කරයි.

එහි ප්‍රධාන අරමුණ වී ඇත්තේ ක්‍රමානුකූල රථවාහන සැලැස්මක් රටපුරා ක්‍රියාත්මක කිරීම සහ මාර්ග අනතුරු අඩු කර මහජන ආරක්ෂාව පවත්වාගෙන යාම වෙයි.

මේ අතර බස් රථවල අලවා ඇති විවිධ වූ ස්ටිකර්, ලාංඡන, සැරසිලි මේ වසර අගදී සම්පූර්ණයෙන්ම ඉවත් කිරිම සිදු කෙරේ.

මේ වන විටත් ධාවනය කෙරෙන බස් රථ අතරින් සියයට අනූවක පමණ එම සැරසිලි ඉවත් කර තිබේ.

වාහනයේ හැඳුනුම්පත, ආදායම් බලපත්‍රය සහ වාහනවලට අදාළ ලාංඡනය පමණක් වාහනයේ වම්පස කෙළවරේ අලවා තිබිය යුතු බව රථ වාහන පොලිසිය පවසයි.

මේ අතර මගී ප්‍රවාහන වාහන සඳහා එක් පාටක් ආලේපනය කිරීමේ රථ වාහන වැඩ‍පිළිවෙළ ලබන වසරේ සිට අනිවාර්ය කෙරේ. ඒ අනුව රජයේ මගී ප්‍රවාහන බස් රථ රතුපාටද, පෞද්ගලික බස් රථ නිල් පැහැය සහ පාසල් බස් රථ කහ පැහැයෙන්ද තිබිය යුතු වෙයි.

ඒ සඳහා වූ ගැසට් පත්‍රයද මේ වන විටත් පළ කර තිබේ.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2013 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
[email protected]